නැඟෙනහිර අහස ඉදුණු දංගෙඩියක පැහැය සොරා ගෙන ඇත. අතරින් පතර සිහින් විදුලි රේඛා ඇඳී මැකී යයි. විසල් තැනිතලාවේ වියළි තණපත් සුන්බුන් අතරින් ළා තණපත් මතුවෙමින් පවතී. තන්හි තන්හි සුන්දර පතොක් මල් සිනාසේ. අපි වාකරේ පසු කරමින් සේරුනුවරට ළඟා වෙමින් සිටියෙමු.
“අපි දං කාලා යමු ද? අප ගමන් ගත් රියෙහි සිටින මිතුරෙක් අසයි.
“හොඳ අදහස” කාගේත් අනුමැතිය ලැබේ. වාකරේ මඟ දෙපස විසල් දං ගස් යායකි. කොල්ලෝ කුරුට්ටෝ සිලි සිලි මලුවල ඉදුණු දං ගෙඩි පුරවාගෙන පාර මැදට එති. ඔවුන්ගේ මුහුණ මත බලාපොරොත්තුවේ මන්දස්මිත රේඛාවක් වැටී තිබේ. එය සැබෑවකි. ඉස්ගෙඩියන් මෙන් පෙනෙන දරුවන්ගේ සොම්නස් මුහුණු අපට විස්මිත අත්දැකීමකි. ඉදුණු දංගෙඩිවල රස බැලීම මගේ මතකය අතීතයට කැඳව යි. මීට වසර පහළොවකට පමණ පෙර රතුගල ආදිවාසීන්ගේ ගැටලු පිළිබඳ විශේෂාංග ලිපියක් සම්පාදනය කිරීම සඳහා මා ගිය ගමනට තවත් මිතුරන් දෙදෙනෙක් ද එක්වූහ.
නන්ද ප්‍රියන්ත සහ අජිත් සෙනෙවිරත්න යනු ඒ දෙදෙනා ය. ගමනෙහි නිමිත්ත වූයේ රතුගල ආදිවාසී නායක රන්දුනුවන්නියාගේ පුත් සුදුබණ්ඩා මවෙත එවන ලද ලිපියකි. වනගහනයේ නිජබිම්වලින් පිටමං කර ආණ්ඩුවේ ඉඩම්වල පදිංචි කරනු ලැබ සිටින තමන් හට එම ඉඩම්වලින් ද යන්නට සිදු වී ඇති බව එම ලියුමේ සඳහන් විය. රතුගලවාසීන් පදිංචිව සිටියේ කඳු වැටි දෙකකින් මැදිවූ මහ පාර අද්දර ලඳු කැලෑ බිමෙහි ය. කට්ට අව්වේ මහපොළොව උණුසුම් වී තිබිණ. සිලි සිලි මලු අතින් ගත් කෙසග දරුවෝ පාරේ යන මිනිස් පුළුටක් දකින විට ඉදිරියට පැන මල්ල දිගු කරති. ඒ මලුවල තිබුණේ ගල්සියඹලා ය. රතුගල නිල්ගල වනගහනයේ ගල්සියඹලා මෙන් ම අරලු, බුලු, නෙල්ලි යනාදී ඖෂධීය ශාක සුලබ ය.
බලාපොරොත්තු කඩ වූ දරුවකුගේ සෝබර දෑස මඟ හැර යා නොහැකි වූයෙන් රුපියල් විස්සක් දී ගල්සියඹලා මල්ලක් ගැනීමට මට සිදුවිය. වෑන් රියක් පසුපස දිව ගිය දරුවෙක් බලාපොරොත්තු කඩ වී ආපසු එන අයුරු මම දුටුවෙමි.
රුපියල් විස්ස අතින් ගත් කොලුවා මාළු පෙට්ටියක් සහිත පාපැදියකට අත දැම්මේය. පාපැදිය නවත්වන ලදී. රුපියල් විස්සට ලැබුණේ සාලයන් තිදෙනෙකි. මාළු කූරියන් සුරතින් ගත් ඔහු පැල්පතක් වෙත දිව ගියේ රටක් දිනාගත් රජකු මෙනි.
