10/12/2012

බල්ලො නොකන හෝටල් කෑම



ටොම්සන්ට දැන් හොල්මන් ය. ඊ ළඟට වෙන්ඩ යන්නේ මොනවාද කියා තේරුම් බේරුම් කර ගන්නටත් ඌට බැරි ය. ආපහු ගමට යන්ඩ පාර මතකත් නැත. ඒ වුණත් නන්නාඳුනන සිදාදියක හිතුමතේ ඇවිදින්නටත් බය ය. මොන මොන විදිහේ ජාතික ක්‍රීඩාවන්ට මුණ දෙන්ඩ වෙයි ද කියලා දන්නේ කවු ද?

දැන් ඉර බැහැලා ය. සමහරු හිතන්නේ ගමට ඉර බහිනවාට වඩා වෙන විදියකට නගරෙට ඉර බහින බව ය. ඒත් ටොම්සන්ට නම් තාමත් ඒ ගැන වෙනසක් නැති තරම් ය. ටොම්සන් පාර අයිනෙන් යන්ඩ පටන් ගත්තේ වී. අයි. පී. මෙන්ටොරෝවලට බයේ මිසක් හැප්පෙනවාට බයේ නොවේ ය. අල්ලා ගෙන කාරෙකට දා ගෙන යයි කියලා බයට ය. තඩි කාර්වල යන තඩි ගෑනු උදවිය තමන්ගෙ මනුස්සයා වෙනුවට බල්ලෙක් ඉන්දවා ගෙන යන්ඩ බොහොම කැමති විත්තිය ක්ලාක් මහත්තයා දවසක් දා කියාපු වග ටොම්සන්ට මතක් වුණේ ය. හයියෙන් දුවන්න පාර දන්නේ නැත. හිමින් ගිහිල්ලා පුරුද්දක් ද නැත.
දිග කෝටුවක් අතින් අරන් එන බයිසිකල් කාරයෙක් දැකලා ටොම්සන් නැවතුණේ ය. කෙක්කක් අරන් ගියාට ගෙඩි කඩන්නට පාර අයිනේ ගස් නැති විත්තිය දැකලා ටොම්සන්ට හිනා ය. පාර අයිනේ තියෙන කණුවකින් ගෙඩි කඩන්නට කෝටුව දික් කරන හැටි දැකලා ටොම්සන්ට තවත් හිනා ය.
” ... රෑට ඉර පායනවා වාගේ මේ කොහේ ද මේ එළියක්? ...”
ටොම්සන් හොඳට ඇස් පිහ දමා බැලුවේ කණුව දිහා ය. කණුව මුදුනේ හඳ පායලා ය.
”... මේක නං බලන්ඩ වටින වැඩක් ... ගමේ දි නං හඳ තිබුණේ අහසේ ඈතින් ... මෙහේ හඳ කණුවක එල්ලිලා ... ටොම්සන්ට එක පාර ම බු බැ ...” කියා කියැවුණේ ගමේ පුරුද්දට ය. එතකොට ම මෙන්න බොලේ” ඊ ළඟ කණුවෙත් හඳක් පායලා ය. එකයි. දෙකයි. තුනයි. ගණන් කරන්ඩත් බැරි තරම් දේවල් ය. මේක කොහොම වෙනවාද කියලා හිතා ගන්ඩ බැරි විදිහට ටොම්සන් ගේ ඔළුව හොල්මන් වුණේ ය. සමහරු හිතන්නේ බල්ලන්ට ඔළුවක් නැත කියා ය. සමහර ඔළුව තියෙන අය බල්ලෝ ගාන ය. ටොම්සන්ට ඔළුවක් තියෙන වග හරියට තේරුණේ පෙට්ටි කඩය අස්සේ රහස් අහන්නට ගිය වේලේ ය.
”... ගමේ දී එක හඳකට බුරාපු මං දැන් හඳවල් කීයකට බුරන්ඩ ද?” කියලා ටොම්සන් තමන්ට ම කියා ගත්තේ ය.
”... මේක නං හරි යන සෙල්ලමක් නෙවෙයි ...”
ටොම්සන් කණු දෙක අතරින් බැලුවේ, තාරකා පායා ගෙන එන අහස දිහා ය.
”... මෙන්න බොලේ තවත් හඳක් අහසේ පායා ගෙන එනවා ය. හරි ඒක නං ගමේ දී දැක්ක හඳ ම තමයි ...”
ඒ පැත්තට මේ පැත්තට ඇඹරිලා ටොම්සන් වටපිට බැලුවේ පොඩි අමුත්තක් දැනිලා ය. අමුතු සයිස් එකේ බැල්මක් දා ගත්තු බල්ලෝ හතර දෙනෙක් හතර පැත්තෙන් ඉඳන් ටොම්සන් දිහා බලා ගෙන ය. මේක නං ටොම්සන් හඳ බලද්දී වෙච්චි වැඩක් ය.
”... බු ... බැ ... බි ... බෑ ...”
