10/19/2012

මයින්ඩ් යුවර් ලැන්ග්වේජ් !



මෑතකදී මගේ විදත් තැපෑලට එවා තිබු ඉංග්‍රීසි “යාන් හෑල්ලක්” සැර බාලකොට සිංහලෙන් කියනවා නම් මෙසේ ය.
එංගලන්ත – පකිස්තානු ක්‍රිකට් තරගයක් අවසානයේ ටෝනි ග්‍රේග් පකිස්තානු ක්‍රීඩකයෙකු සමඟ කෙටි පිළිසඳරක යෙදෙමින් ඉංග්‍රීසියෙන් මෙසේ පවසයි.

“මේ තරග වාරය පැවැත්වෙන අතරේ ඔබේ බිරිඳට දරුවෙකු ලැබුණු බව අපට දැන ගන්නට ලැබුණා. ඒ පිළිබඳව අපි ඔබට සුබ පැතුම් පිරිනමනවා. ඔබ කැමතිද ඒ ගැන යමක් කියන්න...?”
ටෝනි ග්‍රේග්ගේ ඉංග්‍රීසිය නොතේරෙන පකිස්තානු ක්‍රීඩකයා ඔහු මෙවැනි අවස්ථාවක් සඳහා කලින් කට පාඩම් කරගෙන සිටින පිළිතුරක්ම කියාගෙන කියාගෙන යයි.
“ඔව්. ඇත්තෙන්ම එය මට සතුටක්. ඒත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මෙය අපේ කණ්ඩායම් හැඟීමේ ප්‍රතිඵලයක් බව. විශේෂයෙන්ම ආරම්භයේ සිටම සහිඩ් අෆ්රිඩී මට බොහෝ උපකාර කළා. ඉන්පසුව කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයනුත් තම ශක්ති ප්‍රමාණයෙන් උදවු වුණා. ඒ නිසා ඇත්තෙන්ම මට වැඩි වෙහෙසක් දරන්න සිද්ධ වුණේ නැහැ. ඉතාම දුෂ්කර වු මුල් ඕවරවලදී අෆ්රිඩී ලබා දුන් සහයෝගය ගැන මම ඔහුට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.”
ටෝනි ග්‍රේග්ගේ නහය මිරිස් කරලක් මෙන් රතු වු අතර, ඊට දෙසතියකට පසු පකිස්තානු ක්‍රීඩකයාගේ බිරිඳ සැමියාට එරෙහිව අපහාස නඩුවක් පැවරීම සඳහා නීතිඥයෙකු හමුවීමට ගියා ය.
මෙය විකට කතාවක් වුණත්, ඉංග්‍රීසි බැරිවීම නිසා හෝ පැටලීම නිසා ඉංග්‍රීසි කොලනිවල වෙසෙන ස්වදේශික ජනතාව විඳින උපහාස අපහාස බොහෝ ය. ඉංග්‍රීසිය දැන ගැනීම, ඉහළ සමාජයට නැඟ ගත හැකි ඉණිමගකි. ඉංග්‍රීසි කතාබහ කරන සමාජයේ දී ඉංග්‍රීසි බැරි එකා මුලු ගැන්නෙයි.
හතු පිපෙන්නාත් මෙන් ඉංග්‍රීසි සර්ලා මතුවෙන්නට පටන් ගන්නේ ද ඉංග්‍රීසි මන්දපෝෂිතයන්ට පිහිටවීම සඳහා ය.
කලකට ඉහත ‘නයිට් ස්කූල්’ ඇරඹුණේ දිවා කාලයේ රැකියාවන්හි යෙදෙන අයට වැඩිදුර ඉගෙනීම සඳහා ය. එහි වැඩිපුරම උගැන්වුණේ ඉංග්‍රීසිය. නයිට් ස්කූල් ගොස් ඉංග්‍රීසි ඉගෙන ගත් ඉහළ පෙළේ පුද්ගලයන් ගැනද දැන ගන්නට තිබෙන අතර, නයිට් ස්කූල්කාරයන් ඉංග්‍රීසි කතා කරන්නේද රාත්‍රී කාලයේ දී පමණක් බවට කෙරෙන සරදමක් ද ඇත. ශ්‍රී ලාංකික කොලනි වාසීන්ට ඉංග්‍රීසි බැරිවෙන්නට පටන් ගත්තේ, සිංහලය රාජ්‍ය භාෂාව වීමෙන් පසු ය.
56 දරුවෝ නමින් පරම්පරාවක් බිහිවන්නේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි.
