යමුනා නදිය මදලස ගමනින් ගලා බසී. සැදෑ හිරු රැස් වතල ගඟ බඩ පුලින තලය මනරම් දසුනක් මවා පායි.
හිමව් කුළු පිස එන සිහිලල සුළඟ ගත සරතැස නිවා හමා යයි. එගොඩ ගංගා තීරය ගොපල්ලන්ගේ වාස භූමියක් බව හැඟී යන්නේ ගව රැල දක්කාගෙන ගම ගෙදර බලා යන ගෝපී ලඳගනක නිසා ය.
බලා වැලද (කොකුන් සමූහය) ගඟට උඩින් පියාසර කරනු පෙනේ. එය වසන්ත සමයේ පැහැදුල් දවසකි. කුසුම් රේණුයෙන් ආකුල වූ තුරුවදුලුවල හිඳ කෝකිලා දී අනේක විධ පක්‍ෂීන් නඟන හඬ උයන් කොනෙක මතුවෙයි. පාලුව රජයන සැදෑවේ ගඟබඩ මම හුදකලා වීමි. පසෙකින් දිස්වන්නේ තම පියඹ ගේ වියොවින් ළතැවුණු ෂා ජහන් රජු තම මුම්ටාස් මහල් දේවිය වෙනුවෙන් තැනූ ටජ්මහල් මන්දිරයයි. කිරුගරුඩ පැහැයෙන් උදුල ටජ්මහල හා එයට යා වූ ගංතීරය අසලින් ගලා බස්නා යමුනා නදිය මට වරෙක දැනුණේ වර්ණ විභූෂිත විචිත්‍ර චිත්‍රයක් සේ ය. එය තවත් වරෙක ධ්වනිපූර්ණ කාව්‍යයක් බදු විය.
මහා කවි ජයදේවයන් ගේ ගීත ගෝවින්දයේ වර්ණනා කෙරුණේ යමුනා තලාවේ ගෝපී රූපිනියන් ගැන ය.
ධීර සමීරේ යමුනා තීරේ
වසතිවනේ වනමාලී
ගෝපී පීන පයෝධර මර්දන
චංචල කර යුග සාලී
වසතිවනේ වනමාලී
ගෝපී පීන පයෝධර මර්දන
චංචල කර යුග සාලී
ආදී ගීත ජයදේවයන් ගේ මුවඟට නිතැතින්ම ගලාගෙන ආවේ යමුනා තීරයේ ගෝපී කෝමලියන් ගේ ඇසුර නිසා ය.
යමුනා ගඟේ හීන් මද සුළග, ගොපලු ලියන් ගේ පීන පයෝධර යනාදිය ගැන ඔහු ගීත ගෝවින්දයේ තැන තැන සඳහන් කළේ ඒ චමත්කාරයට වසඟ වූ නිසා ය.
'වසන්ත සමය වර්තිත ලලිත ලවංග ලතා පරිශීලන කෝමල මලය සමීරේ' ගීතය ජයදේව භාෂාවෙන් ගීතයට මධුරත්වය අරෝපණය කළ අයුරු පැහැදිලි කෙරෙයි.
රාධා ක්‍රිෂ්ණා ප්‍රේම පුරාණයට තෝතැන්න වන වෘන්ද්‍රා (බ්‍රින්ද්‍රා) වනය පිහිටා ඇත්තේ යමුනා නදී බඩ ය. යමුනා තලාව යුග යුග ගණනක් සාහිත්‍ය කලාවන්ට තෝතැන්නක් විය.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් යමුනා තලාවේ ගෝපී ලදුන් තම ගීතමය රූපකාව්‍යයට එක්කර ගන්නේ මේ අයුරිනි.
(කිංස්ලි ජයසේකර හා ලීලා ගායනය කළ, පසුව නන්දා මාලිනීය තම ග්‍රැමෆොන් ගීතාවලියට එක් කළ කෝමල තාලෙන් ගී කියාලා - ආමෝද පවනේ සැනහී විනෝදේ ගීතයේ)
ගෝපී ලඳුන්ගේ යමුනා තලාවේ
සංගීතවත් වූ රුචිරාණනීයේ
පෑ ප්‍රේමලීලා අභිරූපි මාගේ
කාංචනීයේ චල ලෝචනීයේ
මේ රාත්‍රි කාලේ සංගීත මිහිරේ
ගංගා තෙරේ හී යති ගෝපිකාවෝ
දිව්‍ය මෝහනයේ අනුරා ගේ
රසයේ ඔද දේ සැනසීම මා ගේ
සංගීතවත් වූ රුචිරාණනීයේ
පෑ ප්‍රේමලීලා අභිරූපි මාගේ
කාංචනීයේ චල ලෝචනීයේ
මේ රාත්‍රි කාලේ සංගීත මිහිරේ
ගංගා තෙරේ හී යති ගෝපිකාවෝ
දිව්‍ය මෝහනයේ අනුරා ගේ
රසයේ ඔද දේ සැනසීම මා ගේ
හිම කඳු දෙසින් එන මදනල පහස විදැ – මුදු බද සලා ලැසි ලැසිව ගමන් ගිය යමුනා තලාවේ ගෝපී රූපිනිය මා විසින් කවියක චිත්‍රණය කළේ මේ අයුරිනි.
