ඒ පන්ති කාමරය එක ම අළු ගොඩක් බවට පත් ව තිබිණ. අම්මලා හිසේ අත් බැඳගෙන කෑ ගැසූහ; හැඬූහ.
“මේ මගේ පුතා ගේ අළු” යි කීමට කිසිවකුට නොහැකි විය. ළමයින් සියලු දෙනා ගේ ම අළු එක සමාන විය. පන්තියේ මේස පුටු ද අළු වී ගොස් ය. ඒ අළුත් දරුවන්ගේ අළුත් එකක් ම ය.
සුළඟක් හැමුවේ ය. පාසල් වත්තට ගසා ගෙන ගිය අළු බිමට වැටිණ. ඒවා පසට එක් විය. අළු පසේ පැහැය ගති.
අළු - පඨවි
“මගේ පුතා ගේ ශරීරයේ තිබුණු පඨවි ධාතුවත්, මේස පුටුවල තිබුණු පඨවි ධාතුවත් දැන්මහ පොළොවේ පඨවි ධාතුව සමඟ එකතු වෙලා” එක් අම්මා කෙනකුට සිතිණ.
“මගේ ශරීරයේ ඇති පඨවි ධාතුවත්, යම් දවසක මේ මහ පොළොවේ පඨවි ධාතුව සමග එකතු වේවි. දැනටමත් මා කපා දමන නිය පොතු ගැළවී වැටෙන මගේ කෙස් ගස් පඨවි ධාතුවට එකතු වෙලා.
සතා සීපාවුන්ගේ ගස් වැල්වල තියෙන පඨවි ධාතුවත් පසට එකතු වෙනවා. කිසි වෙනසක් නැහැ සමානයි.
මිනිසාය, ගැහැනියය, ළමයාය, කුකුළාය, බල්ලාය, තල් ගසය, පොල් ගසය, තුත්තිරි ගසය කියලා වෙනසක් නැහැ.
ඒ හැම තැනම තියෙන පඨවි ධාතුව පොළොවට පස් වෙනවා. ඒ අම්මා පාසලේ පඩි පෙළ මත හිඳගෙන දෑස පියා ගත්තා ය. දැන් ඒ ඇස්වල කඳුළු නැත.
“මගේ පුතා පොළොවේ පස්වලට එකතු වුණා. පස් කියන්නේ පඨවි ධාතුව. පුතාගේ ශරීරයේ තිබුණු පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට එකතු වුණා. ශරීරයේ පැවතුණේ පඨවි ධාතුව පමණක්ද? නැත, ඔහුගේ දෑසින් ගැලූ කඳුළු, නාසයෙන් වැටුණු සොටු, කටින් ගැලූ කෙළ, සිරුරෙන් ගැලූ දහදිය, මුත්‍රා, සිරුර තුළ ගමන් කළ ලේ, පිත, සෙම, ඕජස් ආදි දියර ද ඇයට සිහි විය. ඒවා ආපෝ ධාතුවයි. සිරුර ගිනි ගන්නා විට ඒ දියර ගතිය හෙවත් ආපෝ ධාතුව වාෂ්ප වී ඉහළට ගියා. ඒවා පසුව ජලයට එකතු වී ජලාශවල පාවෙනවා. සිරුර තුළ වූ ආපෝ ධාතුව බාහිර ලෝකයේ ළිං, ගංගා, වැව්, ඇළ, දොළ, ආදියේ ඇති ආපෝ ධාතුවට එකතු වුණා.
ඇයට පුතුගේ මුදු මොළොක් සිරුර සිහි විය. එය විටෙක සිහිල් ය. විටෙක උණුසුම් ය. ඔහු හෙළූ සුසුම් ද උණුසුම් ය. ඔහුගේ සිරුරේ වූ උණුසුම සහ සිසිල හෙවත් තේජෝ ධාතුව ඔහුගේ සිරුර ගිනි ගෙන දැවෙන විට බාහිර ලෝකයේ තේජෝ ධාතුවට එකතු වුණා. ශරීරයේ වූ තේජෝ ධාතුවම බාහිර ලෝකයේ තේජෝ ධාතුවට එකතු වෙලා.
ඇයට පුතුගේ උස් පහත් වන පපුව සිහි විය. පුතා හොඳටම අසනීප වූ දවසක ඈ ඔහුගේ පපුවට කන තබා බැලුවා ය. එහි ස්පන්දනය මට දැනුණා. පපුවේ පිරුණු ආශ්වාස ප්‍රශ්වාස වාතය මෙන් ම ශරීරය පුරා වාතය පැතිරී පවතිනවා. පුතුගේ ශරීරය ගිනි ගන්නවාත් සමග ම සිරුරේ වූ වාතය බාහිර ලෝකයේ වූ වාතයට එකතු වුණා. වාතය සැලