9/20/2012

නන්නාඳුනන්නෝ



එයා බස් එකේ යන්න පටන් ගන්න කොට මම ඒ පාරේ හමදාම යන්න අරන් අවුරුදු දෙකක් විතර ගත වෙලා. ඒ දවස්වල මම කොටුවට යනකන් ම ගියේ දැන් වගේ තනියම නෙමේ. කොනේම සීට් එකේ වාඩි වෙලා මානෙල්ගෙ අත මගෙඅතේ පැටලිලා තියෙද් දී. අපේ අත් වෙන් වුණේ අලුතෙන් ඉස්කෝලේ යන එයා, තාත්තත් එක්ක බස් එකේ පිටි පස්සටම තල්ලුවෙලා ඇවිත් සෙනඟ අතරේ තෙරපෙනවා දැක්කම විතරයි. මානෙල් එයාට අඬ ගහල අපි දෙන්නගේ මැද්දෙන් වාඩි කරගන්නවා මට මතකයි.
මම එයාගේ කොණ්ඩෙ ගැට ගහල තියෙන රිබන් පටිවලින් ඇද්දම මානෙල් මගේ අතට ගහනවා. “බබා කොයි ඉස්කෝලෙට ද යන්නේ?” මානෙල් හුරතළේට ඇහුවට එයා කවදාවත් උත්තර දෙන්නෙ නෑ. ඇස් දෙක ලොකු කරන් ජනෙලෙන් එළිය බලන් ඉන්නව. ඉඳගන්න ඉඩක් දුන්නට එයාගෙ තාත්ත අහිංසක විදියට ස්තූතියි කියනව. ඒත් එයා බලන්නේවත් නෑ.
“ඔයා පොඩි එකීව බය කළා” මම මානෙල් ගේ ඇස්වලට හිනා වුණේ “අපේ පොඩි එවුන්වත් මම බය කරයි ද” වගේ දේවල් කිය කිය. “නෑ ඔයා පොඩි එවුන්ට ආදරෙයි” හිමීට කිව්වට මානෙල් රතු වෙලා. මතක් වෙනකොට හිනාත් එනවා. අපොයි! තනියෙන් හිනා වෙනවා කවුරු හරි දක්කද? පත්තරේ තිබුණ නම් මූණ වහගන්න තිබුණා. අද එයා නෑ.
විභාගේ ළඟ නිසා ගෙදර නතර වුණා ද? ඒත් හස්පතින්දා පන්තිය තව ඉවර නෑ නේ. ටිකක් හවස් වෙනකන් ඔෆිස් එකට වෙලා ඉඳලා ආවොත් පන්ති ඇරෙන වෙලාවට එන්න පුළුවන්. දැන් එයාගේ මූණ මහන්සි පාටයි. උසස් පෙළ කරුම විභාගයක්. කෙල්ල බය වෙලා ඇති. ඒත්කොහොම හරි පාස් වෙන්න එපැයි! මොන විශ්වවිලයට යයි ද? කොළඹට ගියොත් මේ බස් එකේම යයි. එතකොට මම පෙන්ෂන් යනකන්ම මේ බස් එකේම එයා ලෙක්චර්ස් යයි. අද කාලේ ගැණු ළමයෙක් බෝඩිමකට යනවට වඩා ගෙදර ඉන්න එක හොඳයි.
එයා එච්චර ලෝකෙ ගැන දන්න ළමයෙක් දැයි. අවුරුදු දහතුනක් බස් එකේ ගිය හටි දැක්කේ මමනේ. ටිකට් එක ඉල්ලන්නෙත් කණට ඇහෙන්නැති සද්දෙන්. කොළඹ ම නැවතුනොත් හොඳයි. එයාගේ තාත්තා අම්මා විශ්වවිලයවලට ගියපු අය නම් නවක වදේ වගේ දේ ගැන එයාට කියල දෙයි. දැන් ම නෙමෙයි. ඉස්සෙලා විභාගේ කර ගන්න එපැයි. එයා පාස් වෙයි. හොඳම බාලිකාවකට යන්න ශිෂත්වෙත් පාස් වුණෙ. මානෙල් දන්නව නම්. ඉස්සර නිකන් හතරැස් කරක් එක්ක ඉනේ බකල් එකක් දාගෙන ගියපු කෙල්ල ටයි පටියක් ගැට ගහන් ඉස්කෝලෙ යන්න ගත්තු දවස්වල තිබ්බ උජාරුව. මට ආයෙත් හිනා එනවා.
