10/12/2012

නාහෙට නාහන ගොන්නු



හරක්, මීහරක් මෙන් ම හරක් ගණයට වැටෙන අනේකවිධ ගොන්නු ද සත්ත්ව ලෝකයේ දී අපට හමුවෙයි. කොයි හරකත් අපේ ජනජීවිතය මෙන් ම ජනවහර ද පෝෂණය කර ඇත. ගම්දොර හීලෑ එළහරකා මෙන්ම මහ කැලේ දී හමුවන කුළු හරකා ද මහත් ආශ්වාදයක් ගෙන දෙන සත්වයෝ ය. කුළු නොහෙත් කුලෑටි හරකා නොදැමුණු හීලෑ නැති එකෙකි.

“ගෙරි” යන්න හරකා හඳුනා ගැනීමට යෙදෙන ඉපැරැණි හෙළ වදනෙකි. හරකා එඬේර යුගයේ සිට ගේදොරටම හීලෑවූ සතෙකි. වල් සතුන් අතරින් හරකා ගෙ-සතෙකු බවට පමුණුවාගත් දා සිටම “ගෙරි” යන නිපන් වදන භාවිත වූ බව අරිසෙන් අහුබුදු පඬුවාණෝ පවසති.
හරක් සමූහයක් වශයෙන් ගත් කළ පට්ටියක් බවට පත්වෙයි. පට්ටියේ හරක් අතර වස්සන් ද, වැස්සියන් ද, නාම්බන් මෙන්ම නෑම්බියන්ද දැකගත හැකි ය. නාහෙට නාහන ගොනුන් ආන් බාන් කර මෙල්ල කර ගැනීම මදක් අපහසු කටයුත්තකි. තෝන්ලනුවට කීකරු ගොනා ජ පිට ම කියා කෙවිට අතට ගත් විට ඕනෑ දිසාවකට දක්කාගෙන යා හැකි ය. ඇතැම් ගොනුන්ට ලොකු මොල්ලියක් ද ඇත. “ගොරොද” මොල්ලිය තුළ ඇතැයි සැලකෙන සුවඳවත් ඔසුවකි. සංස්කෘත භාෂාවේ මෙය ගෝරෝචන කියා ද යෙදේ. ගෝරෝචන බැබලෙන වටිනා කමකින් යුත් මුවන්ගේ කස්තුරි හා සමාන ද්‍රව්‍යයකි.
දේව කතාවලද පූජනීයත්වයට පත් වූ ගවයන් ගැන සඳහන් වේ. “නන්දි” නැමැති ගවයා ඊශ්වර දෙවියන්ගේ වාහනයයි. යම රජු තම වාහනය කරගෙන ඇත්තේ මීහරකා ය.
අද නොදකින නමුදු නොයෙක් වර්ගයේ ගොන් බැඳි “කරත්ත” හෙවත් “කරෙත්ත” මෑතක් වනතුරු ම මඟතොටේදී දැකගත හැකිවිය. ගොන් කරත්ත කිහිප වර්ගයකි. තනි ගොන් කරත්තය හෙවත් බරබාගය, බර කරත්තය, තිරික්කලය, බක්කි කරත්තය, ගමන් කරත්තය, මීගමු කරත්තය, ගාලු තිරික්කලය, රේස් කරත්තය හෙවත් තරක් කරත්තය වඩාත් ප්‍රචලිත වු කරත්ත විශේෂයි.
“හෙයියා” යනු ගවයාට නමකි. හෙයියන් මාරුව - අකරතැබ්බක් කරදරයක් සම්බන්ධයෙන් යෙදෙන උපමා කතාවකි. “අලි හෙයියන් මාරුවක් උනා” යැයි කියන්නේ කරදරයක් සිදුවූ විටය.
