9/20/2012

ක්ලාක් මහත්තයගේ පත්තරේ



ක්ලාක් මහත්තයට බල්ලටයි, කොල්ලටයි ඉන්නෙ ටොමිසන් හින්ද ක්ලාක් මහත්තයගෙ කෑම පිඟානෙන් ම කරෝල කටුවක් වැටුණා ටොමිසන්ගෙ පිඟානට. දැන් ටොමිසන් තමයි ගෙදර බෝයි. ටොමිසන් කඩේට ගිහිං වරෙං.
සිගරට් එකෙන් පටන් ගත්ත ටොමිසන්ගෙ කඩේ යාම කඩේ පත්තරේ ඉල්ලගෙන ඒම දක්වා දීර්ඝ වුණා. ටොමිසන්ටත් හරි ම ආඩම්බරයි. බල්ලො කවද්ද පත්තර බැලුවෙ? සමහර වෙලාවට, සමහර පත්තරවල තියෙන ඒවා බල්ලන්ටත් වැඩක් නැති විත්තිය ටොමිසන් දැන ගත්තේ ක්ලාක් මහත්තයාගේ කතා බහට කන් දී ගෙන ඉඳලා. ක්ලාක් මහත්තයා හම්බ වෙන්න එන යාළු මහත්තුරු කරන කතා බහට ටොමිසන් කන් දී ගෙන ඉන්න විත්තිය කවුරුවත් දන්නෙ නෑ.
ටොමිසන් බල්ලෙක් නේ. ඉතින් කාගේවත් කතා අහගෙන ඉන්නව ද? ඒ වුණාට අනුන්ගෙ කතා අහගෙන ඉන්න හුඟක් අය බල්ලො තමයි, කඩෙන් පත්තරේ ගෙනාවෙත්, ආපහු කඩේට පත්තරේ ගිහින් දුන්නෙත් ටොමිසන් තමයි.
දවසක් දා අල්ලපු ගෙදර සිසිලියානා හාමිනේ හදිසියේ ක්ලාක් මහත්තයාගේ වත්තෙ ගේට්ටුවෙන් ඇතුළු වුණේ හරි ම කලබලයෙන් ය. පත්තරේ කඩේට ගිහිං දීලා ආපහු ආපු ටොමිසන් පි‍ෙළ් වැතිරිලා විවේක සුවයෙන් හිටපු වෙලාවක් ඒක. ටොමිසන් ඔලුව උස්සල, බුඃ බුඃ ගාලා සිසිලියානා හාමිනේ පිළිඅරගෙන ආයෙත් නිදා ගත්තා.
...ක්ලාක් මහත්තයා,... අද පත්තරේ ටිකකට දෙනව ද? ඉරාක යුද්දෙ ආයෙත් පටන් ගත්ත ද? මොකක්ද? කියලා පත්තරේ තිබුණලු...
ඇයි සිසිලියානා හාමිනේ...? කවුරු හරි ඉරානේ හරි ඉරාකේ හරි ඉන්නවද? යුද්දෙට ගිහිං...? හොඃ හොඃ... ගාලා ක්ලාක් මහත්තයා හිනා වුණා.
... අපොයි නෑ ක්ලාක් මහත්තයා... අපේ දුව මැද පෙර දිග යන්න ඉන්නේ... ඉතිං ඒ පැත්තේ වෙන දේවල් දැන ගෙන ඉන්න එපායැ... නෑ මං කියන්නේ... මොනව ද එහෙ වෙන්නේ කියලවත්... නැද්ද ක්ලාක් මහත්තයා. මට ටිකකට දෙන්නකෝ අද පත්තරේ... මං දැක්ක ඉස්සෙල්ලා මෙතනින් යනිං ගමං, ක්ලාක් මහත්තයා බොහොම විවේක සුවයෙන් පත්තරේ කියවනවා...
ඔව්... ඔව්... සිසිලියානා හාමිනේ... පත්තරේ මේ කඩේ මුදලාලි ඉල්ලා ගෙන ගියා නේ...
