11/02/2012

ලොකු සාදුලාගේ අවවාද


අඹ ගහ යටට එක් රැස්වන පුංචලාටත් පැංචිලාටත් හදිසියේම පණිවිඩයක් ආවා. ඒ පන්සලේ ලොකු සාදුගෙන්. පණිවිඩේ අරන් ආවේ පන්සලේ ඇබිත්තයා හැටියට වැඩකරන කළු මාමා.

“ඔය ළමයි කට්ටියටම ලොකු උන්නාන්සේ එන්ඩ කීවා”
කළු මාමා කට්ටියටම ඇහෙන්න එහෙම කීවත් බලාගෙන හිටියේ ලොකු පුංචාගේ මූණ දිහායි. ලොකු පුංචා කිසිවක් කියන්න හදිසි වුණේ නෑ. කට්ටියම දිහා බලලා බිම බලාගත්තා. කළු මාමා යන්න ගියා.
” ඇයිද දන්නේ නෑ” කහ පුංචා ඉස්සරහට ඇවිත් ලොකු පුංචාගෙන් ඇහුවා.
” මං දන්නේ නෑ” ලොකු පුංචා යාම්තමට කීවා.
ලොකු සාදුගෙන් අඹ ගහ යටට පණිවිඩයක් ආවොත් එයින් ඇඟවෙන්නේ කරුණු දෙකයි. එක්කෝ නඩුවක්. නැතිනම් විසුමක් හම්බවෙන්නේ නැති වැඩක්. මේ දෙකෙන් කෝක වුණත් ‍ඇඟට ගුණ නෑ. නඩුවක් නම් ඒක පන්සලෙන් නවතින්නේ නැතිව ගෙදරට ආරංචි වෙනවා. ඒ නිසාම ලොකු සාදුගෙන් ගුටි කාලා අවවාද අනුශාසනා අහලා ගෙදර ගියාම ගෙදරිනුත් කන්න වෙනවා. ඒක භයානකයි. පන්සලේ වෙහෙස මහන්සි වී කළ යුතු වැඩ කටයුත්තක් තිබේනම් අද සෙල්ලමක් කරන්න වෙන්නේ නෑ.
හවස් වෙනකල්ම ඉතිං හුළං විස්කෝතුවකින් සෑහී එක දිගට වැඩ කරන්න වෙනවා. ඒක වාතයි. දැන් ඉතිං මොකද කරන්නේ? හැමෝම ටික වෙලාවක් යනකල් කල්පනා කළේ ඒකයි. අනෙක් අතට ලොකු සාදුගේ වචනයකට පිටුපාන්න කාටවත් හයියක් තිබුණේ නෑ. ගමේ මොනම ප්‍රශ්නයක් වුණත් මුලින්ම ඉදිරිපත් වුණේ උන්නාන්සේටයි. පොලීසියට ගියේ වැඩේ එතැනින් විසඳා ගන්න බැරි තරමට දුරදිග හිහින්නම් විතරයි.
“කරන්න දෙයක් නෑ.. අපි යමු”
අන්තිමට ලොකු පුංචා එහෙම කියාගෙනම ඉස්සර වුණා. අනිත් පුංචලා පිටුපසින් වැටුණා. පන්සලට ගිය පුංචලා, ලොකු පුංචාගේ මඟපෙන්වීම අනුව මුලින්ම බෝධිය, චෛත්‍ය හා බුදුගෙය වන්දනාමාන කරගෙන ලොකු සාදුගේ ආවාසය ඉදිරියේ පෙනී සිටියා. පුංචලා පැමිණ ඇති වග කළු මාමා විසින් ලොකු උන්නාන්සේට දැනුම්දීමෙන් පස්සේ ආවාසයේ ඇතුළු කාමරයෙන් ලොකු සාදු එළියට වැඩියා. ඊට පස්සේ ලොකු සාදු මහ පුටුවේ වාඩි වූවායින් පසුව පුංචලාටත් වැඩිවෙන්නැයි දැනුම්දුන්නා.
