10/19/2012

සිනාසෙන ඇස්



පාසල් පිට්ටනිය මැද මිරිඟුව නළියනු පෙනේ. විසල් පළු ගසක් යට අල්ලාප සල්ලාපයෙහි යෙදෙන පාසල් දරුවන් පිරිසකගේ දසුන නෙතට රසඳුනකි. විදුහල් බිම උත්සව සිරියෙන් ගුම් ගැනී තිබීම දරුවන්ගේ ප්‍රීති ප්‍රමෝදයට හේතු වී ඇත. සිනාසෙන ඇස් ඇති කුඩා දැරියකගේ රූපකාය දාහයෙන් දැවුණු අප සිත්හි පහන් හැඟුම් ඇති කිරීමට සමත් විය.

මම ඒ දැරිය මා අසලට කැඳවා ගෙන ඇය සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියෙමි. රජරට දැඩි නියඟයෙන් පීඩා විඳින කටුක පරිසරයක සිනාසෙන ඇස් ඇති දැරියක්!
මේ අත්දැකීම මට ලැබුණේ මීට මාස දෙකකට පෙර කටියාව යාය I විදුහලේ පැවති මකරන්ද සාහිත්‍ය උලෙළේදීය. සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණය කිරීමෙන් පසුව ලැබුණු ත්‍යාග සහ සහතික පත් හුවමාරු කර ගනිමින් ද අත පත ගාමින් ද ඔවුන් ලද සතුට අපමණ බව පෙනිණ. තමන් ලියූ කාව්‍ය නිර්මාණ තමන්ගේම හඬින් මයික්‍රෆෝනයෙන් ගයන්නට ලැබීම ඒ දරුවන්ට විරල ගණයේ අත්දැකීමක් විය.
කටියාව විදුහලේ පළු ගස යට කෙළිදෙළෙන් පසු වූ දරුවන් දුටු වහාම මට සිහිපත් වූයේ කු / තඹරව කනිටු විදුහලේ පිට්ටනියේ මයිලගස යට සෙවණෙහි සුභාෂිතයෙහි කවි කට පාඩම් කළ මගේ ළමා අවදියයි. සුදෝ සුදු ජාතික ඇඳුමෙන් සැරසුණු අපේ ගුරුතුමා සුභාෂිතය, ලෝ වැඩ සඟරාව, නරසීහ ගාථා යනාදී කෘති සම්පූර්ණයෙන්ම කට පාඩම් කිරීමට අපට අනුබල දුන්නේය. එපමණක් නොවේ විදුහලේ කුඩා පොත් අල්මාරියෙන් පොත් රැගෙන අපට කියවන්නට දුන්නේය. සිංහල භාෂා දිනයෙහි නිර්මාණ තරග සඳහා ඔහු අප යාබද නගරයෙහි මහා විද්‍යාලයට කැඳවා ගෙන ගියේය. තරගාවසානයේ ලැබුණු සහතික පත් සහ අලුත් පොත් සිඹින විට දැනුණු නැවුම් පුසුඹ ද නැවත දැනේ.
නදුන් යසිත දසනායක, ඉසුරු ප්‍රසංග, මහින්ද ප්‍රභාත් මස් ඉඹුල, මධුරංග ඩී නුවන්ප්‍රිය, ඩොමිනික් චන්ද්‍රසාලි, හරිත විශ්වජිත් මනමේන්ද්‍ර, ළහිරු කිතලගම, දේ. වි. ගාල්ලගේ යනාදී කවි මිතුරන් ද කීර්ති වැලිසරගේ සාහිත්‍යවේදියාණන් ද සමඟ කටියාවට ගිය ගමනේදී අමතක නොවන තවත් අත්දැකීමක් වූයේ ශාන්ති දිසානායක ලේඛිකාව අතරමගදී අප ගමන් ගත් රියට නැගුණු විට ඇයට ගෞරව පිණිස විදුහල තෙක් එම රියට ඉදිරියෙන් ගමන් කළ ඇගේ ගම්මුන්ගේ යතුරුපැදි පෙරහර යි!
