11/02/2012

සොබාදමේ තතු නොදකින නෙතු


පෙර පාසල් යන කාලේ හැකි සෑම විටම ආච්චි අම්මාත් සමඟ සෙල්ලම් කිරීමට අප නිවසට දිව එන “නෙතු” දැන් පාසල් යයි. එදවස මා නිවෙසේ සිටී නම් හැකි සෑම විටම අපි දෙන්නා කිසියම් දෙයකට ඔට්ටු අල්ලන්ට හුරුව සිටියෙමු. පෙර පාසල් ගුරුතුමිය ගේ සුරතලිය වූ “නෙතූ” ඒ දිනවල මා සමඟ හරි හරියට හිටිවන කවි කියන්නියක වෙමින් සිටියා මට මතකය.

” අපේ ගෙදර ඇවිල්ලා පුංචි ගිරා පැටියෙක්,
ආචිචි එක්ක කතාවක් අපිට වැඩක් කරගන්නත් නෑ
හරිම කරදරේ “ යැයි මා කියුවිට නෙතු පුංචි මුව අයා හරි අපූරු පිළිතුරු කවියක් කිවා මට අද මෙන් සිහියට නැගේ,
“අපේ ගෙදර ඇවිල්ලා හරි විසාල අලියෙක් එයා කළුම කළුයි කැතයි කැතයි කැතයි අපිට හරිම කරදරේ “
වසර හතරක පුංචි දැරිවියක ලෙස, අප අනුකරණය කරමින් භාෂාව මනාව හසුරවන්නට ඇයට හැකිවූයේ ප්‍රමාණාත්මක වාග් කෝෂයක් ඇය තුළ ඒ වනවිටත් නිර්මාණය වී තිබු නිසාය. ඉදිවෙමින් තිබූ නිවසට විදුලිබලය ලබාගැනීමට පෙර පදිංචියට ගිය හෙයින් ඒ දිනවල නෙතූගේ ලෝකයට රූපවාහිනියෙන් දැඩි බලපෑමක් එල්ල වූයේ නැත.
ආච්චී සමඟ හවසට වෙලට යාමට, පාට පාට මල් රුගෙන විත් සුදු කරදාසියක මල්වල පැහැයෙන් සිතුවම් අදින්නට ඇයට බොහෝ කාල වේලා තිබිණි. තාත්තා අනුරාධපුරේ සේවය කළ බැවින් ආච්චි සමඟ එක්ව තාත්තාට ලියුම් ලිවීමටද ඇයට කාලය තිබූ අතර ˘‘ලොකු නැන්දා තාම ගෙදර ආවේ නෑ’ යනුවෙන් මා පිළිබඳ නෝක්කාඩුද ඒ වායේ ලිය වී තිබිණි.
වසර දෙකකට පසු දැන් කාලය වෙනස්ව ඇත. “දෝණී යන් අපේ ගෙදර” යැයි මා හඬ ගසන විට “අනේ ලොකු නැන්දා මම කාටුන් බලනවා” යැයි ඇය මට පිළිතුරු දේ. ඇගේ සතූටට බාධා නොකරමින් පැමීණිය ද, මම ඒ ඔස්සේ සිතන්නට කැමැත්තෙමි. අප, අපේ දරුවන් උදෙසා ප්‍රමාණවත් කැප කිරීමක් සිදු කරනවාදැයි අපෙන්ම විමසීමට කාලය පැමිණ ඇතැයි මට සිතේ.
අපි, අපේ දරුවන් වෙනුවෙන් මුළු ජීවිතේම කැප ක‍ෙළමු, දිවා රැය නැතිව වෙහෙස මහන්සියෙන් ඔවුන් වෙනුවෙන් දාබිදු කදුළු හෙලූවෙමු, එය සත්‍ය වුව ද, අපේ දරුවන් ගේ පරිකල්පනය වර්ධනය කිරීමට අප ගෙන ඇති පියවර කුමක්ද? වැහි බිඳක සීතල, හීත සුළගේ ගුමු ගුමුව, තණ පලසක සිහිල, මුහුදු රළක කිති කිතිය, අප අපේ දරුවන් සමග කොපමණ කලකින් බෙදාගත්තාද? ඔබේ දරුවා ජීවිතය බෙදා ගන්නේ කවුරුන් සමගද? සොභාදහම සමග ද? ඔබේ වැඩිහිටියන් සමගද? සිය මිතුරු මිතුරියන් සමග ද? එසේ නැතහොත් නිවසේ යාවජීව සාමාජික රූපවාහිනිය සමග ද?
