10/19/2012

ලාබ තීරුවේ බෝඩිම් කාමර



“අපේ ගෙදර ළමයි දෙන්නෙක් බෝඩ් වෙලා ඉන්නවා. ‘දිසාලා’ දුව ඉගෙන ගන්නෙ අටේ පන්තියේ. එයා හරි හුරතල්. එයාට දැනෙන්නේ අපේ ගෙදර එයාගේ ම ගෙදර වගේලු. මම මොන්ටිසෝරි යන මගෙ චූටි දුවට බත් කවන කොට, දිසාලා දුවටත් මගෙන් කටක් දෙකක්වත් කවා ගන්න ඕනෑ.”

මා හා එසේ කීවේ කාර්ය බහුල ගෘහණියකි. ඇය සැමියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ද සිය කාලය කැප කරන්නියකි. සිය දරු දෙදෙනාගේ කටයුතු වෙනුවෙන් ද වෙහෙසෙන ඇය බාලිකාවන් දෙදෙනකු ද සිය නිවසේ නතර කර ගෙන සිටින්නී ය. ඇය කියන ආකාරයට නේවාසික දැරියන් දෙදෙනට ඇය සෙනෙහස පාන්නී සිය දරුවන් හා සමව ය.
“අපේ ගෙදර ඉන්න අනිත් දුවට ඉඳහිට අසනීපයක් හැදෙනවා. එයාට හිටිගමන් සිහි නැති වෙනවා. ඉතින් ඒ වෙලාවට සාත්තු සප්පායම් කරන හැටි මම එයාලගේ අම්මලගෙන් අහගෙනයි තියෙන්නේ.”
ඇය කීවා ය. ඇය තම දරුවන් හා සමානව නේවාසික දරුවන්ටද ආදරය කරන බව කියන විට ඔබ “ඒකනම් බොරුවක්” යයි කියනු ඇත. මම ද ඔබ හා එක්තරා ප්‍රමාණයකට එකඟ වෙමි. මන්ද මවකට සිය කුස ඔත් දරුවන්ට පාන සෙනෙහස ම අනුන්ගේ දරුවන්ට පාන්නට නොහැකි වන බැවිනි. එහෙත් අනුන්ගේ නිවසක නේවාසිකව සිටින දරුවෙකුට ද රැකවරණය සෙනෙහස අවශ්‍ය වෙයි.
ඔවුනට රෝගාබාධ වැලඳුණු විට, දොස්තර ගෙදර ගෙන ගොස් බේත්හේත් රැගෙන දෙන්නට සිදුවෙයි. ඔවුනට හදිසියේ මුහුණ දෙන්නට වන දුක් ගැහැට කියන්නට සිටින්නේ අම්මා නොවේ. බෝඩිමේ හිමිකාර මවයි. දරුවන් සිය නිවසේ නවත්වා ගන්නේ අතිරේක ආදායමක් ලබන්නට බව සැබෑවකි. එහෙත් සිය නිවසේ නේවාසික දරුවාට මවක සේ ම සෙනෙහස පාන්නට ඔහුට හෝ ඇයට හදිසියේ මුහුණ දෙන්නට වන දුක් තැවුල් සමනය කරන්නට මවක සේ ක්‍රියා කරන්නට බෝඩිම් හිමිකාරිණියට හැකි විය යුතු ය.
මම ද හයවැන්නේ සිට ගමෙන් බැහැරව උගත්තෙමි. ඉන් අවුරුදු දෙකක් පාසල් නේවාසිකාගාරයක ගෙවුණු අතර, ඉතිරි කාලය ගෙවුණේ පාසලට වැඩි දුරක් නැති නිවෙස්වල බෝඩිම්කරුවකු සේ ය. ඉදින් කුඩා වියේ දී බෝඩිම්කාරයකු වු මම බෝඩිමෙන් දරුවෙකුට ලැබිය යුතු සෙනෙහස මැනවින් හඳුනමි. එදවස මගේ බෝඩිම්පතිනියන් වෙතින් ලද කාරුණික බව මතක් වනවිට අදත් නෙතට කඳුළක් නැඟෙයි.