මේක තමන්ගේ වැයික්කිය නොවෙන විත්තිය ටොම්සන්ට මතක් වුණේ ඉබේට ම ය. සටන් ප්‍රකාශ කිරීමෙන් දැන් ඉතින් කිසිම වැඩක් නැත. නගුට පහළට දාලා යටත් වීමේ පළමු සංඥාව නිකුත් වුණා. වෙලාව හොඳ නෑ. ෂේප් න්‍යායෙන් මාරු වෙන එක ශරීර සෞඛ්‍යයට හොඳයි. ටොම්සන් බිම බලාගෙන හොරෙන් හතර අත බලන ගමන් එක කකුලක් ඉස්සුවේ සටන් උපක්‍රමයක් වශයෙන් පසු බසින්නට ය.
”... නැවතියාං ... තව එක අඩියක් ඉස්සුවොත් වලිගෙ කෙළින් වෙන්න වෙඩි තියනවා ...”
”... මේක නං අලුත් සෙල්ලමක් වගේ ය. මුං කොහොම ද වෙඩි තියන්නේ ...?”
උස්සපු කකුල ආපහු බිම තියාපු ටොම්සන් හතර අත බැලුවේ මුං එන්ඩ හදන්නේ මොකාට ද? කියලා දැන ගන්ඩ ය. බල්ලො හතර දෙනා ම ඉස්සරහ කකුලක් උස්ස ගෙන බට කෑලි හතරකුත් දික් කරගෙන. අනිත් කකුල් තුනෙන් යස අගේට ඉස්සරට එනවා ය. කොච්චර බය හිතුණත් ටොම්සන් බලා සිටියේ මේ සෙල්ලම දිහා ය. දැන් ඉතින් පැනල යන්ඩ අතක් නෑ. අත පය තුවාල කරගන්නවට වඩා හොඳයි, යටත් වෙන එක. ටොම්සන් බොහොම බය පස්සපාත විදිහට හොම්බ පහළට හරවා ගෙන ඉඳ ගත්තේ පස්ස ගාතෙන් ය.
බල්ලට බල්ලා එකතු වෙනව මිසක් වෙන ක්‍රමයක් නැති විත්තිය ටොම්සන්ට වැටහුණේ ය. ගමේ බල්ලා මොකද? නගරෙ බල්ලා මොකද? ඔක්කොම බල්ලොනෙ. රාජ්‍ය භාෂාවකින් හරි වෙන භාෂාවකින් හරි කතා කරන්ඩ හැදුවට බලු කම යන්නේ නෑ නෙව. මුන්ට එකතු වෙලා මං ටවුමෙ ඉන්න ඕනෑ කියලා ටොම්සන් හිතා ගත්තේය.
පස්ස ගාතෙන් ඉඳගෙන හිටි ටොමිසන් ළඟට සිදාදියේ බලු හමුදාව කිට්ටු කළේ ය. ටොම්සන් බොහොම යටහත් පහත් විදියට විරිත්තලා හිනා වුණේ ය. බල්ලෝ හතර දෙනා ම ටොම්සන් වටේට දෙවරක් ගොස් ඉව අල්ලා විරිත්තූහ.
“...කොහෙද මේ යන්නේ..අපි මීට කලින් දැකලා නෑ..”
“...මං මේ ගමේ ඉඳලා ආවේ..මං බොහොම අහිංසකයි..කාත් එක්කවත් රණ්ඩු කරන්නේ නෑ”
“....ඒක හොඳයි....ඒත් බල්ලෙක් වුණොත් රණ්ඩු කරන්ඩත් ඕනෑ. නැතිනන් ඌ බල්ලෙක් නෙවෙයි....මොකක්ද නම?”
“...ටොම්සන්..”
“...බැ බැ බැ ඒක හොඳයි. එහෙනං අපට උදව් පදව් කර ගෙන, අපට ආවතේව කරගෙන මෙහෙ ඉන්ඩ පුළුවන්...දැන් රෑට කාල ද?”
“....තාම නෑ..කන්ඩ දෙයක් හොයා ගන්ඩ තමයි හිතුවේ...”
“....හරි එහෙනං අපිත් එක්ක යං.....අපි කියල දෙන්නං නගරේ කෑම හොයා ගන්නේ කොහොමද කියලා...නගරේ හුඟාක් මිනිස්සු ගෑනු කෑම ගන්නේත් බල්ලෝ වගේ තමයි. හෝටල්වලින් දෙන ඕනැ ජරාවක් කනවා. අපි ඒ අතින් හොඳයි. සමහර හෝටල්වල උයන කෑම ජාති බල්ලන්ටවත් කන්ඩ බෑ. ඒත් ඒවා මෙහේ මිනිස්සු ගෑනු කනවා. ඒ හින්දා අපි නගරෙං කෑම ගන්න කොට පරිස්සම් වෙන්ඩ ඕනෑ. එහෙනං යමු අපිත් එක්ක.....”
ටොම්සන් බොහොම අහිංසක විදිහට හිනා වෙලා නගුටත් වන වනා බලු රංචුව එක්ක යන්ඩ පටන් ගත්තා.
(ලබන සතියේ තවත් කොටසක්)

No comments:

Post a Comment