10/26/2012

මරුට වසඟ වී



ගෙවුණු සත්වන ඉරුදින අපේ රටේ බොහෝ දෙනෙකුට අසිරිමත් දිනයක් විය. බාල, තරුණ, මහලු බොහෝ දෙන බලා සිටියේ රාත්‍රිය උදාවන තුරුය. කුසලානය අප සතු යයි සිතමින් බොහෝ ලාංකිකයෝ සිය නිවෙස්වල රූපවාහිනී යන්ත්‍ර වටා පෙළගැසුණහ.

නගරබද මතු නොව ගම්බද ද පුළුල් තිර මතට තරගය ප්‍රක්ෂේපණය කොට නැරඹීමේ පහසුකම් සලසා තිබිණි. ජයග්‍රහණය පිළිබඳ කවර හෝ සැකයක් බොහෝ දෙනෙකුට නොවී ය. ඉතින් උහු ජයපැන් බොන්නට ඇවැසි මධුපාන, කටගැස්ම මතු නොව රතිඤ්ඤා ද ළඟට ගෙන තරගය නැරඹූහ. ‘ක්‍රිස් ගේල්’ ඉක්මනින් ම ක්‍රීඩාගාරයට යැවෙන විට ජයග්‍රහණය පිළිබඳ තිබුණු මඳ සංකාවන් පවා දුරුකර ගත්හ.
එහෙත් සිදු වූයේ නොසිතුවක්ම ය. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ජයගත්හ. සාමාන්‍ය ජීවිතයේදී ද අප හිතනපතන දේ ඒ අයුරින් ම සිදු නොවේ. ක්‍රීඩාවට ද එය පොදුවෙයි.
ක්‍රීඩාවෙන් ප්‍රගුණ කෙරෙන්නේ ද ජය පරාජය සම සේ විඳගෙන අභියෝගවලට මුහුණ දීමේ හැකියාවයි. එහෙත් ක්‍රිකට් හා බැඳී ඇති ලාංකීය ජනප්‍රිය සංස්කෘතියේ උන්මාදය ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩා ලෝලීහු ක්‍රීඩකයන්ට අම්ම මෝ නැතිව බැණ වදිමින්, ‘මැච් එක වික්කා’ යයි කියමින් සිය පරාජිත හැඟීම් සමනය කරගනු දක්නට ලැබිණි. ජයග්‍රහණයේදී ප්‍රශංසාවෙන් ඉහළට එසවෙන ක්‍රීඩකයන් ම පරාජයේ දී අවමානයට, ගැරහීමට ලක්කිරීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇත.
තරග පරාජයේ පශ්චාත් ප්‍රතිඵල මාධ්‍ය වාර්තා කරන විට බොහෝ අය විස්මයට පත් වන්නට ඇත. ජීවිත තුනක් මරු තුරුළට ගොස් ය. උපදින්නට නියමිතව මවු කුසයේ සිටි බිලිඳෙකු ද මරණයට පත්ව ඇත. 2003 වර්ෂයේදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ‘ප්‍රීතිකා රණවීර’ ගේ ජීවිතය වූයේ ක්‍රිකට් ය. දරු ගැබක් කුසින් දරාගෙන, බිලිඳෙකු ලොවට එළි දක්වන්නට නියමිතව සිටි ඇය පරාජයට පත්වන තරගය නැරඹුවේ දරාගත නොහෙන ශෝකයකිනි. ඇය රෝගාතුර වූවා ය. දරුවෙකුට උපත දෙන්නට නියමිතව සිටි හෙයින් වහා රැගෙන යන ලද්දේ කාසල් වීදියේ කාන්තා රෝහලට ය. එහෙත් පරාජයේ ශෝකයෙන් ඇතිවුණු රුධිර පීඩනයේ ඉහළ යාමෙන් ඇය නූපන් දරුවාත් සමඟ ම මරණයට පත් වූවා ය.
ඉතිරි දෙදෙන මිය ගියා නොවේ. උහු පරාජය දරාගත නොහැකි ව සිය දිවි හානි කර ගත්හ. එක් අයෙක් හැටන් දික්ඔය ‘මහේන්ද්‍රන් සුරේන්ද්‍රන්’ ය. අනෙකා හංවැල්ල සිරිපොල පදිංචි ‘අෂාන් ලක්ෂිත’ ය. මහේන්ද්‍රන් දෙමළ ජාතිකයෙකි. 21 හැවිරිදි ඔහු ගල් වළෙක වැඩ කොට දිවි සරු කරගත්තේ ය. අසල නිවෙසක රූපවාහිනිය නැරඹීමට ගිය ඔහු රෑ එකොළහට පමණ බීමත්ව නිවෙසට පැමිණ ඇත. පරාජයෙන් සිත් තැවුළට පත් මහේන්ද්‍රන් නිවැසියන් සියලු දෙන එළියට දමා දොර වසාගෙන ගෙල වැලලා ගත්තේලු. (ලාංකික දෙමළ ජනතාව තුළ ජාතික හැඟීමක් නැතැයි ද, උහු වෙනත් රටවලට හුරේ දමතියි ද කියන අපේ අයට මහේන්ද්‍රන් හොඳ පිළිතුරකි’යි විටෙක මට සිතෙයි.) අෂාන් ලක්ෂිත ක්‍රිකට් තරගය නරඹන්නට ගියේ ගාලුමුවදොර පිටියට ය. තරග පරාජයෙන් කම්පා වී රැයේ නිවසට පැමිණි ඔහුගේ සිරුර අසල අඹගහක එල්ලී තිබිණි.
දුක, ඉච්ඡාභංගත්වය ආදිය දරා ගත නොහැකි අය ඉතා සුළු යයි සැලකිය හැකි කාරණාවල දී පවා ජීවිතය හැර යාමේ ක්ෂණික තීරණ ගැනීම වර්තමාන ලාංකීය සමාජයේ බහුලව දක්නට ලැබෙන්නකි. විසාදය හා පෞරුෂත්ව ආබාධවලින් පෙළෙන බහුතරයක් අපේ සමාජයේ ජීවත්වන බව මනෝ විද්‍යාඥයෙකු පුවත්පතකට කියා තිබිණි. මෙය කිසිසේත් ම සුළු කොට තැකිය යුතු සමාජ ප්‍රශ්නයක් නම් නොවේ.
එහෙත් සිත්තැවුල්, පරාජයන්, කම්පාවන්, රෝගාබාධ දරාගත නොහැකි දිවි හැර ගියේ මහේන්ද්‍රන්ලා අෂාන්ලා වැනි සාමාන්‍ය තරුණයන් මතු නොවේ. විවිධ ක්ෂේත්‍රවල ප්‍රකටව, සිය කිතු ගොස පැතිරවූ මහා පුරුෂයෝ ද විවිධ හේතූ නිසා ජීවිතයෙන් පලා ගියහ.
අපේ ජාතික ගීයේ නිර්මාතෘ වන ‘ආනන්ද සමරකෝන්’ ද එවැන්නෙකි. ඔහු ජීවිතයෙන් පලා යන විට ඔහුගේ වයස අවුරුදු 51ක් වූවා පමණි. ‘නමෝ නමෝ මාතා’ ගීය ජාතික ගීය වූ තැන් පටන් සමරකෝන්ට කරදර ළතැවුල් ළඟාවූවා විනා යහපතක් වූ බවක් නොපෙනේ. ගණ දෝෂ ආදිය සඳහන් කරමින් ජාතිත ගීය විවේචනය කළ අයට පිළිතුරු දෙන්නට ඔහු සිය කාලය කැප කළේ ය. ජාතික ගීය වෙනස් කිරීමෙන් වළක්වන්නට කළ වෙහෙසකර සටන් අවසානයේ සමරකෝන් සිය දිවි හානි කර ගත්තේ ය.
1962 අප්‍රේල් 02 වනදා නින්දට ගිය ඔහු පසුදා අවදි වූයේ නැත. කාමර‍ෙය් දොර කඩා බලන විට සමරකෝන් දැඩි නින්දක ගැලී සිටි අතර මත්පැන් බඳුනක් ද, සිගරට් කොටයක් ද, නිදිපෙති කුප්පියක් ද යහන අසල විය. මහරෝහලට ඇතුළු කළ ද 1962 අප්‍රේල් 05 වනදා ආනන්ද සමරකෝන් නම් මහා කලාකරුවා මරණයට පත්විය. නිදිපෙති අධික ප්‍රමාණයක් ගැනීම මරණයට හේතුව බව වෛද්‍ය වාර්තාවේ සඳහන් විය. නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ සමරකෝන්ගේ මරණය අත්වැරැද්දකින් සිදු වූ මරණයක් බවයි.
අපේ ලංකාවෙන් පමණක් නොව විදේශීය රටවල්වලින්ද සිය දිවි හානි කරගත් ලේඛකයන් හා කලාකරුවන් පිළිබඳ තොරතුරු බොහෝ සෙයින් වාර්තා වේ. සුප්‍රකට ‘රෂොමොන්’ කෙටිකතාව රචනා කළ කීර්තිමත් ජපන් ලේඛක ‘රියුනොසුකෙ අකුතුගාවා’ සිය දිවි නසා ගත්තේ වයස අවුරුදු තිස් පහේදීය. ඔහු සිය දිවි හානි කරගන්නට පෙර ලියන ලද කෙටිකතාවෙන් ඔහු තුළ පැන නැගෙමින් තිබුණු ප්‍රචණ්ඩකාරී සිතිවිලි අනාවරණය වෙති’යි කලකට පෙර මා කියවූවා මතකය.
සිය දිවි හානිකර ගැනීම ජපාන සංස්කෘතියේ ඇබ්බැහියක්දැයි විටෙක සිතෙයි. රබීන්ද්‍රනාත් තාගෝර්තුමා නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රථමයා වන විට එම ත්‍යාගය දිනූ දෙවැන්නා වූයේ ජපන් ජාතික ‘යසුනරි කවබතා’ය. ඒ සා ශ්‍රේෂ්ඨ ලේඛක යසුනරි කවබතාගේ දිවි කෙළවර වූයේ සිය දිවි හානි කර ගැන්මෙනි. කවබතා සිය දිවි හානිකර ගත්තේ වයස හැත්තෑ ගණන්වලදී ය. ජපන් ජාතික අන්තර්ජාතික කීර්තියට පත් ලේඛකයෙකු වන ‘යුෂිකො මිෂිමා’ ද සිය දිවි නසා ගැනීමෙන් ජීවිතය කෙටි කර ගත්තේ ය.
ඇමෙරිකන් පුලිට්සර් ත්‍යාගය මෙන් ම, නොබෙල් ත්‍යාගය ද දිනූ ලෝක පූජිත ‘මහල්ලා සහ මුහුද’ රචනා කළ ‘අර්නස්ට් මිලර් හෙමිංවේ’ සිය දිවි තොර කර ගත්තේ නිවසේ සියල්ලන් නිදා සිටියදී කානු දෙකේ තුවක්කුවේ කානු දෙක කට තුළට බහා වෙඩි තබා ගැනීමෙනි. ‘මිනිසා විනාශ කළ හැක. එහෙත් පරාජය කළ නොහැක’ යන න්‍යායට අනුව දිවි ගෙවූ හෙමිංවේ සිය ගත වෙලාගත් රෝගාබාධයන්ට පරාජය වන්නට කැමති නොවී ය.
අපේ ලැයිස්තුවට එක්වන තවත් ලෝත පූජිත තැනැත්තියකි ඉංගිරිසි ජාතික ‘වර්ජිනියා වුල්ෆ්’ ඇය ලංකාවේ ඉමහත් කීර්තියට පත් ‘බැද්දේගම’ ලියූ ‘ලෙනාඩ් වුල්ෆ්’ ගේ ආදරණීය බිරිඳ වෙයි. ඇය අභ්‍යන්තරික උමතුවකින් පීඩා විඳි තැනැත්තියක් සේ ප්‍රකටය. තෙවතාවක්ම මරුට අභියෝග කළ ඇය මරුට මුහුණ දෙන දිනය පිළිබඳ සිය දිනපොත්වල සටහන් කළ ලේඛිකාවකි. අවසානයේ ශරීරයෙහි ගල් කැට එල්ලා ගෙන 1942 මාර්තු 28 වන දින දියට පැන දිවි නසා ගත්තා ය.
සිය දිවි හානි කරගත් ශ්‍රේෂ්ඨයන් ගැන කතා කරන්නට ගිය හොත් මෙම ලේඛනය බොහෝ දිගු වන්නට ඉඩ තිබේ. කෙසේ වෙතත් සිය දිවි නසා ගැන්මේ ඛේදවාචකය අඩු අධ්‍යාපනයක් ලද්දවුන්ගේ උරුමයක් යයි පැවසීම සාවද්‍ය වූවකි. ඉතා පරෙස්සමෙන් පිළියම් යොදමින් අභියෝගවලට මුහුණ දීමේ පෞරුෂය වර්ධනය කරමින් සමාජයෙන් තුරන් කර ගත යුතු ව්‍යාධියකි.
mahanamadunumala@gmail.com

No comments:

Post a Comment