10/26/2012

බල්ලොත් ‍ගෝල්පේස් ඇවිත්



ටොම්සන් කොළඹ යාළුවන්ගේ රංචුවට එකතු වී සිටියේ ආරක්ෂාවට ය. රංචුවක් හැටියට හිටියේ නැතිනම් කන්ඩ දෙයක් හොයා ගන්ඩත් බැරි ය. ඒත් කොළඹ යාළුවන්ගේ රංචුවට ටොම්සන් ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැත.

ඉස්සර ක්ලාක් මහත්තයා නිතරම කියූ දෙයක් නම් කොළඹ ඉන්න බල්ලෙක්වත් විස්සාස කරන්ඩ එපා කියලා ය. කොළඹ ඉන්න බල්ලෝ ඒ තරම් භයානක ය. ඒ නිසා කොළඹ බල්ලෙක් වෙලා ඉන්න එක ගැන නම් ටොම්සන් සිටියේ බොහොම කනස්සල්ලෙනි. කොහොම හරි මිනිහෙක් බවට පත් වුණොත්, එහෙම වුණොත් ක්ලාක් මහත්තයා වගේ වත් ඉන්න පුළුවන් අඩුගණනේ. ටොම්සන් පාරේ යන එන මිනිස්සු ගැහැනු දිහා බලා හිටියේ ඔවුන් හොඳ හැටි අධ්‍යයනය කරමිනි.
“.......අනේ අම්මේ, මේ බල්ලා මා දිහා බලා ගෙන ඉන්නේ මාව කන්ඩ වගේ....” කියා ගෙන පාරේ ගිය දැරියක් එක් වර ම කෑ ගැසුවා ය. ටොම්සන් වේගෙන් රිවස් පාරක් දා ගෙන යන්තම් බේරුණේ ය. ගමේ වගේ නෙවෙයි කොළඹ දී බල්ලන්ට කිසිම ආරස්සාවක් නැති බව කියා දුන්නේ කොළඹ යාළුවන්ගේ රංචුවයි.
දවසක් දා රාත්තිරියේ ටොම්සන් නිදා ගන්ඩ තැනක් නැතුව හැම තැනම ඇවිද්දේ ය. එදා මොකක්දෝ වෙනසක් කොළඹ නගරය පුරා දකින්නට ලැබුණේ ය. සෙනඟ සූ ගාලා පිරිලා ය. මහ ඝෝෂා නගමින් නගරය පුරා යන තරුණ පිරිස අතරේ ටොම්සන්ට කිසිම තැනක් ලැබුණේ නැත. කොඩි වනමින්, කෑ ගසමින් වාහනවල නැගී තරුණ පිරිස යන්නේ එකම දිසාවකට වග ටොම්සන්ට තේරුණේ ය.
“ගිය වාරෙත් අපි දුන්න බැටේ..මේ වාරෙත් අපි දෙනව බැටේ...” කියා තරුණ පිරිස කෑ ගැසුවෝ ය. බැලින්නම් මේ මොකක්ද ? විස්සයි විස්සේ ක්‍රිකට් මැච් එක ය. සෙනඟ ඇදී ගෙන යන පැත්තට ටොම්සන් ද සෙමින් දුව ගියේ ය. අන්තිමට දැක්කේ මහා සෙනඟක් පිරිලා හිටිය මහා විශාල පිිට්ටනියකි. ඒකේ එක පැත්තක මහා වතුර වළකි. ඒකේ රළ පාර මහා සැර ය. ටොම්සන් ද වතුර වලේ අද්දරින් ඇවිදිමින් මහා සෙනඟ අස්සෙන් බලා සිටියේ පිට්ටනිය මැද්දේ එල්ලා තිබූ මහා විශාල තිරය දිහා ය. ඒක අහසේ තියෙන පිට්ටනියක් වාගේ ය. ඒ පිට්ටනියේ කොල්ලෝ පිරිසක් බෝල ගසති. පිට්ටනියේ එක් රොක් වී කමින් බොමින් සිටි තරුණ පිරිස හුරේ දමති. ටොම්සන්ට කර ගන්නට දෙයක් නැත. ඌ අහස දෙස බලා ගෙන උඩු බුරලන්නට පටන් ගත්තේ ය.