ඇත්ත ද? එහෙනං ඊයේ පත්තරේ?
ඒකත් ඉල්ල ගෙන ගියා නේ ඊයේ... මෙලහට බඩු ඔතල දීල ද දන්නෙත් නෑ පත්තරේ ඉරලා...
පෙරේදා පත්තරේ නැද්ද ක්ලාක් මහත්තයා...
පෙරේදා පත්තරේ ගැහැව්වේ නෑනේ සිසිලියානා හාමිනේ... කඩදාසි ඉවර වෙලා... ඒරොප්පෙන් කඩදාසි නැව ඇවිල්ලා නෑ... කඩදාසි නැත්තං කොහොම ද පත්තරේ ගහන්නේ...? ඊට කලිං පත්තර ටික මං පරණ පත්තරවලට වික්කා මේ ඊයේ හවස... හප්පේ දාඩිය...
ඇත්ත ද ක්ලාක් මහත්තයා... එහ්හෙනං මං යන්නං...
ගිහිං එන්නෙ නෑනේ...
නෑ... නෑ... ක්ලාක් මහත්තයා... මං යන්නාං...
හොඳයි යන්න...
ටොමිසන්ට හරි ම පුදුමයි, ඌ ක්ලාක් මහත්තයාගේ මූණ දිහා බලා ගෙන හිටියේ කට ඇර ගෙන ය. කවදාවත් නැති ව නගුටත් ටිකක් කෙලින් වෙලා වගේ ය. ඇත්තට ම මුදලාලිට ගිහිං දුන්නේ ක්ලාක් මහත්තයාගේ පත්තරේ ද? වෙන්ඩ බෑ... මෙහෙමත් කටක්... හැබැයි ක්ලාක් මහත්තයා කකුල් දෙක උඩ තියාගෙන පත්තරේ බල බලා හිටියේ නම් පත්තරේ තමංගේ වගේ ය.
පිලට ආපු ක්ලාක් හාමිනේට කෑ ගැස්සුණේ ටොමිසන්ගේ හැටි දැකලා ය. ටොමිසන් තාමත් කට ඇර ගෙන ක්ලාක් මහත්තයා දිහා බලා ගත්තු ගමන් ය.
ඇයි අනේ ? මොකද මේ බලු තඩිය ඔය බලාගෙන ඉන්නේ... කටත් ඇරගෙන... හපා කන්න වගෙයි... හපෝයි... කියා ගෙන හාමිනේ පස්සට තිබ්බේ, ඉස්සරහට තියන්න එස වූ කකුල ය. ටොම්සන් වහා ම යටත් වීමේ සංඥාව දීලා පඩියෙන් බැහැලා මිදුලට ගියා.
දවසක් දා ක්ලාක් මහත්තයා වැඩට ගියේ නැත. එහෙම දවසට ක්ලාක් මහත්තයාට සිගරැට් ගේන්න කීප සැරයක් කඩේ යන්න ටොමිසන්ට සිද්ද වෙයි. ඔන්න ක්ලාක් මහත්තයා තුණ්ඩුකෑල්ලක් දාලා මල්ල එල්ලුවා ටොමිසන්ගේ බෙල්ලේ... ටොමිසන් එක පිම්මට දිව්වා. මුදලාලි තුණ්ඩුව අරන් සිගරට් එකක් දැම්මා මල්ල ඇතුළට... දැන් සල්ලි ගනුදෙනු වෙන්නේ පස්සේ ය. හරියට ලෝක බැංකුව වගේ. නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ. මුලින් ගනු. පස්සේ දෙනු. ක්ලාක් මහත්තයා මේවා යාළුවොත් එක්ක කතා කරනවා ටොමිසන් අහ ගෙන ඉඳලා තියෙනවා. දැන් මේ සිද්ද වෙන්නේ මුදලාලියි, ක්ලාක් මහත්තයායි අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් ය.
