10/26/2012

බිංදුව ඉන්දියානුවන්ට



මා මිත්‍ර මහාචාර්ය විමල් දිසානායක මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකි. ලෝකයේ අනේකවිධ වියතුන් හා ප්‍රාඥයන්ද ඇසුරු කිරීමේ දුලබ භාග්‍යය ඔහු ලබා ඇත. සාහිත්‍යධරයන් ඇතුළු ලොව පිළිගත් නානා තරාතිරමේ පුද්ගලයන් ඔහුට ඇසුරු කිරීමට ලැබුණේ හවාහි ඊස්ට්වෙස්ට් ආයතනයේ අධ්‍යක්‍ෂවරයා වීමත් සමගය.

 ඊස්ට්වෙස්ට් ආයතනය ශාස්ත්‍රීය කටයුතු සඳහා ලෝපසිඳු විදුදරයන් නිතර ආගිය තැනකි. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවක ශ්‍රාස්ත්‍රෝද්යන් ඉගැන්වීමට ලත් අවස්ථාවද මේ සඳහා ඔහුට මග පාදන්නක් විය. විමල් දිසානායක මහතා හමුවූ පුද්ගලයන් පිළිබඳ රසමුසු කතා අප දෙදෙනා අතර සිදුවූ සතුටු සාමීචියේ දී බොහෝ විට මතු විණි.
බර්ට්‍රන්ඩ් රසල් විසිවන සියවසේ විසූ මහා දාර්ශනිකයා ය. ඔහු ගණිතඥයෙකි. විමල් දිසානායක මහතා එංගලන්තයේ විශ්වවිද්‍යාල ඉගෙනුම ලබන කාලයේදී තම විශ්වවිද්‍යාල මිතුරෙකු සමග බර්ට්‍රන්ඩ් රසල් සාමිවරයා හමුවීමට ගොස් තිබේ. බර්ට්‍රන්ඩ් රසල් පඬුවා එවකට විශ්‍රාම සුවයෙන් කල් ගෙවා ඇත්තේ එංගලන්තයේ වේල්ස් හි කඳුකර ගම්මානයක ය. තම නිවසේ දී මෙම ආගන්තුකයන් දෙදෙනා පිළිගත් රසල් සාමිවරයා කතාබහට මුලපිරීමක් වශයෙන් විමල් දිසානායකයන්ගෙන් පළමුව විමසා ඇත්තේ ගණිතය හදාරා තිබෙනවද? යන්නයි. තමා නියැළී සිටින්නේ භාෂා අධ්‍යයනයක බැවින් ගණිතය හැදෑරීමේ අවස්ථාව නොලද බව පැවසූ වීට රසල් සාමිවරයා පෙන්වා දී ඇත්තේ කිනම් විෂය හැදෑරුවත් ගණිතය ද විෂයක් වශයෙන් හැදෑරීමේ ඇති වැදගත්කමයි.