“මෙන්න බොලේ බල්ලොත් ගෝල්පේස් ඇවිල්ලා, ක්‍රිකට් බලන්ඩ” යැයි කවුදෝ නොසණ්ඩාලයෙක් කියනවා ඇසී ටොම්සන් උඩු බුරලෑම නවතා ඒ දෙස බැලුවේ ය. බැලින්නම් බොලේ පොලිස් රාලහාමි කෙනෙකි. පොලිස් රාළහාමි පොලිස් පොල්ලත් දික් කර ගෙන දුව ගෙන ආවේ ටොම්සන්ට මතක හිටින්න පාරක් දෙන්නට ය. ටොම්සන් පළමු සංඥාවෙන් ම දුවන්නට පටන් ගත්තේ ය.
“... අනේ ඇත්තට බල්ලෙක් වෙලා ඉන්න එක කොච්චර දුකක් ද? මේ මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නෑනේ. අහු වුණ ගමන් මොකක් හරි එකකින් දමලා ගහන්ඩ තමයි හදන්නේ....” කියා ටොම්සන් හෝටලයක් ඉදිරිපිට තිබූ මල්පෝච්චියක් අස්සේ ආරක්ෂිත ස්ථානයක් සොයා ගත්තේ ය.
“...කොහොම හරි මිනිහෙක් වෙන්ඩ ඕනෑ....අනේ දෙවියනේ මාව මිනිහෙක් කරන්ඩ....මිනිස්සු බල්ලො වගේ වැඩ කරන රටේ බල්ලෙක් මිනිහෙක් වුණා ම මොක ද වෙන්නේ... අනේ දෙවියනේ මාව මිනිහෙක් කරන්ඩ....” කියා ටොම්සන් මල් පෝච්චිය අස්සේ වැතිරී ගෙන කෙඳිරි ගාන්නට පටන් ගත්තේ ය.
ටිකක් වෙලා යනකොට කවුදෝ කපටි සූට් මහත්තයෙක් මල් පෝච්චිය ළඟ හිට ගෙන සිටින බව ටොම්සන් දැක්කේ ය. ටොම්සන් බය වුණේ පොලු පාරක් වැදෙයි කියලා ය. ඒත් එහෙම වුණේ නැත. මල් පෝච්චිය ළඟ හිටිය කපටි සූට් මහත්තයා හෙමින් කතා කළේ ය.
“...ටොම්සන්... මට ඇහුණා උඹ කියාපු දේ. උඹට මිනිහෙක් වෙන්ඩ ඕනෑ ද?” කියලා කපටි සූට් මහත්තයා ඇසුවේ ය. ටොම්සන් හිස උස්සා බැලුවේ මේ මොකක් ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව ය.
... ඇයි මොක ද මා දිහා පුදුමෙන් වගේ බලන්නේ... මං උඹේ ගමේ හිටපු ජිමි... මං ඒ කාලේ ගමෙන් පැනලා ආවා මතක ද? නෑ සමහර විට මතක නැතුව ඇති. දැන් මං ජිමී නෙවෙයි. ජේම්ස්... උඹත් කැමති නම් මිනිහෙක් වෙන්ඩ මං කියා දෙන්නං.
...අනේ තමුන්නැහේ ගැන මට නම් මතකයක් නැතුවා... ඒ වුණත් මට මිනිහෙක් වෙන්ඩ පුළුවන්නං පූරුවෙ වාසනාවක්...
...ඒක මං දන්නේ නෑ... මිනිහෙක් වෙන එක පූරුවෙ වාසනාවක් ද? පූරුවෙ අවාසනාවක් ද? කියලා. මෙහේ හුඟක් මිනිස්සු මහත්තුරු වගේ හිටියට කරන්නේ බලු වැඩ.. ඒ අතින් බල්ලෙක් වෙලා ඉන්න එක හොඳයි...
...අනේ ජේම්ස් මහත්තයා...මාව මිනිහෙක් කරන්ඩ...මං ආසයි මේ බලු ආත්මෙන් ගැලවිලා හොඳ මිනිහෙක් වෙන්ඩ.. කියලා ටොම්සන් යාප්පු වුණේ ය.
(තව කොටසක් ලබන සතියේ..)
bandulapdaya@hotmail.com

No comments:

Post a Comment