කතා නොකළට එයා අහංකාර නැති හිත හොඳ ළමයෙක්. ඉඳල හිටලා ෆුට් බෝඩ් එකෙ යන අයගේ බෑග් එකක් හරි ඉල්ලගෙන උකුලේ තියා ගන්නවනේ. වැදගත්කම නිසයි හැමෝට ම හිනා වෙන්නයි කතා කරන්නයි නොයන්නේ. විශේෂයෙන්ම කොල්ලො එක්ක. දැන් ඉන්නෙ වැඩි හරියක් මදාවි. අන්කල් අන්කල් කියල කතාවට ආවට මේ යන එවුන්ගෙන් වැඩි හරියක් හිතන් ඉන්නෙ උන් අපෙත් මාමලා කියල. එකෙක් එක්කවත් එයා පැටලිච්ච නැති එක ලොකු දෙයක්. මට මතකනේ කොල්ලො කීප දෙනෙක් ම පස්සෙන් ආවා.
ඒක එයාගේ වැරද්ද නෙමේ. “බක් මී මල වට බඹරු රඟනවා වරද මලේ සුවඳ අම්මේ” කියල සිංදුවකුත් තියෙන්නේ. එයා උසස් පෙළට වි විෂයයන් කරන එක හොඳ තෝර ගැනීමක්. කොහොම හරි දොස්තර නෝන කෙනෙක් වුණොත්. හිතෙන කොටත් මගේ පපුව බර වෙනවා. එක අවුරුද්දක කැඩිච්ච සපත්තු දෙකක් දාගෙන එයා මාසයක් ම ඉස්කෝලේ ගියා. එතකොටත් මගේ පපුව හිර වුණා. අලුත් සපත්තු දෙකක් ලැබෙනකන් මට හරියට නින්ද ගියෙත් නෑ.
අද කොහොම හරි හවසට එයා ව අල්ල ගන්න වෙනවා. තව සතියකින් විභාගේ පටන් ගනියි. ඊට පස්සෙ මට එයාව දකින්න නොලැබෙයි. යුනිෆොර්ම් එකේ ගහල තියෙන හවුස් බැජ් එක ඊයේ ගැලවිලා වැටුණ බව වත් එයා දැක්කේ නෑ. සෙනඟ අෙරේ තෙරපිලා ගිහින් බහිද්දී කටුව ගැලවෙන්න ඇති. නොසැලකිල්ල නෙමේ. විභාගේ නිසා කල්පනාවක් නෑ. මම දැකලා අහුල ගත්තේ හොඳ වෙලාවට. අවුරුදු කීපයක් ඉස්කෝලෙ ඇඳන් ගිය බැජ් එක අන්තිම මොහොතේ නැති කරගෙන කොහොමද. ඒ වගේ දේ සිහිවටන විදියට තියාගන්න ඕනේ. පස්සෙ කාලෙක ඒවා දිහාහැරිල බලද්දී සතුටක් දැනෙන බව ළමයි දන්නේ නෑනේ. එයා ගේ ඩා නිවාසෙට කොයිතරම් එයා ළැදි ද? ඩා උත්සව කාලෙට බස් එක ඇතුළේ ඒ බාලිකාවේ අනෙක් ළමයි එකක කොයිතරම උද්‍‍ෙගයෙන් ද තමන්ගේ නිවාසෙ ගැන කතාකරන්නේ. මමත් යටි හිතින් උදවු කරන්නේ එයාගෙ නිවාසෙට.