සිංහලය රාජ්‍ය භාෂාව කරන්නට පුරෝගාමී වූයේ අගමැති බණ්ඩාරනායක ය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබු එතුමා, ලංකාවට ආවේ සිංහල බැරුවය. ඒ නිසා හොරගොල්ලේ පැවති පිළිගැනීමේ උත්සවයේ දී ඉංග්‍රීසියෙන් කතාවක් කළ බණ්ඩාරනායක මහතා, මවුබසින් සභාව ඇමතීමට අපහසුවීම ගැන තම කනගාටුව පළ කර සිටියේ ය. එහිදී ඔහු “මවුබස” යන්නට යොදා ගත්තේ එම අරුතම දෙන “මදර් ටන්ග්” යන ඉංග්‍රීසි යෙදුම ය. කතාව සිංහලට පරිවර්තනය කළ පුද්ගලයා ‘මදර් ටන්ග්’ යන්න තේරුම් ගත නොහැකිව “තමුන්නාන්සේලාට එතුමාගේ අම්මගේ දිවෙන් කතා කරන්නට නොහැකිවීම ගැන කනගාටුව ප්‍රකාශ කර සිටිනවා” යැයි කියු බවට කතාවක් ද වෙයි.
ඉංග්‍රීසි වචන පමණක් නොව, ඇතැම් සිංහල වචනද ඉක්මනින් ඉංග්‍රීසියට පෙරළා ගත නොහැකිව ඉංග්‍රීසි උගතුන් ද අමාරුවේ වැටෙන අවස්ථා ඇත.
දළදා මාලිගාවට පැමිණි විදේශීය සංචාරකයෙකුට මුල් ඇඳුමින් සැරසී සිටි දියවඩන නිලමේතුමා දක්නට ලැබුණි. ඔහු තම මාර්ගෝපදේශකයා දෙසට හැරී, “අර පුද්ගලයා කවුරුන්දැයි” ඉංග්‍රීසියෙන් ඇසුවේය. “දියවඩන නිලමේ” යන්නට ඉංග්‍රීසි යෙදුමක් සොයා ගන්නට බැරි වු තැන ඔහු මෙසේ කීවේ ය.
“ආ... හී ඊස් අවර් වෝටර් සප්ලයිස් ඔෆිසර්” දළදා මාලිගාවේ ජල සම්පාදන නිලධාරියා, අමුතු නිල ඇඳුමකින් සැරසී සිටින්නේ මක් නිසා දැයි සංචාරකයා කල්පනා කරන්නට ඇතුවාට සැක නැත. ඉංග්‍රීසි හුටපට ගැන කියැවෙන මෙවැනි සිනා කතා බොහෝ ය. ඉන් බොහෝවිට සරදමට ලක්වන්නේ ද, තමන්ගේ බස දෙවැනි තැනට දමාගෙන ඉංග්‍රීසි හීනමානයෙන් පෙළෙන ස්වදේශිකයෝම ය.
“මයින්ඩ් යුවර් ලැන්ග්වේජ්’ නමැති බ්‍රිතාන්‍ය රූපවාහිනි වැඩසටහන මෙරට බෙහෙවින් ජනප්‍රිය විය. ස්ටුවර්ට් ඇලන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු මෙම විකට මාලා නාටකයට තේමා වුයේ එංගලන්තයේ වැඩිහිටි අධ්‍යාපන ආයතනයකින් ඉංග්‍රීසි උගැන්මට එන විදේශීය සංක්‍රමණිකයන් කණ්ඩායමකි. ඒ අතර සිටි අලි නදීම් නමැති පකිස්ථානුවත්, රන්ජිත් සිං නමැති පංජාබියාත්, ජමිලා නමැති ඉන්දියානු ගෘහණියත් ආසියානු ප්‍රේක්ෂකයන් අතර මහත් ප්‍රසාදයට ලක්වුණි.
විවිධ ජාතීන්ගෙන් සමන්විත මේ ඉංග්‍රීසි පංතියේ ගුරුවරයා මිස්ටර් ජෙරම් බ්‍රවුන් ය. ඉතා දක්ෂ ලෙස එම චරිතය රඟපෑවේ බැරි එවන්ස් ය.
තමන් පැමිණීමට කලින් සිටි ඉංග්‍රීසි ගුරුවරයා මෙම අමුතු පංතිය හැර යන්නේ මානසික රෝගියෙකු වීමෙන් පසු බව, බ්‍රවුන් මහතාටද දැනගන්නට ලැබෙයි. එහෙත් ඔහු මෙම අභියෝගය භාර ගනී.