විමල් දිසානායක මහතා සමග ගිය ඉන්දියානු මිත්‍රයා දෙසට හැරුණ රසල් සාමිවරයාගේ ඊළග ප්‍රශ්නය වී ඇත්තේ ගණිතයේ එන බිංදුව (0) සොයා ගත්තේ කිනම් ජාතියක්ද? යන්නයි. තෙමේම ප්‍රශ්නයට උත්තරය සපයමින් ඔහු පවසා ඇත්තේ බිංදුව (0) වෙනකාගේවත් නොව ඉන්දියානුවන්ගේ සොයා ගැනීමක් බවයි.
එසැණම ඔහු ශබ්ද නගා පැවසූ වෙසෙසි ප්‍රකාශය වූයේ ඉන්දියානුවන් සොයාගත් එකම දෙයත් බිංදුව පමණක්ම බවයි. එම කතාව අපහාසය නොව උපහාසය රස ගැන්වීමට කරන ලද විහිළුවකි. එය විහිළුවෙන් ඇස් රතු වෙනවාලු යන්න ජනවහරේ විහිළුවලට නොවැටේ. මෙම සිද්ධිය මුල්කරගෙන අපි දිගින් දිගටම සාකච්ඡා කළේ මහා ප්‍රාඥයන් පවා හාස්‍ය හා උපහාසය රසයක් කරගත් ආකාරයයි. හැම මොහොතම අහස පොළොව ගැට ගසන්නා සේ බැරෑරුම් කල්පනාවක නිමග්නව ඉන්නවාට වඩා සැහැල්ලුවෙන් සිටීමේ ඇති වැදගත්කමත් මේ අනුව පැහැදිලි වේ.
1901 දී බර්ට්‍රන්ඩ් රසල් ගණිතඥයා ගණිතය අර්ථකථනය කළේද මෙවැනිම උපහාස රසයක් මතු කරමිනි. ඔහු ගණිතය අර්ථකථනය කළේ “තමා පවසන්නේ කුමක්ද යන වග හෝ තමා පවසන දෑ නිවැරදි ද යන වග හෝ කිසිවෙකුට තේරුම් බේරුම් කර ගත නොහැකි විෂයය ගණිතයයි” යනුවෙනි.
ලෙනාඩ් වුල්ෆ් බ්‍රිතාන්‍ය යුගයේ මෙහි සිටි කැපී පෙනෙන සිවිල් නිලධාරියෙකි. 1906 ගිරුවාපත්තුවේ සේවය කළ ලෙනාඩ් වුල්ෆ් ගිරුවාපත්තු ගැමි ජනතාවගේ දුක දොම්නස් හැඬුම් වැළපුම් තේරුම් ගෙන බැද්දේගම (Village in the Jungle) නව කතාව රචනා කළේය. ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද එම නවකතාවට ඒ.පී. ගුණරත්න මහතා කළ පරිවර්තනය නිසා බැද්දේගමට නව පණක් ලැබුණි.
ලෙනාඩ් වුල්ෆ් මහතා ඉතාමත් වයෝවෘද්ධ සමයේදී ඔහුගේ ලන්ඩනයේ පිහිටි නිවසේදී විමල් දිසානායක මහතාට ඔහු හමුව තිබේ. විමල් දිසානායක මහතා පවසන්නේ ඒ වන විට ලෙනාඩ් වුල්ෆ් මහතාගේ ස්මෘතියේ පැවති එකම සිංහල වචනය “වෙව“ යන්න බවයි. (වැව) තම උච්චාරණයට අනුව වෙව කොහෙද යන්න ඔහු මෙහි දී පුන පුනා පවසා තිබේ.
විමල් දිසානායක මහතාට දේශ දේශාන්තරයන්හි දී මෙවන් ප්‍රාඥයන් මුණ ගැසුණු අවස්ථා එමටය. මේ අතරින් ඔහු නිතරම මතක් කරන්නේ ලාංකේය නිහඬ ප්‍රාඥයෙක් ගැන ය. එනම් බර්නාඩ් සොයිසා වියතාණන් ගැන ය. බර්නාඩ් සොයිසා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දකුණු කොළඹ බහු ආසනය දිගුකලක් නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.
සිංහල ඉංග්‍රීසි ද්විභාෂාවෙන්ම ව්‍යක්ත ලෙස කතා කිරීමේ හැකියාව තිබූ ඔහු අපගේ බුහුමනට ලක්වන්නේ ප්‍රාඥයෙකු වශයෙනි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා ද බර්නාඩ් සොයිසා මහතාගේ ව්‍යක්ත කතා ඇසීමට ලොල්වූ අයෙකි. එතුමා පාර්ලිමේන්තු ලොබියේ සිටින අවස්ථාවල සභා ගැබේ බර්නාඩ් සොයිසා මහතා කතාවක් ආරම්භ කරන විට ඒ බර්නාඩ්ද කියා කලබලයෙන් බණ්ඩාරනායක අගමැතිතුමා සභාගැබට පැමිණෙන බවත් පාර්ලිමේන්තු නිලධාරියෙකු අප සමග වරෙක පවසා ඇත.
බර්ට්‍රන්ඩ් රසල්
එක් සමයක්හි මා සේවය කළේ ගාලු මුවදොර මහ හෝටලයේ ය. විමල් දිසානායක සූරීහු එදවස කැලණි සරසවියේ මහ ඇදුරෙකි. අපි දෙදෙනා සතියකට දෙතුන් වර ගාලු මුවදොර මහ හෝටලයේ දී සිරිතක් වශයෙන් හමුවීමු. මෙහිදී සාහිත්‍ය සංගීත කලා රසවින්දනය මෙන්ම රට තොට කරුණු ගැන ද කතා බහ ඇති විය.
සිහිලල මුහුදු සුළඟ හමන ගාලු මුවදොර හෝටල් ලොබියේ දී බර්නාඩ් සොයිසා මහතා අපට නිතර හමු විය. ගාලු මුවදොර හෝටලයේ පැවති ‍ෙල්ක්හවුස් පොත්හලට ගොඩවන එතුමෝ පොත්පත් තේරීම සඳහා වැඩි කාලයක් ගත කරයි. පොත්හල් කළමනාකරු වූ සිල්වා මහතා අලුත්ම පොතක් ආ විට ඈතදීම ඒ බව හඬ ගා කියයි. සුදු යුරෝපීය ඇඳුමෙන් සැරසුණු එතුමන්ගේ ගමන බිමන හා රූපකායද තේජාන්විත බවක් පෙන්නුම් කළේය. ඇතැම් දවස්වල ඔහුගේ කුළුපග මිතුරෙකු වූ පාර්ලිමේන්තු මහ ලේකම්ව සිටි සෑම් විජේසිංහ මහතාද ඔහු සමග පැමිණෙනු දක්නට ලැබුණි.
ලොබියේ අසුන් ගන්නා බර්නාඩ් සොයිසා මහතා වෙත විමල් දිසානායක මහතාත් මාත් ඇදීයන්නේ ප්‍රාඥායෙකු ලෙස අප හඳුනාගත් ඔහු සමඟ කතා බහ නැණ නුවණ වඩවන රසවත් බවින් අනූන එකක් නිසාය. සම්භාව්‍යය සාහිත්‍යය, සංගීතය, කලාව, ආර්ථික විද්‍යාව, වාග් විද්‍යාව ආදී විවිධ වූ විෂයයන් පිළිබඳ ඔහු තුළ පැවතියේ ගැඹුරු දැනුමකි. අ‍ෙමරිකන් ජාතික චොම්ස්කි (CHOMFXY) වැනි වාග් විද්‍යාඥයන් දක්වන මතිමතාන්තර ගැනත් වාග් විද්‍යාවේ නව ප්‍රවණතා ගැනත් විමල් දිසානායක මහතා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු මම අසා සිටියෙමි.
ප්‍රංශයේ අලුත් නවකතා (NEW NOVEL) යනුවෙන් සාහිත්‍යාංග විශේෂයක් බිහි විය. එය බුද්ධිමතුන්ගේ විවිධ විමර්ශනවලට පාත්‍ර විය. බර්නාඩ් සොයිසා මහතා එබඳු නවකතාවල වැදගත්කම මෙන්ම සීමාවන් පිළිබඳවත් ප්‍රකාශ කළේ ය. ඒවායේ සීමාවක් හැටියට ඔහු දුටුවේ සමාජ බලවේගයන්ගෙන් ඈත් කොට චරිත හා කතා පුවත් නිර්මාණය කිරීමට දරා ඇති ප්‍රයත්නයයි. බටහිර සංගීත සංධවනි මෙන්ම බිතෝවන් වැන්නවුන්ගේ නිර්මාණ ගැණත් රවීන්ද්‍ර සංගීතය කෙරෙහි බලපෑ බාවුල් සංගීතය මෙන්ම ඉන්දීය ජන සංගීතය පිළිබඳවත් තර්කානුකූල විමර්ශනයක යෙදීමට මෙම සංකථනයන්හිදී ඉඩ කඩ ලැබුණි.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉන්දියාවේ සිරගත වීමට බර්නාඩ් සොයිසා මහතා ඇතුළු සමසමාජ නායකයන්ට සිදු විය. ඉන්දියානු සිර මැදිරි තුළ පැවතියේ දැඩි තදබදයකි. එය මිහිපිට අපායක් බඳුය.
මෙහිදී රාත්‍රි කාලය ඔහුට නිදි වැරීමට සිදු වූයේ සිරමැදිරි තුළ ඇති දුගඳ හමන අප්‍රසන්න පරිසරය නිසාය. මෙම තත්ත්වයෙන් මිදීමට නක්ෂත්‍රය පිළිබඳව බර්නාඩ් සොයිසා මහතා තුළ තිබූ දැනුම ඉවහල් විය. ඔහු මෙහිදී උපායමාර්ගයක් ලෙස කර ඇත්තේ ජේලර්වරුන්ට අත බලා සාත්තර කීමය. මෙයට වසඟවුණු සිරගෙදර ජේලර්වරු සාස්තර ඇසීමට ඔහු වටා රොක් විය.

