9/20/2012

සිත් රළ



මා සිටියේ මුහුදු වෙරළේ ගල් කුළක් මත ය.
ඈත මුහුදු ජලකඳ මායිම් වන ක්ෂිතිජය රේඛාව හා බැඳුණු නිල් අහස් තලයේ එක වලා බිඳකුදු නොවී ය.
වහා රළ කඳක් ඈත කොතැනක දෝ සිට කෝපයෙන් මෙන් වේගයෙන් පැමිණ ළතෝනියක් ද දීගෙන වෙරළේ හැපෙයි. ගමන අවසන් ව ජලකඳ ආපසු යයි. යළි අනෙක් රළ කඳක් එයි. වෙරළේ හැපෙයි. පෙණ පිඬු නංවා ආපසු යයි. යළි තවත් රළ කඳක් එයි. යයි. යළි තවත් රළ කඳක් එයි. යයි.

අතරක් නැතිව යයි. එයි. යයි. එයි. මහ ඝෝෂාවක් ද නැ‍ෙඟයි. ඝෝෂාව මැකෙයි. යළි නැඟෙයි. මැකෙයි.
මගේ දෑස එන - යන රළ සමඟය.
මගේ දෙසවන නැඟෙන, මැකෙන, ඝෝෂාව සමගය.
මඳ වේලාවකට පසු දෑස පියවිය. නඟින, බසින රළ හඬ පමණක් ඇසෙන්නට විය.
ඇසිල්ලකින් මගේ සිත, මගේ සිත ම දකින්නට විය. රළ කඳ සමඟ සිතිවිලි ද නැඟෙනු බසිනු පෙනෙන්නට විය. රළ එයි. එක සිතිවිල්ලකි. රළ යයි. තවත් සිතිවිල්ලකි. රළ එයි සිතිවිල්ල නැඟී, බිඳී යයි. ඒ සමග රළ යයි සිතිවිල්ල හට ගනී. එය ද වහා බිඳී යයි. සිතිවිලි ඇතිවේ. නැතිවේ. ඇතිවේ. නැති වේ. රළ නැඟීම, බැසීම අනුව ම සිතිවිලි ද ඇතිවේ. නැතිවේ.
අද උදේ සිට කොපමණ සිතිවිලි මේ සිතේ ඇති වී නැති ව යන්නට ඇද්ද? නැති වූ පසු ඒ සිතිවිල්ල යළි ඇති නොවේ. අලුත් සිතිවිල්ලක් එතැන්ට එයි. ඇති වී නැති වී ගිය සිතිවිලි මෙපමණ යයි කිව නොහැකි යි.
මේ සිතිවිලි නිත නැත. ඇති වූ වහාම නැතිවන හෙයිනි. සිතිවිලි අනිතයි.
රළ කඳන් ද අනිතයි. නැඟෙයි. බිඳෙයි. එයි. යයි. අනිතයි. මුළු ලොවම සැම දෙයක් ම ඇති වී , නැති වී යනු අනිතය ම පළ කැරෙනු මට පෙනිණි.
මගේ මගේ කියන මගේ මේ සිත නිත නැත. මට අවශ ලෙස පවත්වා ගැනීමට හැකිවිය යුතුය. බිඳෙනු නොදී, නැතිවනු නොදී රඳවා ගත හැකිවිය යුතුය.
රස මුසු සිතිවිල්ලක් නැඟුණු විට, ඒ රස මුසු බව විඳිමින් ම ජීවත් වීමටයි මා කැමති. එහෙත් මොහොතකින් ඒ රසමුසු සිතිවිලි බිඳී දුක් මුසු, තරහක්, ශෝකයක්, සිතට එයි. මේ සිතේ අනිත ය නොවේද? අනිත වූ සිත මගේ යයි කිව හැකි ද? එය මගේ නොවේ. මගේ ආත්මය නොවේ.
සිත අනාත්මයි. සිත අනිතයි. අනාත්මයි. මම බොහෝ වේලාවක් ගල් කුළ මත සිටියෙමි. මුහුදු ගොස නො ඇසී යනු මට දැනිණි. නිශ්චල ශාන්ත බවට සිත පත්විය.
හදිසියේ ම ඇස් ඇරිණ. ඈත වලා රහිත නිල් අහස පෙනිණ. සිත ද නිල් අහස මෙන් නිරවුල් ව මඳ වේලාවක් පැවැතියා.
යළි මුහුදු ගොස ඇසෙන්නට විය. මම ගල් කුළෙන් බැස ආවෙමි.

No comments:

Post a Comment