මාර්ටින් වික්‍රමසිංහයන් ගේ ’සත්ව සන්තතිය’ පොත හැඳින්වෙන්නේ චාල්ස් ඩාවින් හා ඔහුගේ පරිණාමවාදය අළලා සිංහලෙන් ලියැවුණු මුල්ම ග්‍රන්ථය විදියට. එය පළවුනේ 1934 දී.
වික්‍රමසිංහයන් ‘දිනමිණ’ පත්‍රයේ වැඩකරන අවධියේ ‘හේතුවාදී’ යන ආරූඪ නමින් පරිණාමවාදය ගැන ලිපි රැසක් ලිව්වා.
ඒ අනුව විද්‍යාව අළලා සිංහලෙන් ලිපි ලියපු පළමුවැන්නා ලෙස එහි පුරෝගාමියා ලෙස වික්‍රමසිංහයන් සලකන්න පුළුවන්. ඔහු මෙහි දී යොදා ගත් ‘හේතුවාදී’ යන නාමයත් ඉතාම සංකේතාර්ථවත් ඉංග්‍රීසියෙන් ‘රැෂනලිස්ට්’ කියන වචනයේ සිංහලාර්ථය තමයි හේතුවාදියා යන්න.
’පරිණාමවාදය’ සම්බන්ධයෙන් වික්‍රමසිංහයන් ලියූ ලිපි එකල ඇතැමුන්ගේ උග්‍ර විවේචනයට ද ලක්ව තිබෙනවා. ඔවුන් අතර භික්‍ෂුන් වහන්සේලා, උගතුන් හා ගුරුවරුන් ද වූ බව සඳහන් වෙනවා. වික්‍රමසිංහයන් ගේ මුල් ම නවකතාව වන ‘ලීලා’ විවේචනය කළ පියදාස සිරිසේන ගේ ‘සිංහල ජාතිය’ පත්‍රය එය පරිණාමවාදය නමැති ප්‍රලාපය පතුරුවන අදහසින් ලියන ලද්දක් බව ප්‍රකාශ කර තිබෙනවා.
තෝමස් හස්ක්ලි එංගලන්තයේ දී ඩාවින් වාදයට පක්ෂව ගෙන ගිය මතවාදයට සමාන වූ බුද්ධිමය අරගලයක් මෙරට කිරීමට මාර්ටින් වික්‍රමසිංහට සිදු වූ බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා සඳහන් කර සිටිනවා. එපමණක් ද නොවේ. එංගලන්තයේ බර්ට්‍රන්ඩ් රසල්, වෙල්ස්, හස්ක්ලි, ෂෝ හා හෝල්ඩේන් වැනි සම්භාවනීය උගතුන් වෙන් වෙන් වශයෙන් ඉටු කළ කාර්යභාරය මෙරට තනියම ඉටුකිරීමේ වගකීම භාර ගැනීමට සිදු වූයේ වික්‍රමසිංහයන්ට බවත් ඔහු තවදුරටත් කියා සිටිනවා.
තමා ලේඛකයකු වූයේ ලෝකයේ මුල සෙවීමෙන්ය යන්න වික්‍රමසිංහයන් නිතරම කියූ කරුණක්. කුඩා කල මුහුදු වෙරළේ ගල්පර අතර දුටු කුඩා සතුන් ජීව විද්‍යාව පිළිබඳ ඔහු සතු කුහුල වැඩූ බව අපට පෙනෙනවා. පරිණාම වාදය ගැන වුණත් පොත් කියවන්ට වික්‍රමසිංහයන්ට කිසියම් පෙළඹවීමක් ඇති කළේ ඒ ළමා වියේ අත්දැකීම් වෙන්න ඕනෑ.
මාර්ටින් වික්‍රමසිංහයන් ගේ පෞද්ගලික පුස්තකාලයේ පරිණාමවාදය පිළිබඳ ඉංග්‍රීසියෙන් ලියැ වී තිබෙන සෑම සුප්‍රකට ග්‍රන්ථයක් ම පාහේ තිබුණු බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා වරක් සඳහන් කර තිබෙනවා.
මාර්ටින් වික්‍රමසිංහ 1967 දී එංගලන්තයට ගොස් ඩාවින් කෞතුකාගාරය නැරඹූ ආකාරය පිළිබඳ අගනා විස්තරයක් ඔහුගේ ‘එවොලූෂන් ඇන්ඩ් රෙවලූෂන්’ යන ඉංග්‍රීසි ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඇත්තට ම ඔහු තකහනියේ එංගලන්තයට ගියෙත් ඩාවින් කෞතුකාගාරය නැරඹීමටයි. ඩාවින් කෞතුකාගාරයට යන මඟ ගැන ඔහු කීප දෙනකුගෙන් ඇසූ විට ඔවුන් ඩාවින් කෙනකු ගැනවත් එනමින් යුතු කෞතුකාගාරයක් ගැනවත් නොදැන සිටි බව වික්‍රමසිංහයන් කියා තිබෙනවා. චාල්ස් ඩාවින් පිළිබඳ වික්‍රමසිංහයන් සතු දැනුම කෙරෙහි පුදුම එළවූ එහි කෞතුකාගාර පාලකයා සාමාන්‍ය අමුත්තන්ට ඇතුළුවීමට ඉඩ නොදෙන කොටසට පවා ඔහු එක්කරගෙන ගොස් තිබෙනවා.
වික්‍රමසිංහයන් සකලවිධ මිථ්‍යාවන්ට එරෙහිව ලියන්න පටන් ගත්තේ ඔහු විද්‍යාත්මක ඥානයෙන් පිරිපුන්ව සිටි නිසා යැයි අපට සිතන්න පුළුවන්. වික්‍රමසිංහ ගේ නවකතා බොහොමයකම මිථ්‍යාව විවේචනයට ලක් කරනවා. එය නිර්දය ලෙස ප්‍රශ්න කරනවා. මෙහි දී මට මතක් වන්නේ ‘යුගාන්තය’ නවකතාවේ එන එක්තරා දෙබසක්.
”කතරගම යෑම ගම්වල මිනිසුන්ගේ සිරිතක් නොවේ. ඔවුන් කතරගම දෙවියන් අඳුනන්නෙත් නැහැ. ඔහුට බයත් නැහැ.”
”කොළඹ නම් හුඟක් කතරගම යනවා”යි චමරි කීවා ය.
”කතරගම දෙවියන් නගරවල ධනවත් මිනිසුන්ගේ දෙවියෙක් මිස ගම්වල මිනිසුන්ගේ දෙවියෙක් නොවේ.'
1929 දී ‘රෝහිණී’ නවකතාව ලියූ වික්‍රමසිංහ ඊට පස්සේ අවුරුදු 15ක් විතර නවකතා රචනයෙන් ඉවත්ව සිටියා. එය ඔහුගේ විද්‍යාත්මක චින්තනය මුහුකුරා ගිය අවදියක් ලෙස දකින්න මං කැමතියි. ඔහු ‘ගම්පෙරළිය’ ලීවේ 1944 දී. එය විතරක් නොවේ එහි දෙවැනි (කලියුගය) හා තෙවැනි (යුගාන්තය) කොටස් පවා පරිණාමවාදයෙන් ලද දැනුම අනුව සමාජය විවරණය කළාවූ කතා ත්‍රිත්වයක්.
No comments:
Post a Comment