ගවයා පිදිය යුතු සත්ත්වයෙකු ලෙස සලකා වන්දනා කෙරෙයි. මෙය ප්‍රාග් වෛදික සිරිතක් වුවද ඉන්දියානු සමාජයේ දැනුදු එය ප්‍රචලිතව පවතින්නකි. ගවයා වැඳුම් පිදුම් ලබන්නේ පස්ගෝරස මිනිසාට ලබාදීමත් කෙතේ කමතේදී දක්වන උපකාරයත් නිසා ය. ගවයාගෙන් ලබාගන්නා කිරි හා කිරෙන් සාදන ගිතෙල්, වෙඬරු, මෝරු, කේජු යනාදිය පස්ගෝරසයි.
හරකාට කෑමට දෙන තණ අහර රස බොජුනක් සේ කාගෙන කාගෙන යාම හරකාගේ ගති සොබාවකි. වමාරා කෑම කෙරෙන්නේ ඉන්පසුවයි. වමාරා කෑම එළිවෙන තුරු වුවද හරකුන්ට කළ හැක්කකි.
ගව මස් කෑම (ගෙරි මස් කෑම) සිංහලයා සැලකුවේ නීච ක්‍රියාවක් ලෙසයි. ගව මස් කෑම අපේ සමාජයට පුරුදු පුහුණු වූයේ බටහිර ජාතීන්ගේ පැමිණීමත් සමඟය.
“එළ හරකයි මී හරකයි ඈඳුවා වාගේ” යනුවෙන් උපමාවක් ජනවහරේ එයි. එය නුසුදුසු නොගැළපෙන දීගයක් සම්බන්ධයෙන් යෙදෙන්නකි. උපමාව එසේ වූවද සීසෑමේ දී එළ හරකයි මී හරකයි ඈදන අවස්ථා දිගාමඩුලු දනව්වේදී දැක ගත හැකි විය.
“ගොනා පිට හකුරු පටවන්නා වාගේ” යන්න තවත් උපමාවකි. යමක් එහි අගය නොදත්තත් ඉදිරියේ දැමීම මෙයින් වක්‍රව කියවෙයි.
කමතක කොළ පෑගීමේ දී හරකා මෙන්ම ගොනාද හැඳින්වීමට “අම්බරුවෝ” යන නම යොදති. අම්බරුවන් කමතේ කොළය උඩ දක්කමින් කෙරෙන කටයුත්ත කොළ ගොං ගැහීමයි.
“දඩමීමා” දඩයමේ යනවිට වෙඩික්කරුවා ගෙන යන පුරුදු පුහුණු කළ මීහරකෙකි. දිගාමඩුලු වහරේ දඩමීමා, දඩ මිච්චා යනුවෙන්ද හැඳින්වෙයි. මීමාගේ අං දෙකට ලණුවක් දමා බැඳගෙන ඌට මුමාවී වනය මැදින් දක්කාගෙන යයි. මීමා පමණක් දකින සත්තු කරබාගෙන කෑම බුදින අතර මීමාට ළංව වෙඩි තැබීමේ අවස්ථාව දඩයක්කරුට ලැබෙයි. දඩමීමා වෙඩි හඬට බය නොවන පරිදි පුරුදු කර ගැනීමේදී උගේ පිට උඩ දමා රතිඤ්ඤා ආදිය පත්තු කිරීමෙන් උගේ බය අරවනු ලැබේ. නූතන වහරේ ද පවතින “දඩමීමා කර ගැනීම” දඩයම ඇසුරින් උපන් වචනයක් බව මෙහිදී පැහැදිලි වේ. වැදි බසේ දඩමීමා හඳුන්වන්නේ “වඩුනා” යන නමිනි.
ගොනා මෙන්ම මීමා ද ජන සාහිත්‍ය සාරවත් කළ සීපාවාය. සිංහල කව් ගී ද මොවුන් නිසා රසවත් වී ඇත.
තාලෙට ඇසෙයි ගොනුගේ රහුගෙඩි සද්දේ
හිතට දුකයි ගොනු කර හැප්පෙන සද්දේ
කඳුවල ගොඩලි ඇති පාරේ වන මැද්දේ
පව් කළ ගොනුගෙ නහපොට දෑතට ඇද්දේ