මට කලකට පෙර බෝඩිමක නතර වී, පාසල් ගිය ශිෂ්‍යයකු මතක් වෙයි. ඔහුට අපි ‘සුරත්’ යයි කියමු. සුරත්ගේ මවත් පියාත් දෙදෙන ම ඔහු කුඩා කාලයේ දී මරණයට පත් වුහ. ඔහුගේ එක් මාමා කෙනෙක් ඔහුට නේවාසිකව ඉගෙන ගන්නට බෝඩිං ගාස්තු ගෙව්වේ ය. තවත් මාමා කෙනෙක් පාසල් උපකරණ මිලදී ගන්නටත්, ටියුෂන් ආදී වෙනත් අවශ්‍යතාවන්ටත් මුදල් වැය කළේ ය. වාසනාවකට මෙන් සූරත්ගේ බෝඩිං හිමිකාරයෝ ද කාරුණික මිනිස්සු වුහ. ඔවුහු මාපියන් නැති දරුවාට තමන්ගේ දරුවන්ට සලකන අයුරින් සැලකූහ. පසු කලෙක සුරත් සාර්ථක පුරවැසියෙකු කරන්නට ඒ කරුණාව ද බලපාන්නට ඇත.
විශ්වවිද්‍යාල, ගුරු විද්‍යාල හා කර්මාන්ත ශාලා ආසන්නයේ ඇති තරුණ තරුණියන්ගේ බෝඩ්මිවලින් අසන්නට ලැබෙන්නේ මීට වෙනස් කතන්දර ය. ඒවා බොහෝ විට ලාභ තීරුව ම සැලකිල්ලට ගන්නා බෝඩිම් වෙයි. එබැවින් නේවාසිකයන් හා හිමිකරුවන් අතර අයිතිවාසිකම් අරබයා ඇති වන අරගල ඒවායේ බහුල වෙයි.
අවුරුදු විස්සකට පමණ පෙර මම විභාගයකට පෙනී සිටීම සඳහා සති දෙකකට කාමරයක් සොයා ගන්නට මිතුරකු සමඟ පේරාදෙණිය පැණිදෙනියේ කාමර කුලියට දෙන නිවසකට ගියෙමි. කලක් එහි නැවතී සිටි මගේ මිත්‍රයා එහි අයිතිකරුවන් මැනවින් හඳුනයි. අප යනවිට එම නිවසේ ගේට්ටු පලු දෙක ගලවා බිම දමා තිබිණි.
“මොකද? රෙපෙයාර් එකක් වත් ද? මගේ මිතුරා සිනාසෙමින් ඇසී ය. එහෙත් අයිතිකාරයාගේ මුහුණේ සටහන් ව තිබුණේ කෝපයකි.
“අරුන් අවුරුද්දක් ඉඳල යන දවසෙ ගේට්ටුව ගලෝල දාල ගිහින්. මට පාඩු කරන්ට.” ඔහු දත් මිටි කෑවේ ය. අවුරුද්දක් ම ඔහු හා ගැටෙමින් සිටි බෝඩිම්කාර ඉලන්දාරීන් ඔහුට අලාභ කොට නික්ම ගොසිනි. එතැන නවාතැන් විමසන්නට සුදුසු පරිසරයක් නොතිබුණෙන් අපි වෙනතක ගියෙමු.
අතුරුපසක් සේ වැඩිහිටි බෝඩිම් ගැන කතා කළ ද ‘සංහිඳ පාමුල’ තුළින් අප කතා කළේ ළමයින්ගේ නවාතැන් පිළිබඳව ය. බෝඩිම්වල නවාතැන් ගන්නේ් මවුපියන් හෝ භාරකරුවන් සිටින දරුවන් ය. එහෙත් මිහිපිට කාත් කවුරුවත් නැතිව අනාථ වු දරුවන්ට සෙවණ දෙන තැන් ද වෙයි. ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල, විශේෂයෙන් බාලිකා පාසල් ආශ්‍රිතව ඇති කන්‍යාරාම එවැනි තැන් ය.