ටොමිසන් දැන් කඩේ ඉඳලා ආපහු එන්නේ, ජොහොර් ඇඟවල් බහින්න ගෝල්පේස් පිට්ටනියේ හැන්දෑවට දුවන මහත්තයෙක් වගේ දිවිල්ලකිනි. වැඩි වේගෙකුත් නෑ. අඩු වේගෙකුත් නෑ. මේක තමයි හැල්මේ දිවිල්ල. මුදලාලිගෙ කඩේ පහුවෙනකොට තියෙන්නේ වහලා දාපු පෙට්ටි කඩයක් ය. ඒ ඉස්සරහින් හැල්මේ දුවමින් සිටිය ටොමිසන් ඇහුණේ, පෙට්ටි ඇතුළේ මොකක්දෝ කසු කුසුවක් වෙන බව ය. ටොමිසන් ගමන නතර කළේ ප්‍රයිවෙට් බස් එකක බ්‍රේක් ගහනවා වාගේ ය. වෙනසකට තිබුණේ සද්දේ නො ඇසුණු එකත්, බ්‍රේක් පලු ගෙවුණේ නැති එකත් විතර ය. ටොමිසන් හෙමින් හෙමින් කිට්ටු කළා පෙට්ටි කඩේට. ඇහැ තිබ්බා ලෑලි අස්සෙන්. ඇතුළේ කිහිප දෙනෙක් ලොකු කතා බහක ය.
මේ අතර ක්ලාක් මහත්තයා ගෙදර ඉස්තෝප්පුවට වෙලා ගිනි පෙට්ටියක් අතේ තියා ගෙන එහාට මෙහාට ගියේ, කරෝල කටුවක් විසි වෙන තුරු එහා මෙහා යන ටොමිසන් වගේ ය. කෑම වේල වැරදුණත් හරි... දුම වැරදුණත් හරි... පපුව තැම්බිලා... ඉදිමිලා ගියාදෙන්... දුම වෙලාවට, කලාවට ඕනෑ...
ක්ලාක් මහත්තයා බැස්සා මිදුලට...
කවදාක්වත් නෑ මේකා මේ තරම් ප්‍රමාද වෙලා... මොකක් හරි කරදරයක් ද? බස් එකකටවත් අඩ තියල ද? නැත්තං කොහෙ හරි කුණු බක්කියකටවත් ඔලුව දාගෙන ද? කෝකටත් යන්න ඕනෑ බලන්න...
ක්ලාක් මහත්තයා ගියා ගේට්ටුව ළඟට... දැං සරමෙ පිටුපස පොට ක්ලාක් මහත්තයාගේ එක ඇඟිල්ලකට ඇඹරෙන්නට පටන් අරගෙන ය. යන්නේ හැල්මේ ය. හරියට ටොමිසන් යනවා වගේ ය.
හැබෑට මූට මොකද වුණේ? කවුරුවත් අල්ලං ගියා වෙන්නත් බෑ... වල්ශේෂන් නේ...
ඒයි ළමයා... අපේ ටොමිසන් දැක්ක ද ඔය පැත්තේ...?
මොකා? ටොමිසන්... ඒ මොකා ද?
නෑ... මේ... අපේ බල්ලා දැක්ක ද ඔය පැත්තේ... උගේ නම ටොමිසන්...
ඇත්ත ද? කකුල් දෙකේ බල්ලෙක් ද අංකල්...? කියලා කොල්ලා ආපිට ක්ලාක් මහත්තයාගෙන් ඇහුවා... ක්ලාක් මහත්තයා නිකං ඇද වෙලා ගියේ කොල්ලා ඒක අහපු තාලෙට. අනේ දැං හැදෙන කොල්ලෝ... ප්‍රශ්නෙකට හරියකට උත්තර දෙන්න දන්නේ නෑ නේ...
නෑ ළමයෝ... මේ කකුල් හතරේ බල්ලෙක්... ඇත්තටම බල්ලෙක්...
ආ... එහෙම බල්ලෙක් නං මං දැක්කා... අර පෙට්ටි කඩේ ලෑලි අස්සට හොම්බ දික් කර ගෙන ඉන්නවා... මං හිතන්නේ ඒ අංකල්ගේ බල්ලා වෙන්න ඇති...

No comments:

Post a Comment