මේ බැජ් එකත් පොඩි කාලේ ලැබුණ බාලදක්ෂිකා පදක්කම් එක්ක පොඩි පෙට්ටියක දාලා එයා තියාගනියි. දැන් එයා බාලදක්ෂිකා නිල ඇඳුම අඳින්නෙම නෑ. ඉස්සර, ගවුමේ අත වැහෙන්න සංකේත එල්ලපු කිරි සුදු පාට බාලදක්ෂිකා නිළ ඇඳුම ඇඳෙගෙන එයා බස් එකට නැග්ගම හමෝම හොරෙන් බැලුව කියලයි මට හිතෙන්නේ. මට මතකයි පළවෙනි පදක්කම පැළඳගෙන ආ දවසත්. පස්සේ උනන්දුව අඩු වුණා මම හිතන්නේ.
ඒකනේ නවත්තල දාන්න ඇත්තේ. අවුරුදු දහතුනක් එක බස් එකේ ගියාට, එයා මගේ ඇස් ඉදිරිපිට ලොකු වුණාට, අද වචනයක් කතාකරගන්න බරුව මගේ උගුර හිර වෙලා. මොනවද කියන්නේ? මම හවස් වෙනකන් ඔෆිස් එකේ ලතවෙලා හරියටම වෙලාවට ආවට කියන්න දෙයක් හිතාගන්නත් බෑ. මම එයාට බස් එකට නගින්න ඉඩ ඇරලා පිටි පස්සෙන් හිට ගත්තා. ළං වුණාම නුරුස්සනා විදියට බැලුවේ මහන්සි නිසා වෙන්න ඇති. අනෙක බස්වල යන නොහොබිනා මිනිස්සු ළං වෙන නිසා එහෙම බලන්නෙ නැතුව බෑ.
මුලින්ම හිතුවේ ‘එක්ස්කියුස් මී’ කියල කතා කරන්න, ඒත් ඒ විදියෙන් අපි අතර ලොකු හිදැසක් ඇති වෙනව වගේ. මම උරහිසට තට්ටු කරල, මුකුත්ම නොකියා බැජ් එක දික් කරා. එයා ගවුමේ බැජ් එකෙන් හිස්වෙලා තියෙන තැනට අත යැව්වා. මගේ දිහා බලාගෙන. හුස්මත් අල්ලගෙන. හරියට මම ඒක හොරෙන් ගලවගත්ත වගේ. මම විදුලියක් වගේ බස් එකේ ඉස්සරහට ඇදිලා ගියේ මොනවා කරන්න ද දන්නේ නැති නිසා. එයා එබි එබී බලනවා. මම පුළුවන් තරම් හැංගුණා. ස්තූතියි කියනවා අහන්න මට බය හිතුණා. ගෙදර එනකොට මගේ ඔළුව අවුල් වෙලා වගේ. ගෙට ඇතුළු නොවී මම ඉස්තෝප්පුවේ වාඩි වුණ. අම්මා ගමෙන් ඇවිල්ලා වෙන්න ඇති නංගී කතා කරනවා ඇහෙන්නේ.
“මට අයියට මඟුල් හොයල ඇතිවෙලා අම්මේ. ඉස්සරටත් වඩා අමාරුයි මනමාලියෙක් බලන්න අඬගහන්න. වෙලාවට ගෙදර එන්නෙත් නෑ. ආවත් කල්පනා කරනවා. කතා කරන්නේත් නෑ. බස් එකේ දි තනියම හිනා වෙනව කියලත් මිනිස්සු කියනවා.මම කල්පනා කරන්නේ එහෙම කෙනෙකුට මඟුල් හොයන්න කියල මිනිස්සුනට කියන්නේ කොහොමද?” එයාලා ලොකු කතාවක්. මෙහෙම ඉඳලා තව ටිකකින් තේ එකක් ඉල්ල ගන්නවා.
මම කල්පනා කලේ අදින් පස්සෙ බස් ඒකේ යන එක මොන වගේ වෙයි ද කියල.

No comments:

Post a Comment