‘එකම රටක් - එකම හඬක්’ මේක අපිට මේ දවස්වල නිතර ඇහෙන ප්‍රචාරක දැන්වීමක්. සන්නිවේදන කටයුතු පිළිබඳ වෙළෙඳ දැන්වීමක් වුණත් මෙහි වචනාර්ථය ඉක්මවා ගිය පණිවුඩයක් ගැබ්වෙලා තිබෙනවා. ඒක තමා ජාතියක් එකමුතු කිරීමේ දී විවිධ ජන කොටස් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය ගොඩනැගීමේ අවශ්‍යතාව.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුළු කාගෙත් මවුරට මේ සුන්දර ලක්බිමය කියන එක අද වෙනකොට ජනමාධ්‍යවල වගේ ම නොයෙක් සංවිධානවලත් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා තිබෙනවා. මෙය සතුටට කරුණක් වුණත් හුදෙක් එවැනි ජනප්‍රිය කතාවලින් හෝ උද්‍යෝග පාඨවලින් පමණක් ඒ භාරධූර කාර්යය ඉටු කරගන්න පුළුවන්ය කියා හිතනවා නම් ඒක මුලාවක්.
විවිධ ජනකොටස් අතර අවබෝධය හා මිතුදම් ගොඩනැගීමේ දී ප්‍රායෝගික තලයේ මතුවන ගැටලු මොනවා ද කියන එක පහුගිය දවසක සිංහල දෙමළ ලේඛක එකමුතුව පවත්වපු සුහද හමුවක දී හොඳට පැහැදිලි වුණා.
‘අපි හිතුවේ මේකට සිංහල අය හුඟක් එයි කියලයි. ජාතික සමගිය ගැන අපිට තියෙන උනන්දුව ඇයි ඒ අයට නැත්තෙ. සිංහල, දෙමළ, මුස්ලිම් ලේඛකයෝ විතරක් එකතු වෙලා මදි. බර්ගර්, මැලේ වගේ අයටත් අපි ආරාධනා කරන්න ඕනෑ. අපිත් එක්ක එකතු වෙන්න කියලා. මොකද ශ්‍රී ලංකාව කියන්නෙ අපි ඔක්කොගෙම රට.
ඒ අදහස ඉදිරිපත් කළේ කේ.එස්. සිවකුමාර් කියන ප්‍රවීණ පුවත්පත් කලාවේදියා - ලේඛකයා. සිවාගෙ අදහසට සභාවෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ප්‍රමාණාත්මකව බලන විට මේ සුහද හමුවට දෙමළ හා මුස්ලිම් ලේඛකයන්ට සාපේක්ෂව සිංහල ලේඛකයො සහභාගි වුණා මදි. ඒ පිළිබඳත් සභාවේ අවධානය යොමු වුණා. ‘අපිත් සුළුතරයක් වුණා නම් මීට වඩා පිරිස වැඩි වෙන්න තිබුණා. තමන්ගෙ ප්‍රශ්න තනියම විසඳාගන්න පුළුවන් කියලා හිතන පිරිසකුත් අපි අතර ඉන්නවා. සමහර වෙලාවට අපි වැඩ කරගෙන යනකොට ඒ අයත් අපිට එකතු වෙයි.’
දෙමළ හා මුස්ලිම් ලේඛකයන් අතර මතු වී තිබුණු කුකුස සමහන් කිරීමට උපාලි ලීලාරත්න මැදිහත් වුණා. උපාලි, සිංහල – දෙමළ භාෂා දෙකෙන් ම වැඩ කරන්න දන්න සම්මානලාභී ලේඛකයෙක්.
‘මටත් තියෙනවා ප්‍රශ්නයක්.’ එවර නැඟී සිටියේ මේමන් කවී, මුස්ලිම් ලේඛකයා. ‘සිංහල දෙමළ ලේඛක එකමුතුවේ වැඩ ගැන වාර්තා නිතර ම දෙමළ ජනමාධ්‍යවල පළ වෙනවා. මේ බලන්න බොරු ද කියලා.’ ඔහු සිය මල්ලෙන් පත්තර කිහිපයක් ගෙන ප්‍රදර්ශනය කළා. ‘ඇයි සිංහල මාධ්‍යවල මේ වගේ විස්තර පළ නොවන්නේ’...?
‘මේමන් මතු කරන ප්‍රශ්නය හරි. ඒකත් මේ හමුවට සිංහල ලේඛකයන්ගේ පැමිණීම අඩුවීමට සමානය කියලා මට හිතෙනවා. ‘ එවර නැගී සිටියේ මඩුළුගිරියේ විජේරත්න. මඩුළුත් දිගු කාලයක සිට වාර්ගික සුහදත්වය වෙනුවෙන් කැපවී සිටින ලේඛකයෙක්. ‘ යුද්ධෙන් පස්සෙ සමහර මාධ්‍යවේදීන් හිතාගෙන ඉන්නවා දැන් ඔක්කොම හරි කියලා. මේ වගේ ගැටුම්කාරී තත්ත්වයක් නිමා වුණාට පස්සේ මාධ්‍යවේදීන්ට පැවරෙන වගකීම ගැන ඒ අයට හරි අවබෝධයක් නැහැ. සාමය හා සුහදත්වය වෙනුවෙන් පෙනී සිටින ලේඛකයන් හැටියට අපි ඔක්කෝම එකතු වෙලා මේ ජාතික අවශ්‍යතාව මාධ්‍යවේදීන්ට පෙන්නා දෙන්න ඕනෑ.’