පැටි වියෙහි දී සාහිත පත පොත අතට ලැබීමෙන් සිංහල භාෂා දින නිර්මාණ තරගවලට සහභාගී වීමෙන් සහ කවි ගායනා කට පාඩමින් ඉදිරිපත් කිරීමෙන් අප ලද සතුටට වැඩි සතුටක් මෙවැනි කටයුතු ඔස්සේ අත් විඳිය හැකිය. එහෙත් ඒ සඳහා කැප විය යුතුය. වෙහෙස විය යුතුය.
අපේ රටේ නිර්මාණ අංකුරවල වාසනාවට එසේ කැපවීමෙන් වැඩ කරන කවි කිවිඳියන්ගේ පරපුරක් අපට සිටීම භාග්‍යයකි. එහෙත් මේ කිසිදු කටයුත්තක හරය නොදකින උද්දච්චකමෙන් සහ පුහු මානයෙන් දැවෙන සරසවියට හෝ අගනුවරට සීමා වූ විශේෂඥ විචාරකයෝ ද අපට සිටිත්. ගණනින් සුළු වුවද ඔවුන්ගේ් වචන සුළු නොවේ. ලිබරල් ධනේශ්වරය, සාහිත්‍ය ශානරය, පොළා පැනීම යනාදී තමනුත් නොදන්නා වචන සමඟ ඔවුන් කරන හරඹ අපට පෙනෙනුයේ හිස් ලබු කබල් සෙලවීමක් ලෙසය. මෙය එක් අතකට වළං කඩේට ගොනා පැනීමක් ලෙස ද පෙනේ.
“නාඳුනන තුවක්කුරුවන්ගෙන් කවිය ඝාතනය වීමේ” භීතිකාවට වඩාවැඩි භීතිකාවක් වනුයේ කිසිදු සද්කාර්යයක හරයක් නොදකින නරුමවාදී සහ නාස්තිකවාදී චින්තනයයි. එසේ හෙයින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි මෙන්ම සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙහි ද සංවේදී මිනිසුන්ට කළ හැකි වැඩ ඕනෑ තරම් ඇත. ‘නව ලිබරල් ධනවාදය’ විවේචනය කරමින් තම දෛනික රස්සාවට වැටුප් ගෙන ධනවාදයේ පිහිටෙන් ම තමන්ගේ වැඩ ටික සීරුවෙන් කරගෙන යන බක පණ්ඩිතයන් හට සිනාසෙන ඇස් ඇති දරුවන්ගේ කල්පනා ලෝකය නොපෙනේ ද?
කලාතුරකින් දවසක ගමට යන විට
අපේ පුංචි ඉස්කෝලය පෙනෙයි මට
පොල් අතු සෙවිලි කළ ඒ පොඩි වහල යට
සැඟවී තිබේ මගෙ ජීවිතයෙහි සතුට
ඉඳ හිට ගමට යන විටක මගේ පාසල දකිද්දී මහගම සේකරගේ එම කවිය මට සිහිපත් වෙයි. එමෙන්ම රස්නායක පුර, හුළුගල්ල, ආඬිගම, පුනවිටිය, මහවන්නමඩුව, කොබෙයිගනේ, කටියාව යනාදි වශයෙන් පසුගිය අවදියෙහි මගේ පාදස්පර්ශය ලැබුණු බොහෝ ග්‍රාමීය විදුහල්වලදී සේකරගේ කවියෙහි ඇති සංවේදී රිද්මය නැවත නැවතත් මා හදවත ස්පර්ශ කළේය. ජීවිතයෙහි සැඟවී ඇති සතුට පාදා ගැනීම අමා මිහිරකි.
thimbiri@gmail.com

No comments:

Post a Comment