අතීතයේ මිෂනාරි පාසලක්ව පැවතී, පසුව රජයට පවරා ගත්, ප්‍රසිද්ධ බාලිකාවක් ආශ්‍රිතව ඇති කන්‍යාරාමය ගැන තොරතුරු මට කීවේ එම පාසලේ ගුරුවරියකි.
කොන්වන්ට් එකේ හැදෙන ළමයි හොඳට බලා ගන්නවා. ඉස්කෝලෙට ඇතුළු කරනවා. ඉස්කෝලෙට දාන්න බැරි වුණොත් ගුරුවරු ගෙන්නල උගන්වනවා. ලොකු ළමයින්ට ටියුෂන් ඕනෑ වෙන කොට ගුරුවරු ගෙන්නල ටියුෂන් දෙනවා.”
ගුරුවරිය කියු විස්තරය ඇසු මා තුළ ද එම කන්‍යාරාමයේ මවුතුමිය හා සහෝදරතුමියන් ගැන ඇති වුයේ පැහැදීමකි. පහත සඳහන් කතාව ද මට කීවේ එකියන පාසලේ ම අකුරු කරවන ගුරුවරියකි.
අපි ඇයට ‘කැතරින්’ යයි කියමු. ඇය ද කන්‍යාරාමයේ හැදෙමින්, වැඩෙමින් අටවැන්නේ ඉගෙනුම ලබන දැරියකි. දින දෙක තුනක් ඇය පැසිපන්දු පුහුණුවට නොපැමිණි බැවින් පැසිපන්දු භාර ගුරුතුමියගෙන් කැතරින්ට කැඳවීමක් ලැබිණි. ගුරුතුමිය පුහුණුවීම් සඳහා නොඑන්නට හේතු ඇසුවා ය.
“මේ නිවාඩුවට අපේ අම්මා මාව එක්කගෙන යනවා එයා ළඟට. ඉතින් මට තරගවලට එන්න වෙන්නේ නෑ.” දැරිය කීවා ය.
“අම්මා ළඟට යන එක හොඳයිනෙ. එහෙනම් ප්‍රැක්ටීස් නාවට කමක් නෑ. “ ගුරුවරිය සිනා පෑවා ය.
“නෑ මිස් මම අම්මා ළඟට යන්න කැමැති නෑ. මම කැමති මෙහේ ඉන්න. අම්ම මම පොඩි කාලේ මා ළඟ හිටියලු. ඒත් මට මතක නෑ. මම එයාව දැක්කෙ පහේ පන්තියේදී ඉතින් මට එයා ගැන හැඟීමක් නෑ. කොටින් ම මිස්ගෙ දුවට මිස් ගැන තියන හැඟීම මට අපේ අම්ම ගැන නෑ. මම අම්මට වඩා කොන්වන්ට් එකේ මදර්ට ආදරෙයි. ඊළඟට සිස්ටර්ලට ආදරෙයි.” දැරිය හැඟුම්බරව කීවා ය.
“එහෙනම් දුව ඔයා මදර්ට කියල නවතින්න.” ගුරුවරිය විසඳුම් ඉදිරිපත් කළාය.
“වැඩක් නෑ මිස්, අම්ම මාව ඉල්ලන කොට මදර් එයාට මාව දෙන්න ඕනෑ. නැත්නම් මදර්ට ප්‍රශ්න එනවා.” දැරිය කීවේ දුක්බරවය.
දරුවන් මවට දක්වන සෙනෙහස සිරිතක් සේ ලැබෙන්නක් නොවේ. එය ඔවුන් සෙනෙහසින් රැක බලා ගනිමින් දුකසේ උපයා ගත යුත්තකි. කැතරින් අපට කියා දෙන්නේ එයයි.
mahanamadunumala@gmail.com

No comments:

Post a Comment