මුලින් සිංහලෙන් කතා කළ මඩුළු ඊළඟට, දෙමළ බසිනුත් සිය අදහස් ප්‍රකාශ කළා. සිංහල නොදන්නා දෙමළ හා මුස්ලිම් අය ඊට ප්‍රතිචාර දැක්වූයේ අත්පොළසමකින්. සංවාදය මෙහෙයවපු හේමචන්ද්‍ර සුහද හමුවේ දී මතු වූ වැදගත් කරුණු සිංහල - දෙමළ භාෂා දෙකෙන් ම නැවත සම්පිණ්ඩනය කළා. මොන තරම් බාධක තිබුණත් ‘බිඳ වැටුණු මිතුදමේ පාලම’ යළි ගොඩනැගිය යුතුය යන්න සුහද හමුවේ පොදු මතය වූ බවයි ඔහු අවධාරණය කළේ.
ඒ අවස්ථාවේ නැගී සිටි ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධන මිතුදමේ පාලමක් ගොඩනැගීමේ අගය මෙසේ කවියට නැඟුවා.
‘මගේ ගම දකුණේ
ඔබේ ගම ඈත උතුරේ
එ’ගම් දෙක අතරේ
වෙනස්කම් පවතී ද මිතුරේ
එකම ඉර හඳ යට
කුඹුරු වපුරා වැඩ කොට
අස්වනු ගනිමු ගෙට
විඳින දුක වෙහෙස ඇත සමකොට
උපාධිය ලැබගත්
උතුරේ මෙන්ම දකුණෙත්
රැකියා නැති උගත්
තරුණයෝ හැම තැනම හමුවෙත්
ධන බල ඇති කුරිරු
මිනිසුන් නිසා තකතිරු
දකුණු වැසි දුක පිරු
උතුරට ද පොදු වේය නැත බොරු
සුසුම් කඳුළැලිවල
උතුරු - දකුණේ කිසි කල
වෙනසක් නොමැති කල
අපි එකම මිහිසුන්ය ලොව තුළ
තිබිය යුතු තැන පෙම
වෛරයක් තැනුවේ කිම
නිසරු ඒ හැඟුම ම
පිලිස්සූ හැටි දිටිමි මවුබිම
ඒ ගිනි පුපුරු හැම
නිවමින් පා සොයුරු පෙම
එකතු කොට දෙපසම
බඳීමු නොබිඳෙන ලෙසට පාලම
ඔබේ ගම ඈත උතුරේ
එ’ගම් දෙක අතරේ
වෙනස්කම් පවතී ද මිතුරේ
එකම ඉර හඳ යට
කුඹුරු වපුරා වැඩ කොට
අස්වනු ගනිමු ගෙට
විඳින දුක වෙහෙස ඇත සමකොට
උපාධිය ලැබගත්
උතුරේ මෙන්ම දකුණෙත්
රැකියා නැති උගත්
තරුණයෝ හැම තැනම හමුවෙත්
ධන බල ඇති කුරිරු
මිනිසුන් නිසා තකතිරු
දකුණු වැසි දුක පිරු
උතුරට ද පොදු වේය නැත බොරු
සුසුම් කඳුළැලිවල
උතුරු - දකුණේ කිසි කල
වෙනසක් නොමැති කල
අපි එකම මිහිසුන්ය ලොව තුළ
තිබිය යුතු තැන පෙම
වෛරයක් තැනුවේ කිම
නිසරු ඒ හැඟුම ම
පිලිස්සූ හැටි දිටිමි මවුබිම
ඒ ගිනි පුපුරු හැම
නිවමින් පා සොයුරු පෙම
එකතු කොට දෙපසම
බඳීමු නොබිඳෙන ලෙසට පාලම
දෙනගම ඒ කවිය ගයා නිම කරනවාත් සමඟම සභාවෙන් නැගුණේ උණුසුම් ප්‍රතිචාරයක්. එය සභාවට කෙතරම් උත්තේජනයක් වුවා ද කීවොත් උපාලි ලීලාරත්න ලේඛකයගෙ උදවුවෙන් කවිය දෙමළට පරිවර්තනය කරගත් මේමන් කවී එය ඉතාමත් හැඟීම්බර ලෙස දෙමළ බසින් ගායනා කළා. ජාතිය එකමුතු කර සාමය හා සංහිඳියාව ගොඩනැගීමේ භාරධූර කාර්යභාරයේ දී ලේඛකයාට ලොකු වැඩකොටසක් ඉටු කළ හැකි බවයි අවසානයේ කාගෙත් නිගමනය වුණේ.
No comments:
Post a Comment