9/20/2012

සලා ගුරු සොයා ගිය සරා ගුරු


රඹුක්කන සලා ගුරුන්නාන්සේ චූල සම්ප්‍රදායට අයත් පොත පත රාශියක් ලියූ ගැමි කවියෙකි. සූවිසි විවරණය, උත්තර සාමණේර කථා වස්තුව, කිණිහිරි නම් දිව්‍ය විමාන විස්තරය, අභිනව හෝඩිය පටුන සහ මහාමේරු පර්වත අලංකාරය ආදී ඔහු විසින් ලියා ඇති කවි පොත් කෑගල්ලේ විද්‍යා කල්ප යන්ත්‍රාලයෙන් මුද්‍රණය කොට බෙදා හැර ඇත.

උත්තර සාමණේර කථා වස්තුව 1936දී මුද්‍රණය කරන ලද්දකි. රඹුක්කන පී.ඇම්. සලාගුරු කවියා හමු වී කතා බහ කිරීමේ අවස්ථාව පළමුව මට පාදා දුන්නේ මිල්ටන් ඉලංගතිලක මහත්මයා ය. ඔහු මා බිරිඳ සරෝජිනියගේ වැඩිමහල් සොහොයුරා ය.
මේ අපූරු කවියා පිළිබඳ තොරතුරු දිනක් මා මිත්‍ර නාරද දිසාසේකරයන්ට පැව‍සුවෙමි. ඒ වන විට මා කියවා තිබූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 'සිංහල නාටකය හා සඳ කිඳුරුව' යන පොතේ සිංහල ගැමි නාට්‍ය ගැනත් මතයක් ඉදිරිපත් කර තිබුණි. වික්‍රමසිංහ මහතා එහි දී මතුකිරීමට උත්සාහ ගෙන තිබුණේ සරච්චන්ද්‍ර මහතා මනමේ රචනා කර ඇත්තේ රඹුක්නක සලා ගුරුන්නාන්සේ නමින් ප්‍රකට කවියාගේ පිටපතක් ඇසුරින් බව ය. සලා ගුරුන්නාන්සේ ඒ වන විට සඳ කිඳුරු කවි නාඩගමක් ලියා රඹුක්කන-මාවනැල්ල හා කෑගල්ල ආදී තදාසන්න ප්‍රදේශවල රඟ දක්වා තිබූ බැවින් වික්‍රමසිංහ මහතා තර්ක කරන්නේ සිංහල ගැමි නාටකය යන පොතෙහි දක්වා ඇති දිප්පිටියේ දී සරත්චන්ද්‍ර දැක ඇත්තේ සලා ගුරුන්නාන්සේගේ කවි නාඩගම බවයි.
එවකට ගුවන් විදුලියේ සේවය කළ නාරද දිසාසේකර මහතා රඹුක්න සලා ගුරුන්නාන්සේ පිළිබඳ තොරතුරු සරච්චන්ද්‍ර මහතාට පැවසූ විට ඔහු හමුවීමේ උනන්දුවක් සරච්චන්ද්‍ර මහතාට ද ඇති විය. මේ සඳහා මවිසින් මඟ පෙන් වූ අතර සලා ගුරුන්නාන්සේ සොයා රඹුක්න යන ගමනට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාත් නාරද දිසාසේකර මහතාත් මාත් මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා සමඟ එක් වූහ.
කොළඹ සිට රඹුක්න දක්වා ම ගමන රසබර කතාවලින් පිරුණු එකක් විය. කතා බහේ දී සියුම් උපහාසයක් දැනවීමට සමත් සරච්චන්ද්‍ර මහතා සුනන්ද මැල් මහතා දෙස හැරී ප්‍රශ්නාර්ථයක් නැඟුවේ ඔබ සුනන්ද ද, මහේන්ද්‍ර ද, මැල් ද යන්නයි. සුනන්ද මහේන්ද්‍රයන් තම නම සුනන්ද මහේන්ද්‍ර බවට කෙටි කර ගත්තේ මින් පසුව විය හැකි ය. ගමන අතර වාරයේ සිහින් සිනාවක් මුවග මතු කරමින් සරච්චන්ද්‍ර මහතා කීවේ සලා ගුරුන්නාන්සේ බැලීමට සරා ගුරුන්නාන්සේ යන බවකි.
සලා ගුරුන්නාන්සේ ජීවත්ව සිටියේ රඹුක්න අළුක්ගල පන්සල අසලින් වැටී තිබූ නල්ගල්ල මාවතේ මද දුරක් ගිය විට හමුවන 'කොත්තනවත්ත' කඳුකර ගම්මානයේ ය. කුඩා කඳු මුදුනක පිහිටි ඔහුගේ නිවෙසට වැටී තිබූ කුඩා අඩි පාර දිගේ මද දුරක් ගමන් කළ අපට අතර මඟ දී සලා ගුරුන්නාන්සේ හමු විය. ඔහු පුවක් කොළේකින් බැඳි ගොට්ටකට වතුර ගෙන යනු දක්නට ලැබුණි. කොණ්ඩය බැඳි සිහින් සිරුරකින් හෙබි මේ වයෝවෘද්ධ පුද්ගලයා ප්‍රසන්න රූපකායකින් යුක්ත වූවෙකි.