දැන් ලොකු සාදු මහ පුටුවේ. පුංචලා කවාකාරව බිම පැදුරු එළාගෙන උන්වහන්සේ ඉදිරිපිට වාඩිවුණා. ලොකු සාදු කටේ තිබුණු බුලත් හපය පඩික්කමට හළලා උගුරේ රැල් බුරුල් ඇරියා. උන්නාන්සේ බරසාර කතාවකට අරඅඳින බව තේරුම් ගියාම පුංචලාගේ පපුවේ ගැස්ම ටිකක් වැඩිවුණා තමයි. ඒත් ඉතිං මොනවා කරන්නද? සිද්ධවෙන්න යන දේ දිහා ඔහේ බලාගෙන හිටියා.
“මට මේ ළමයින්ගේ අම්මලාගෙන් තාත්තල‍ගෙන් වැඩිහිටියන්ගෙන් ‍බොහොමයකින් පැමිණිලි ලැබිලා තියෙනවා, මේ අය වැඩිදෙනෙක් සෙල්ලමට මිසක් පොතේ පතේ කටයුතුවලට එච්චර උනන්දුවක් නෑ කියලා..” ලොකු උන්නාන්සේ පුංචලා හැමෝගෙම මුහුණ දිහා බැලුවත් ඒ බැල්ම නතර වුණේ ලොකු පුංචා ළඟයි.
” අනේ එහෙමනම් නෑ ලොකු සාදු”
ලොකු පුංචා චකිතයකින් වගේ වුණත් ලොකු සාදු දිහා බලාගෙනම උත්තර දුන්නා. කොහොම වුණත් ලොකු උන්නාන්සේ පුංචලා කට්ටියටම දීර්ඝ දේශනාවක් කළා. සෙල්ලමට වගේම අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් කරගෙන යා යුතු බව, මවුපියන් දරුවන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු නොකරන ලෙස, වගේම රටට ලෝකයට සේවයක් කළ හැකි උගත් බුද්ධිමත් දරු පරපුරක් විය යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්නා. අවසානයේ ලොකු සාදුට වැඳලා පුංචලා ආපහු එන්න එළියට බැස්සා.
“ලොකු සාදු කියන දේ අපි අහන්නට ඕන” සුදු පුංචා කීවා.
“ඉතිං අපි ඇහුවනේ” ලොකු පුංචා කීවා.
“නෑ එහෙම නෙවෙයි. අපි ඉස්කෝලෙ වැඩවලට, පාඩම් වැඩවලට මුල්තැන දෙන්න ඕන” කොළ පුංචත් කියා සිටියා.
” අයියෝ.. ඔය ලොකු ලොකු අය මහා සංඝරත්නය බැහැදැක්කා. ආශිර්වාද ගත්තා කීවාට උන්නාන්සේලා කියන දේවල් කරන්නේ නෑ. ඇහුන්කන් දෙනවා විතරයි. ඔහෙල දන්නෙත් නෑ” ලොකු පුංචා තදින්ම කියා සිටියා.
” ඒ වුණාට වෙනත් ගස් යට එකතුවෙන උන්ට වඩා අපේ අය දැන උගත් අය වුණාම අපට වාසියිනේ” කහ පුංචා, ලොකු පුංචාට ටිකක් හෙමින් වගේ කීවා.
“තමුසෙට පිස්සුවක් ඇතැයි..ඔක්කොම දැන උගත්තු වුණාම රටේ තොටේ සාමාන්‍ය වැඩ කරන්නේ, අතුපාතු ගාන්නේ, ගස්වල ගෙඩි කඩන්නේ, පාරවල් හදන්නේ කවුද? “ ඒ පාර ලොකු පුංචා කීවේ ටිකක් සැරෙන්.
“අනිත් එක පංතියේ දක්ෂම ළමයි වෙලා ලකුණු අරගෙන මුල් පේළියේ වාඩිවුණාම මුන් මං කියන දේ අහයිද..”
ඒ ටික ලොකු පුංචා කීවේ කහ පුංචාගේ කණට ළංවෙලා ඇහෙන නෑහෙන ගාණට හෙමින්.

No comments:

Post a Comment