11/08/2012

සිපිරිගෙයි සාහිත්‍යය



හියු ලෙවින් දකුණු අප්‍රිකානු සුද්දෙකි. එංගල් බ්‍රෙෂ්ට් ද එසේම ය. බෝයර් ජාතිකයෙකු වූ ඔහු දකුණු අප්‍රිකාවට ආ සුද්දන්නට විරුද්ධව සටන් කළේ ය. පරාජය වූයේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවට පිටුවහල් කරනු ලැබුවේ ය.

පසුකලෙක යාල වනෝද්‍යානයේ භාරකරු වූ බ්‍රෙෂ්ට්ගේ ජීවිත කතාව ලියැවුණේ සිංහලයෙනි. විජේසිංහ බෙලිගල්ලගේ එම කෘතිය ඇසුරින් මම “වනබිමේ සිරකරු” නම් වූ ටෙලි වෘත්තාන්තය කළෙමි.
හියු ලෙවින් තම ජීවිත කතාව නොලිව්වේ ය. එහෙත් දකුණු අප්‍රිකානු සිරගෙදරක ගත කළ සත් වසර පිළිබඳ අගනා පොතක් ලිවී ය. ‘ජනහඬ’ නමැති සතිපතා - විකල්ප පුවත්පතක සේවය කළ කාලයේ එංගලන්තයේ සිට මට එය එවූ උපාලි කුරේ ඉන් පරිච්ඡේදයක් දෙකක් සිංහලට නඟා පළ කරන මෙන්ද ඉල්ලා සිටියේ ය.
එංගල් බ්‍රෙෂ්ට් හිරේ විලංගුවේ වැටෙන්නේ තම බෝයර් ජාතිකයන්ගේ විමුක්තිය උදෙසා සුද්දන්ට එරෙහිව සටන් වැදීමෙනි. හියු ලෙවින් සිරබත් කන්නේ කල්ලන්ට පක්ෂව තමන්ගේ වර්ගයාට ම විරුද්ධව යාමෙනි.
ඉංග්‍රීසි මිෂනාරි මවුපියනට දාව උපන් හියු , වෘත්තියෙන් පත්‍ර කලාවේදියෙකි. අප්‍රිකානු විරෝධතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු 1964 දී, දවස් අනූවේ රඳවා ගැනීමේ නීතිය යටතේ සිරබාරයට ගැනෙයි. උසාවියේ දී දීර්ඝ ප්‍රකාශයක් කරන හියු, එය අවසන් කරන්නේ මෙසේ ය.
“මම මෙතෙක් කියූ කිසිවකින් මගේ සිර දඬුවම ලිහිල් නොවන බව දනිමි. මේ විස්තරය කළේ ඔබ වෙනුවෙන් ද නොවේ. අපට ආදරය කළ හා හිතවත්කම් පෑ ජනතාවගේ දැන ගැනීම පිණිස ය.”
සුදු ජාතිකයෙකු වූ තමන්ට මිනිසෙකු කළු ජාතිකයකු වීම ගැන අවබෝධ කර ගැනීමට හැකිවූයේ සිරගෙදර තුළ දී බව ද හියු කියයි. එසේ ම දකුණු අප්‍රිකාවේ සුද්දන්ගේ පාලනය ගැන දැන ගැනීමට නම්, කල්ලන් සිටින සිරගෙදරකට යා යුතු බව ද හියු ලෙවින් සඳහන් කරන්නේ කර්කෂ උපහාසයක් දනවමිනි. (නෙල්සන් මැන්ඩෙලා ද මේ කාලයේ හිරගෙදර ය.)
දේශපාලන සිරකරුවන්, තම සිපිරි ජීවිතය පිළිබඳ ලියූ කෘතීන් බොහෝමයක් මනුෂ්‍යත්වය හමුවේ පිදෙන උදාන කාව්‍යයන් බඳු ය.
සිපිරිගෙයි සාහිත්‍ය (Prison Literature) නමින් අමුතුම ආකාරයේ සාහිත්‍ය ආකරයක් ද නිර්මාණය වී ඇත්තේ දුක් කඳුළින් ලියැවුණු එම සිරකතා තුළිනි.
