10/12/2012

මහත් තුරු



හීන් සීරුවේ ඇද වැටෙන්න ගත්ත වැස්ස එකපාරට ම මහ වැස්සක් වෙලා දෙගොඩ තලා යන්න අරන්. සරසවි බිම පුරා එහෙ මෙහෙ ඇවිද ගිය කුරුල්ලන් තැන් තැන්වල රොක් වෙලා. පාට පාට කුඩ යටට වෙලා කඩිමුඩියේ යන එන අයත් වැස්සෙන් බේරෙන්න හිතං හීතල බෙදා ගනිමින් මුවාවෙන්න තැනක් හෙව්වා. බලූ පැටව් සීතලට ගුලිවෙලා. 

මල්පෙති බිම විසිරිලා. මේ ගෙන්දගම් පොළොවේ අව් රස්නෙට පිච්චුණු හිත් වැස්සෙන් හේදෙන්න අරන්. හැමෝම හිටියෙ වැස්ස දිහා බලාගෙන. හිනාවෙන, කතා කරන, රණ්ඩු වෙන සද්ද වැහිපොද වැටෙන සද්ද අස්සෙන් ඇහෙනවා. මොන දේ කළත් වැස්ස තුරල් කරපු ගමන් ම ආපහු යන්න හිතං හිටිය ගමන ආරම්භ කරන්න හිත හිතා හැමෝම සැරින් සැරේ වැස්ස දිහා බැලූවා.
වික්‍රම හිටියෙත් වැස්ස දිහා බලාගෙන. ඕපන් කැන්ටින් එකේ ඉඳන් කස ගස් යාය තෙමාගෙන එක සීරුවට ඇද වැටෙන වැහි බිංදු ගණන් කරමින්. අනෝරා වැස්සකට අහුවෙලා හතර අතට ඇඹරුණත් බිම ඇද වැටෙන්නේ නැතිව කෙලින් ඉන්න කස ගස් දිහා බලාගෙන. කරන්න ලොකු වැඩක් තිබුණෙ නෑ. යාළුවොත් ළඟ පාතක නෑ. කෑ ගහන, හිනාවෙන, සිංදු කියන සද්ද මැද්දෙ වික්‍රම නිසොල්මන් වෙලා ඉන්න හැටි සුනාරි දැක්කා. සරසවියට ආපු ගමන වික්‍රමට අහම්බයක් වගේ. ජීවිතේ ඒ තරම්ම අගහිඟවලින් පිරිලා. කොහොම හරි හොඳට ඉගෙන ගන්න ඕනි. ගෙදර අයගෙ බලාපොරොත්තුව ඔහු. ඒ හින්දා ජීවිතෙත් එක්ක යුද්ධ කරන්න සිද්ද වුණා.
අනුරාධපුරයෙනුත් එහා ඈත පිටිසර ගමක ඉඳලා ආපු වික්‍රමට අම්මලා අප්පච්චිලා පොළොව එක්ක හැප්පිලා හම්බ කරන සල්ලි ඉල්ලන්න හිතේ දහිරියක් තිබුණේ නෑ. ඉගෙන ගන්න අතරෙ රස්සාවක් කරන්න ඕනෙ කියලා ඔහුට හිතුණෙ ඒකයි. දේශනවලට බාධාවක් වෙන්නෙ නැති රස්සාවක් හෙව්වේ උපාධිය ජීවිතේ හීනයක් වෙච්ච හින්දා. උදේ වරුව දේශනවලට ඉතිරි කරලා, හෝටලයක රස්සාවක් හොයාගත්තේ හරිම අමාරුවෙන්. කැෂියර් කෙනෙක් විදියට රස්සාව ලැබුණු එකට වික්‍රම හිටියෙ සතුටෙන්. ඒ සතුට හිතට ඇවිත් මහ කාලයක් ගියෙ නෑ. පෙරුම් පුරලා පුරලා ඉස්සරහට තිබ්බ අඩිය ආපහු ගන්න වුණේ ඇයි කියලා ඔහුට ම පුදුම හිතුණා. තාමත් හිතේ තැවරෙන්නේ වෙල් ඉපනැල්ල පිසගෙන එන ගමේ සුවඳම යි. වික්‍රමට හීල්ලූණා.
‘ඇයි මොකද වුණේ’
සුනාරි ඇහුවේ හුඟාක් වෙලා බලාගෙන ඉඳලා බැරිම තැන. ඔහුගේ නිහඬ බව දරන්න ම බැරිවුණාට පස්සේ. මෙච්චර සද්ද බද්ද අස්සෙත් ඔහු හිටියෙ කාත් කවුරුවත් නෑ වගේ.
‘කරන්න දෙයක් නෑ. ඒ හෝටල් ජීවිතේ දරාගන්න පුළුවන් කමක් මට තිබුණෙ නෑ.’
උත්තරයක් ලැබෙයි කියලා සුනාරි හිතුවෙ නෑ. ඒත් ඔහු උත්තර දුන්නා.
‘ඇයි?’
‘විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හැමදේම කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මං දන්නවා. ඒත් අපි ළඟ තාම ගමේකම, ගමේ ජීවිතය තියෙනවා. රෑ හෝටලේ සිද්ධ වෙන දේවල් දැක දැක හිතට එකඟව එතන ඉන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ. සල්ලි නං ඇතිවෙන්න හම්බ වෙනවා. ඒත් සල්ලි කියන්නෙ මුළු ජීවිතේ ම නෙමෙයි.’
සුනාරිට පුදුම හිතුණා. හැමදේටම මිලක් නියම වෙච්ච ලෝකෙක මිල දී ගන්න බැරි දේවල් තාමත් තියෙනවා.
වැස්ස තුරල් කරලා. එකා දෙන්නා හෙමින් හෙමින් පොද වැස්ස අතරින් දිව යනවා. ඒ අතරට වික්‍රමත් එකතු වුණා. පොද වැස්සේ බොඳවෙලා යන ඔහුගේ රූපය දකිද්දී ඈට රජරට විශ්වවිද්‍යාලයේ මාලන් බණ්ඩාර කපුවත්ත ලියූ ‘දෙපස වෙනස’ කවි පංතිය මතක් වුණා. සුනාරිට වික්‍රම ගැන ඇති වුණේ ආදරණීය හැඟීමක්. ඒ හැඟීම ඇගේ හිත දයාවෙන් පිරෙව්වා.
‘දෙපස වෙනස’
ඝන වියන - පලා පියා
ගගනත - තරණයට
කැස කවන - කෙසඟ තුරු
ලදමුත් -ඉඩ හසර
නොම ගොස් - ඉහළ මහලට
පහළතම හිඳගෙන
පළල් ව පැතිර යන
මහත් තුරු

No comments:

Post a Comment