11/02/2012

කොන්දොස්තරලගේ බස් විස්තර


අවිස්සාවේල්ලේ සිට හයිලෙවල් පාර ඔස්සේ කොළඹ බලා ඇදෙන පුද්ගලික බස්රිය ගමන් ඇරඹුවේ අලස සෙයියාවෙනි. ඒ එම බස් සේවයේ ස්වභාවයයි. ගමනේ මුල් කොටස ධාවනය වන්නේ හැකිතරම් මන්දගාමී ආකාරයට ය. පසුපස අසුනක සිටි මගේ ඇස් ද මඳින් මඳ අඩවන් වන්නට පටන් ගනියි. රියේ කොන්දොස්තර තැන ටිකට් නිකුත් කරන්නට පටන් ගත්තේ ය.

අසුන මත කුකුළු නින්දට පෙර ටිකට්පත ලබා ගැන්ම මැනවයි සිතුණෙන් මම ඔහු ළඟට එනතුරු දෑස් විවර කොට ගෙන සිටින්නට වෑයම් කළෙමි. මට ඉදිරිපස අසුනක සිටි කාන්තාව දිගු කළ රුපියල් සියයේ නෝට්ටුව අතට ගත් කොන්දොස්තර තැන ඇයට ටිකට්පත සමඟ රුපියල් විස්සක් දුන්නේ ය.
“ඇයි විස්සක්. ගණන හැත්තෑපහයිනෙ. රුපියල් පහක් අඩුයි.” කාන්තාව ඇසුවා ය.
“මාරු සල්ලි නෑ.” කොන්දොස්තර උත්තර බඳින්නේ හැකි තරම් රළු වෙසක් පාමිනි.
“පුදුම කතාවක්නෙ. මාරු සල්ලි නෑ කියල ඉතුරු සල්ලි නොදී ඉන්න පුළුවන්ද?” කාන්තාව ද ලේසියෙන් අතාරින්නට සූදානම් නැත.
“බස් එකට එනකොට මාරු සල්ලි අරන් එන්න දැනගන්න ඕනෑ.” කොන්දොස්තර කොලුවා නීති සංග්‍රහවල සඳහන් නොවූ අලුත් නීතියක් ගෙන හැර පායි.
“මල්ලි මාරු සල්ලි අරන් එන එක මගෙ ජොබ් එකට අදාළ නෑ. ඒත් ඔයාගෙ ජොබ් එකට නම් අදාළයි.” කාන්තාව කීවා ය.
විවාදය දුර දිග යන විට කොන්දොස්තර කොලුවා කතා කළේ මුවින් නොරිස්සුම හඟවන ශබ්ද පිට කරමිනි. හරියට ගමන පයින් නොගොස් බස් රියට ගොඩ වූයේ ඇයි දැයි විමසන ආකාරයට ය. නැතහොත් මගීන් පිනට ගමන් කරන්නන් යයි හැඟවෙන ආකාරයට ය.
“ඉතුරු සල්ලි බහිනකොට දෙන්නම්. ඊට කලින් දෙන්න බෑ.” ඔහු කතාවට නැවතීමේ තිත තබන්නට බලයි.
“එහෙනම් ටිකට් එකේ පිටිපස්සෙ සටහන් කරන්න. නැත්නම් ඔයා කියයි ලියල නෑ කියල.”
කාන්තාව ඔහුට ගැළවෙන්නට ඉඩ නොදී ටිකට්පත පසුපස ලියවා ගත්තා ය.
එහෙත් කොන්දෝස්තර බහිනවිට මිස ඉන් පෙර රුපියල් පහ ගෙවන්නට කිසිසේත් ම සූදානම් නැත. කතා නොකර සිටිය ද, බොහෝ මගීන් මුහුණපා සිටියේ ද ඉහතින් කියැවුණු කාන්තාවට වූ හදියටම ය. නොහික්මුණු කොන්දොස්තර කොලුවා හා හරිහරියට කට ගසන්නට ඇති අකැමැත්ත නිසා බොහෝ දෙන නිහඬව සිටියහ.