ඉංග්‍රීසි බැරි විවිධ ජාතීන් ඉංග්‍රීසිය උසුරුවන ආකාරයෙන් සහ වැරදියට තේරුම් ගැනීම “මයින්ඩ් යුවර් ලැන්ග්වේජ්” තුළින් හාස්‍යජනක ලෙස ඉදිරිපත් කෙරෙයි.
පසුකලෙක, මෙම වැඩසටහන අනුව යමින් ඉන්දියාව, පකිස්ථානය, අමෙරිකාව, නයිජීරියාව හා ශ්‍රී ලංකාවද (රජකඩුව) හාස්‍ය වැඩසටහන් නිපදවුහ.
‘මයින්ඩ් යුවර් ලැන්ග්වේජ්’ තුළින් ඉංග්‍රීසින් නොවන අනෙක් ජාතීන්ට අපහාසයක් සිදුවන්නේ යැයි බී.බී.සී.යට චෝදනාවක් ද නැඟුණි. ඉංග්‍රීසිය සුපිරි බසක් ලෙස ඉහළට ඔසවා තැබීමද ඉන් වක්‍රව සිදුවන්නේ යැයි ඇතැම් විචාරකයෝ පැවසුහ.
ආසියාවේ අනෙක් ජාතීන්ට වඩා තමන්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි යැයි ශ්‍රී ලාංකිකයෝ සිතති. එනිසාම තම අසල්වැසි ඉන්දියානුවාගේ ඉංග්‍රීසි උච්චාරණයට සිනාසෙති.
එහෙත්, සැබෑ තත්ත්වය නම් ශ්‍රී ලාංකිකයන්ට වඩා ඉන්දියානුවන්ට ඉංග්‍රීසිය පුළුවන් බව ය. අපේ රටේ මෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය පහතට නොදැමු නිසා ඉන්දියාවේ 56 දරුවන් නැත. ටැක්සිකාරයෝ, නාටාමියෝ පවා ඉංග්‍රීසි දනිති. ඉංග්‍රීසි භාවිත කරන රටවල් අතර ඉන්දියාව තෙවෙනි ස්ථානයේ පසුවෙයි. ඇයට ඉදිරියෙන් සිටින්නේ මහා බ්‍රිතාන්‍යයත්, අමෙරිකාවත් පමණි. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තයන්හි රාජ්‍ය භාෂාවද ඉංග්‍රීසිය.
‘ෆරන්ට් ලයින්’ නමැති ඉන්දියානු සඟරාවට තීරු ලිපියක් සපයන කේ. සචිද්‍රානන්දන් ඔක්තෝබර් 05 දා කලාපයට ලියුවේ ඉන්දියානු ඉංග්‍රීසිය ගැනය.(Indianising English) ඉන්දියානුවෝ තමන්ට ඕනෑ විදිහට ඉංග්‍රීසිය උණුකර නවාගෙන වැඩ ගනිති. අනන්තමුර්ති, රාජාරාවෝ, මුල්ක් රාජ් ආනන්ද, නාරායන් ආදීන්ගේ සිට අරුන්දති රෝයි හා සල්මන් රුෂ්ඩි දක්වාම වන මහා ලේඛක පරම්පරාවක් ඉන්දියානු ඉංග්‍රිසියෙන් සාහිත්‍යකරණයෙහි යෙදෙති. ඔවුහු නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලබති.
ඉංග්‍රීසි හීනමානයෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයා, ‘කඩුව’ ඉදිරියේ දණ ගසා එය පුදයි. ‘කඩුව‘ ඉදිරියේ තොලකට වේලී පීචාන් වෙයි. ඒ යටත් විජිත මානසිකත්වයේ ප්‍රතිඵලයයි.
සල්මන් රුෂ්ඩිගේ The Moor's Last sigh හි මෙබඳු කියමනක් දක්නට ලැබෙයි. Only English Brings us together අප එකමුතු කළ හැක්කේ ඉංග්‍රීසියට පමණි.
kapilakalinga@gmail.com

No comments:

Post a Comment