සිංදුවට ද ගොනා අලංකාරයක් විය. හනික යමං පුල්ලි ගොනෝ බයිස්කෝප් සිංදුවත් සී.ටී. ප්‍රනාන්දුගේ බරබාගේ සිංදුවත් එම්. එස්. ප්‍රනාන්දුගේ පුල්ලි ගොනා පුරුදු කාරයා සිංදුවත් තවමත් අපේ දෙසවන පිළිරැව් නැ‍ෙඟ්.
නිහාල් නෙල්සන්ගේ “එපා එපා මස් කන්නට කිරි අම්මාගේ” ගීතය මෙන්ම සුනිල් එදිරිසිංහගේ “බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ” යන ගීතයත් ජනතාව ගවමස් කෑමෙන් වළක්වා ගැනීමට ප්‍රබල බලපෑමක් කර ඇත.
ගොන් පොර ස්පාඤ්ඤයේ ජාතික ක්‍රීඩාවයි ස්පාඤ්ඤයේ සෙවිල් නුවර දැකුම්කළු පොරමඩලකදී ගොන් පොර නැරඹීමේ අවස්ථාව මට ලැබුණි.
වට මඩලක ප්‍රේක්ෂකයන් ඉදිරියේ ගොන් පොර පැවැත්වෙයි. ප්‍රචණ්ඩ ගොනෙකු කුපිත කිරීමෙන් මෙම සත්ත්ව හිංසාව ඇරඹෙයි. ගවයා පොරමඩලට පිවිසීම සමඟ පොරට එළඹෙන පුද්ගලයාට සහය වන දෙදෙනෙක් රතු සහ කහ රෙදි කඩවල් වනමින් ගවයා කුලප්පු කරයි.
මතදෝර් නැමති ප්‍රධාන පොරකරු ගවයා සමඟ සටනට එළඹෙන්නේ මේ අවස්ථාවේ සිටය. ක්‍රීඩාවේ කෙළවර හෙම්බත් වුණු ගවයා මරා මතදෝර්වරයා ජයග්‍රහණය අත්පත් කර ගත්තේය.
මනුෂ්‍යත්වයට නිගාදෙන මෙම ම්ලේච්ඡ ක්‍රීඩාව අවසානයේ සතාගේ වලිගය ද ක්‍රීඩකයාට තෑගි කෙරුණි.
අපේ ඉතිහාසයේද ගොන්පොර ගැන සඳහන් වේ. මහනුවර රජුන් මෙය පැවැත් වූ බවට සාධක තිබේ.
දෙවන රාජසිංහ රජු වනගත දඩයමේ යන අවස්ථාවක රජු වෙත අං මිටි තලා කුර ගටමින් දූවිලි නඟා පහරදීමට පැමිණෙන කුළු හරකෙකු දුටු ගහක් උඩ සිටි මගියෙක් රාජසිංහ දෙවියන්ගේ අණසක තිබේ නම් ගහකට නැගගන්නා ලෙසට රජුට කෑ ගසා කීය. එය නොසලකා ඉදිරියට යන රජු දුටු මගියා ඔහු රාජසිංහ රජු බව හඳුනාගෙන “නවතොටමුනෙන් ගේන මස් කාල තවත් මදිවෙලා මස් සොයාගන්න ආවාට ඇනපිය කුලා යනුවෙන් කෑ ගැසීය. කුළු හරකගේ අඟ අඹරවා ඌ මරණයට පත් කළ පසු මේ නම් රජුම යැයි තේරුම් ගත් මගියා රජු ඉදිරියේ බියපත්ව වෙව්ලන්නට විය.
“උඹේ කතාව නිසා මට අමුතු ධෛර්්‍යයක් ලැබුණා” යනුවෙන් පැවසු රජු “අංගම්මන ගම්වරය” මගියාට තෑගි වශයෙන් දෙනු ලැබීය.
sunilsarathp@yahoo.com

No comments:

Post a Comment