පැල්පතින් පැල්පතට යමින් ආදිවාසී වැඩිහිටියන් සමඟ කතාකරන අතරතුර කුඩා දරුවන්ගෙන් ද කරුණු විමසීමට මම උනන්දු වීමි.
මාළු කූරියන් තිදෙනා මිල දී ගත් දරුවා සහ මා අතර ඇති වූ දෙබස මෙහි දක්වමි.
“මාළු තුන්දෙනාට මොකද කළේ”?
“වතුරයි ලුණුයි දාලා හොදි ඉව්වා”
“මිරිස් දැම්මේ නැද්ද?”
“මිරිස් නැහැ”
“මොනවා එක්කද කෑවේ?”
“ගෙදර කුරක්කන් රොටියක් තිබුණා. ඒක තුනට කඩලා මල්ලියි මමයි අම්මයි කෑවා”
ඔහු පැල්පතෙහි තිබූ මැටි වළඳට අත දිගුකර පෙන්වීය. මම එයට එබී බැලුවෙමි. බොර පැහැති වතුර ස්වල්පයක් එහි විය. මාළු කූරියන් දක්නට නොවී ය.
“ඔයා ඉස්කෝලෙ යන්නෙ නැද්ද?”
“මේ දවස්වල යන්නෙ නැහැ”?
“මොන ඉස්කෝලෙට ද යන්නෙ?”
“රතුගල වෙල්ලස්සට”
“ඇයි නොගියේ?”
“මේ දවස්වල විභාගේ”
“ඉතින් විභාගේ දවස්වල යන්නම එපායෑ”
“අපිට එන්ඩ එපා කියලා ලොකු සර් කීවා”
“ඒ මොකද?”
“ප්‍රශ්න පත්තරවලට සල්ලි දුන්නෙ නෑ කියලා”
“ප්‍රශ්න පත්තරවලට ළමයකුගෙන් කීයක් ගන්නවද?”
“රුපියල් පහළොවයි”
ඉස්ගෙඩියකු මෙන් පෙනුණු මේ දරුවාගේ බඩ ඉදිරියට නෙරා ඇත. අත් පා වැල් කෝටු වැන්න. මුහුණ පිපිහළු ය. එහෙත් දෑස කාන්තිමත් ය; ප්‍රාර්ථනාවන්ගෙන් පිරී ඇත. ගිනියම් අව්රැල්ල මැදින් වියළි පොළොවේ පැළවුණු කටුසර බෝගයක් වැනි මේ දරුවාගේ අනාගතය කුමක් වේද? මම ගල්සියඹලා මල්ල ආපසු දුනිමි.
“එපා! ඔහු පසුපසට ගමන් කරන්නට විය.
“කමක් නෑ ගන්න!”
ඔහු ගල්සියඹලා මල්ලත් රැගෙන තාර පාර දෙසට දිව ගියේ ය.
නීල තුරු වියනින් සැරසුණු කඳු වැටි දෙක රතුගලවාසීන්ගේ මව හා පියා වැන්න. කලකට පෙර මේ දෙමාපියන්ගෙන් ලැබුණු “පැණි මාලු” (දඩමස් හා මීපැණි) මෙන් ම ගල්ගුහාවල රැකවරණය ද දැන් ඔවුන්ට අහිමි ය.
වන සම්පත් දෙපාර්තමේන්තුවේ නීති රීති සහ අණපනත් නමැති දඬු අඬුවට හසු වූ ඔවුන්ගේ ජීවිත පරඬලා පත් මෙන් වනගහනයෙන් එළියට විසිකර දමා තිබේ. ඔවුන් සීලාචාර කිරීමට දරන ලද වෑයමෙහි ප්‍රතිඵලය වී ඇත්තේ සාගින්න සහ කලකිරීම එම ජීවිත වෙළා ගැනීම මිස අන් කුමක් ද? මාළු කූරියන් මිලදී ගත් දරුවාගේ දෑසෙහි කාන්තිය මට තවමත් මැවී පෙනේ.
thimbiri@gmail.com
No comments:
Post a Comment