දින කීපයකට පසු රෑ බෝවන යාමයක මම තරමක් ගම්බද මාර්ගයක ගමන් කරමින් සිටියෙමි. මා එදා ගමන් කළේ පුද්ගලික බස් රියක නොව ලංගම බස් රියක ය. ටිකට් කඩන්නට පැමිණි කොන්දොස්තර මහතා මුලින් ම මගීන්ට ළෙන්ගතු සිනහවක් පෑවේ ය.
“මාරු කාසි ගෙනාවෙ නැති අයට නම් ඉතුරු සල්ලි දෙන්න අමාරුයි.” ඔහු පනහේ නෝට්ටුවක් දිගුකළ මගියෙකුට කීවේ ය.
“මොනව කරන්නද ඉතිං? ඊළඟ දවසෙදිවත් ඉතුරු දෙන්න බලන්නම්”
එදා පුද්ගලික බස්රියේ කොන්දොස්තර ගැටයාට වඩා හාත්පසින් ම වෙනස් හැසිිරීමකි. එහෙත් හැම මගියාට ම ඉතිරි මුදල් ලැබුණේ අඩුවෙනි. රුපියල් තුන , හතර, පහ ආදී වශයෙන් හැමෝට ම අඩුවෙන් බෙදිණි. එයද හිත නොරිදෙන තාලෙට ය. විහිළු තහළුවෙනි.
“අයියෝ සුදු මල්ලි, ඔයාට අඩුවෙන් දෙන්ට වෙන එකට මට ගොඩක් දුකයි. ඒත් කරන්න දෙයක් නෑ පැටියෝ. ඔයාට දෙන්න වෙන්නෙත් රුපියල් හතරක් අඩුවෙන්.” කොන්දොස්තර එසේ කීවේ පාසල් යන වියේ පසු වූ කොලු ගැටයෙකුට ය.
දෙතැනදීම සිදු වූයේ ඉතිරි මුදල මංකොල්ලකෑමයි. වෙනස වූයේ භාෂාවේ සහ ක්‍රමවේදයේ පමණි. ඉහතින් විස්තර වූයේ බස්රථවලට විශේෂයෙන් ම පුද්ගලික බස්රථවලට හුරු වී ඇති නවත ම ගසාකෑමේ ක්‍රමවේදයයි. ඇතැම් විට ඔබ මා හා එකඟ නොවනු ඇත.
“ඔය සෙල්ලම හැමදාම තිබුණා.” ඔබ මා හා තර්ක කරනු ඇත. එක්තරා දුරකට මම ඔබ හා එකග වෙමි. එහෙත් අද තරම් ක්‍රමානුකූල සැලැස්මක් මත සියලු සදාචාරයන් පසෙකට තල්ලු කොට එදා ඉතිරි මුදල මංකොල්ල කෑවේ නැත.
අද අවම බස් ගාස්තුව රුපියල් නවයකි. එහෙත් ඒ බවක් මගියාට නම් නොදැනේ. මන්ද රුපියල් දහයක් දුන් විට ඉතිරි රුපියල නොලැබෙන බැවිනි. රුපියල් නවයට දහයක් ගෙවමින් අවම ගාස්තුව රුපියල් නවයකි’යි හිත හදා ගන්නට මගීන්ට සිදු වී තිබේ. රුපියල් දහ නවයේ බස් ගාස්තුවට මේ න්‍යාය අනුව ගෙවිය යුතු මිල රුපියල් විස්සකි.
පුද්ගලික බස්රථවල බොහෝ සේවකයෝ තමන්ට බත සපයා දෙන මගීන්ට කතා කළ යුතු ආකාරය දන්නේ ම නැත. මේ ව්‍යාපාර හසුරුවන අධිකාරිය යයි නම් ලත් ආයතන විශේෂයක් තිබුණ ද ඔවුනට වගේ වගක් නැත. පෞද්ගලික බස්රථ වෘත්තීය සංවිධාන, ජනමාධ්‍ය මඟින් සිය සේවා නවත්වන බවට, බස් වර්ජනය කරන බවට තර්ජනය නොකරන දවසක් නැති තරම් ය. එහෙත් සිය සේවකයන්ගේ සදාචාරය වර්ධනය කිරීම ගැන නම් ඔවුනට වගේ වගක් නැත. ඒ ඔවුන්ගේ බස්රියවල යනෙන මගී ජනයාගේ අවාසනාව විය යුතු ය.

No comments:

Post a Comment