මහාචාර්ය විමල් දිසානායක
රෑ තිස්සේ සිරමැදිරිය තුළ ගලා එන සිරකරුවන්ගේ මුත්‍රා සීරාව නිසා ඇතිවන අපහසුතාව මගහරවා වෙනත් සිර කුටියකට මාරුවීමට මෙහි දී ජේලර්වරු උපකාරී වී ඇත. ඔහු ලද නක්ෂත්‍රය පිළිබඳ දැනුම රහසක්ව පවත්වාගෙන ගිය එකකි.
බර්නාඩ් සොයිසා මහතා වැනි බහුශ්‍රැතයෙකු සමග මිත්‍ර සන්ථවයක් පවත්වාගෙන යාමට ලැබුණ අවස්ථාව විමල් දිසානායක මහතා සලකන්නේ ඔහුගේ ඥානපථය පුළුල් කිරීමට හේතුවූවක් ලෙසය. එදත් අදත් විමල් දිසානායක මහතා පවසන්නේ බර්නාඩ් සොයිසා මහතාට තිබුණේ වජ්‍රබුද්ධියක් බවය. එය දිසිදිසි අතට දිස්නය දෙන්නක් නිසා වජ්‍රබුද්ධිය යන යෙදුම ඔහු මෙහිදී යොදා ගනී.
sunilsarathp@yahoo.com

No comments:

Post a Comment