සිපිරි සාහිත්‍යය මිනිස් ඉතිහාසයේ බොහෝ ඈතට දිව යන්නකි. සුප්‍රකට දේශ ගවේෂකයෙකු වූ මාර්කෝ පෝලෝ, ජීනිවා නුවර සිපිරි ගෙදරක විසූ කාලය ගැන ලියා ඇත. මිගෙල් ඩී සර්වාන්තේස් ඔහුගේ ලෝක ප්‍රකට නවකතාව වූ ‘දොන් කුවික්සෝට්’ සඳහා නිර්මාණ ආභාසය ලැබුවේ ද සිරගෙයක් තුළ දී ය. ප්‍රංශ ජාතික මරා ද සාද්, බැස්ටීලය තුළ ගත කළ එකොළොස් වසර තුළ, නවකතා එකොළහක් ද, කෙටිකතා 16ක් ද, කාව්‍ය 20ක් ද, දිනපොතක් ද ලිවී ය. නැපෝලියන් බොනපාට්, හෙලේනා දූපතේ ගත කළ සිපිරි ජීවිතය ගැන ලියූ පොත, 19 සියවසේ දී ද වැඩිම අලෙවි (Best Seller List) ලැයිස්තුවේ මුල් තැනක පැවතුණි. දොස්තයෙවුස්කි, ඕ හෙන්ඩ්‍රි, තියොංගෝ ආදීන්ගේ සිට , 2012 නොබෙල් සාම ත්‍යාග ලාභී , චීන ජාතික ලියූ සියාවෝ දක්වා ම පැතිර යන සිපිරි ලේඛක නාමාවලියත් විශ්ව සාහිත්‍යය තුළ රන් අකුරින් සටහන් වේ.
අපගේ පියදාස සිරිසේනයන් ද, “අෂ්ටලෝක ධර්ම චක්‍රය” නමැති නවකතාව රචනා කළේ, සිරගෙදර දී ලැබුණු ධර්ම ග්‍රන්ථයක, හිස් තීරු අතරේ බව කියැවේ.
ඉරාන ජාතික මහමුද් ඩවුටලාබ්ට, සිරගෙදර තුළ දී පොතක් පතක් හෝ පෑනක් පැන්සලක් නොලැබුණි. ඔහු තම මනස තුළ පොතක් නිර්මාණය කර ගත්තේ ය. නිදහස ලැබූ පසු, ඔහු තම මතකයේ ලියූ පොත, කඩදාසි පිටු අතරට එක් කළේ ය. එය පිටු 550ක ග්‍රන්ථයක් බවට පත්විය.
මෑතකදී මට, චාල්ස් දයානන්දගේ “සිපිරි ගෙදරක වසර 6 ක්” නමැති පොත කියවන්නට ලැබුණි. ජවිපෙ සිරකරුවෙකු වශයෙන් බෝගම්බරත්, කැලණි සිර කඳවුරේත්, වැලිකඩත් වෙසෙමින් ලබන කටුක හා අමානුෂික අත්දැකීම් ඔහු අපට කියන්නේ “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” යන කියමන සරදමට ලක් කරමිනි.
දයානන්ද ඔහු සමඟ සිරගෙදර විසූ චරිත ගණනාවක් අප ඉදිරියට ගෙන එයි. ඉන් එක් අයෙක් මිනීමැරුමක් සඳහා වරදකරුවෙකු වූවෙකි. ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙන දිනයට, ආගමික නිවාඩුවක් යෙදෙයි. මරණ දඬුවම කල්යයි. මෙසේ දෙතුන් වරක් ම විවිධ හේතූ නිසා දඬුවම කල් යන අතර, අවසානයේ විශේෂ සමාවක් ලැබ, කෙන්ට් සහ ඩොලර් ගොවිපළේ පදිංචියට යයි. එහි දී ඔහු කොටි ත්‍රස්තවාදීන්ගේ වෙඩි පහරට ලක්ව මිය යන්නේ, දෙව්ලොවට ගියත් කළ කම් පල දෙන බව සනාථ කරවමිනි.
සිපිරි සාහිත්‍යයේ ඇති දේශපාලනික වැදගත්කම කුමක්ද? මගේ දිනපොතේ ඒ පිළිබඳ මෙසේ සටහන් වී ඇත.
යහපත් මිනිසුන් විසින් යහපත් සමාජයක් උදෙසා සිරගත කරනු ලැබූ අයහපත් මිනිසුන්ගේ ජීවිත පිළිබඳ යහපත් මිනිසුන් නොදන්නා දේ ඔවුන්ට දන්වා සිටීම සිපිරි සාහිත්‍යයේ ඇති ලොකුම වටිනාකමයි.

No comments:

Post a Comment