ගව රැළ රැගෙන ගෝපී ලඳඟන සොඳුරු
පියවර නඟයි වැලිතල ලැසි ගමන හුරු
යමුනා ගඟ ගලයි ටජ් මහලට නුදුරු
දුටුවෙමි සැදැ හිරුරැස් වැතිරෙන අයුරු
ගී ගෝවින්දයේ ජයදෙව් පද බැඳුම
නීල නුවන් අඟ අනුරා ගී බැලුම
යමුනා තීරයේ නාරී රූ වැනුම
සිහිපත් කරයි ගෝපී ලිය බඳ සැලුම
(වන මඩලේ බිසවු - කවි පොතෙනි)
පියවර නඟයි වැලිතල ලැසි ගමන හුරු
යමුනා ගඟ ගලයි ටජ් මහලට නුදුරු
දුටුවෙමි සැදැ හිරුරැස් වැතිරෙන අයුරු
ගී ගෝවින්දයේ ජයදෙව් පද බැඳුම
නීල නුවන් අඟ අනුරා ගී බැලුම
යමුනා තීරයේ නාරී රූ වැනුම
සිහිපත් කරයි ගෝපී ලිය බඳ සැලුම
(වන මඩලේ බිසවු - කවි පොතෙනි)
ගඟබඩ සැඳෑ සමය මට ද හොරා ගෙවී ගොස් සඳ පහන් රාත්‍රිය එළඹ ඇත. මිහිදුම් බර නදී තීරයේ ෂා ජහන් රජු ගේ වියොවග කඳුළ වූ ටජ්මහල් මැදුර සඳරැසින් නැහැ වී සුදෝ සුදුවට බැබලේ. ෂා ජහන් රජු ගේ හා ආදරණීය මුම්ටාස් මහල් දේවිය ගේ ප්‍රේමය කෙතරම් නිර්මල උත්තරීතර එකක් වී ද? ඒ පිළිබඳ මින් පෙර අසා ඇති කතා මැද දසුන් එකින් එකට මසිත්හි උපන.
දරු ප්‍රසූතියක දී ඇති වූ රෝගී තත්ත්වය වඩාත් උත්සන්න වූ දේවිය ජීවිතයේ අවසන් මොහොත ගත කරන්නී ය. රජු ඇගේ සයනය අසල ය. සුපුරුදු අවිහිංසක සිනාව තව එකවරකට පෑ දේවිය, තුරුණු බර දෑස පුබුදු කර අවසන් වරට රජු දෙස බලා හිඳ සදහට ම නෙත් යුග පියා ගත්තා ය. රජු අසරණව කුඩා දරුවෙකු සේ හඬා වැලපෙන්නට විය. ෂා ජහන් රජුගේ සෝබර වේදනාව මගේ ම වේදනාව සේ හැඟේ.
ෂා ජහන් රජු කවියෙකි. ඔහු ලියූ සුමියුරු කව් ගී ඔවුන් විසූ කාශ් මහල් මන්දිරයේ සඳළුතලාවේ සඳ එළියේ හිඳ උතුරා යන සෙනෙහසින් යුතුව පළමුව ගායනා කළේ මුම්ටාස් මහල් දේවිය යි. ඒ මිහිරට ගී ගයන්නට රජු ළඟ ඇය අද නැත.
දේවිය මිය ගියේ ක්‍රි.ව. 1631 ජුනි මස 17 දා ය. මිය යන විට ඇගේ වයස අවුරුදු 39 කි.
දුකට මිහිර ගෙනා පාළුව හා තනිකම මා වටා දැවටෙයි. යමුනා නදී දැහැනින් මෙන් ම ටජ්මහල් චමත්කාරයෙන් මා මිදුනේ අසල පල්ලියෙන් නැගුණු ගැඹුරු දෝංකාර හඬ නිසා ය.
මීදුම දොවා සඳරැස් පතිත වුව ද අඳුරු රුප්පා අතරින් වැටී තිබූ යා යුතු මාවත හඳුනා ගැනීම අපහසු කටයුත්තක් විය. කොහෙන්දෝ ආ බටලීයක මෘදු ස්වරයෙන් හදවත පෑරෙද්දී පදික පියවර ඔස්සේ යා යුතු මඟ මට පසක් විය.
යමුනා තලාවේ ගෝපීන්ගෙන් හා කාල්පනික ලෝකයකට මා ගෙන ගිය ෂා ජහන් රජුගෙන් හා මුම්ටාස් මහල් දේවියගෙන් ද සමුගත් මම එදවස මා විසූ අග්‍රා නුවර නවාතැන වෙත පිය නැඟුවෙමි.
ෂා ජහන් රජුගේ වියෝවග දුක එදාටත් වඩා අද මම වැලඳගෙන හිඳීමි.
No comments:
Post a Comment