ප්‍රවේසම් වන්න, වෙනදා කතාකළ සැනින් පැමිණ හුරතල් වන, සියොළඟ දැවටෙමින් සෙනෙහස පාන දූ දරුවන් ගේ ළමා මනස සියලු රූපවාහිනී නාළිකාවල කාටුන් චරිත විසින් අත්පත්කර ගැනීම නිසා දරුවන් රූකඩ මෙන් හැසිරීමට ඉඩ තිබේ.
පොත පතින් පරිකල්පනයෙන් ඈත්වන දුවා දරුවන් ගැන මහත් වේදනාවෙන් රූපවාහිනිය පිළිබඳ පැදි පෙළක් රචනා කළ බ්‍රිතාන්‍ය ජාතික ලේඛක රෝල් ඩාල් ගේ(Roald Dahl) ‘ටෙලිවිෂන්’ (Television) නමැති ලක්ෂාන්ත අතුකෝරල විසින් පරිවර්තනය කළ සුප්‍රකට පැදිය මට සිහිවේ. ඉන් කොටසක් ලිහිණි ගේ ලියමනට අමුණන්නේ තව දුරටත් අපි අපේ දරුවන්ගේ ජීවිතවලට මග හසර පෙන්වා දිය යුතුය යන්න ඔබට සිහිකැදවීම පිණිසයි
(ගිය සතියේ දුටුවෙමු එක නිවෙසක ඇස් ගුලි දුසිමක් බිම මත විසිරුණ)
පත් වන තෙක් එමගින් මෝහනයට ඒ හැම කැළඹිලි අපුල ජරාවෙන් අත් වන තෙක් මුළුමනින්ම මත් බව ඔවුහු වාඩි වී සිටිති බලාගෙනත දෑස් නොසොල්ලා පසු වෙති ඉඳගෙන හැබෑව, ළමයින් නිසල කරයි එය ජනේල පඩියෙන් උන් නොපනින ලෙස එනමුත් ඔබගේ පෙමැති ළමුන් හට ඇත්තෙන් මෙය සිදු කරනා දෙය ගැන කිසි දින හෝ නැවතී ඔබ සිතුවෙද? එය සිරසේ සංවේදන පල් කර වනසයි පරිකල්පනයේ මහිමය එය ඔබ දරුවා අන්ධ මුග්ධ කර විලංගු ලා අවහිර කර මනැස ද එහි සී සී කඩ පුරවයි ලට පට වටහා ගනු බැරි වෙයි යළි එසිතට මනෝ ලොවක් - සුරඟන දහනක් ගැන කේජු ලෙසින් මනැස ද ඔද්දල් වෙයි චින්තන ප්‍රතිභා මළ කා සිර වෙයි ඔහුට දකිනු මිස සිතනට බැරි වෙයි
............................................
.............................................
එහෙයින් කරුණාකර! - කරුණාකර! අපි අයදින්නෙමු - යදිනෙමු නෙක වර යන්න ගොසින් ඔබෙ ටීවී යන්ත්‍රය ඉතින් වීසි කර දමන්න ඈතට හැකිය ඔබට තැබුමට එය තිබු තැන රාක්කයක් බිත්තිය ළඟ සුන්දර පුරවනු මැන පොත් රාශියකින් එය!

No comments:

Post a Comment