කන්ද නැඟ ඔහුගේ ගෙමිදුලට පැමිණි අප හට හිඳ ගැනීම සඳහා ආසන පැනවුණේ ගෙමිදුලේ අඹ ගහ යට වූ තුරු සෙව‍ෙණ් ය. මා සමඟ පැමිණි පිරිස කවුරුන් ද යන්න ඔහු හඳුනා ගත්තේ නැත.
ආගිය කතාවලින් පසු සරච්චන්ද්‍ර මහතා ප්‍රශ්න කළේ
'ගුරුන්නාන්සේ ඔය කොළඹ පැත්තෙ මනමේ රඟ දක්වන මහත්වරු එහෙම ගුරුන්නාන්සෙට හමුවෙලා තියෙනව ද?'
'ඒ මහත්වරු නම් මුණගැහිලා නැහැ මහත්තයෝ‍. ඒත් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා නම් පොතක් එක්ක ලිපියක් එවා තිබුණා.'
මෙසේ පැවසූ ගුරුන්නාන්සේ හුණු පිරියම් කළ කුඩා ගෙතුලට ඇතුළු වූයේ එම පොත අප වෙත රැගෙන එනු පිණිසයි‍. එය කිසිවකුගේවත් ඉල්ලීමට සිදු වූවක් නොවේ.
ගෙයි ඉදිරිපස උළුවස්සට වාරුවී සිටි පාසල් වියේ යෞවනියක් ආපසු අප වෙත ‍එන ගුරුන්නාන්සේගේ කණට රහසිගතව යමක් කොදුරනු දුටුවෙමි‍.
ගුරුන්නාන්සේ ආපසු පැමිණ, අනේ මේ අපේ සරත්චන්ද්‍ර මහත්තයා නේදැයි පැවසුවේ මහත් බැතියෙනි. සලා ගුරුන්නාන්සේ අත තිබූ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ අලුත් පොත (සිංහල නාටකය හා සඳකිඳුරුව) හා තමා වෙත ම‍නමේ අත්පිටපත එවන ලෙසට මාර්ටින් වික්‍රමසිංහ මහතා එවා තිබූ ලිපිය ඔහු සරච්චන්ද්‍ර මහතා අතට පත් කළේ ය. සලා ගුරුන්නාන්සේ අප වෙනුවෙන් ම කවි ගායනාවක යෙදුණු අතර මේ කවි ගායනයේ විශේෂත්වය වූයේ තොල් දෙක එකිනෙක නොගෑවෙන ස්වරයකින් එය ගායනා කිරීම ය. නාරද දිසාසේකර මෙය පටිගත කිරීමට සූදානම් වුව ද ඊට ගුරුන්නාන්සේගෙන් ඉඩක් නොලැබුණි.
සලා ගුරුන්නාන්සේ හමුවෙන් පසු අප ගියේ දිවා ආහාරය පිළියෙළ කර තිබූ මා බිරිඳ සරෝජිනිගේ මහ ගෙදරට ය. එය රඹුක්කන් ඔය ගලා බසින ඇඹුල්අබේ ගම් පියසේ පිහිටා ඇත.
දිවා ආහාරය ගැනීමට පෙර දක්නට ලැබුණේ කන්දෙන් බැස ආ මුදියන්සේ ගේ දසුනයි. ඔහු ගහෙන් බා ගත් රා මුට්ටියක් ද රැගෙන හොරෙක් වාගේ ගෙයි පිළිකන්නෙන් පියවර මනිනු පෙනිණ. අහර කිසට පෙර සරච්චන්ද්‍ර මහතා ගේ හඬින් ගැයෙන ග්‍රැමෆෝන් ගීත මෙන් ම නාඩගම් ගීතවලට සවන්දීමේ භාග්‍ය එදින අපට ලැබුණි. නාරද දිසාසේකර සහෘදයා අත්වැල් ගායනයට එක් වී ය. සරත්චන්ද්‍ර මහතා ගේ වචනවලින් ම එම අවස්ථාව මෙසේ දක්වනු කැමැත්තෙමි. මෙය සරත්චන්ද්‍රයන් ගේ ජීවන තොරතුරු ඇතුළත් 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' පොතේ සඳහන්ව ඇති වැකියකි.
'එදා දවස අප විනෝදයෙන් ගත කළ බව ද සඳහන් කරනු කැමැත්තෙමි'
මේ දිනවල සරච්චන්ද්‍ර මහතා හුදකලාව වාසය කළේ පේ‍රාදෙණිය ගැටඹේ පිහිටි ගෙදර ය. සැදෑ සමයේ අපි ඔහු සමඟ ගැටඹේ දක්වා ගමන් කළෙමු. ගැටඹෙන් සරච්චන්ද්‍ර මහතා බැස්ස පසු ඇති වූ පාළුව සිල්ලෝම එතැන් සිට නිහඬව විඳදරා ගත්හ.

No comments:

Post a Comment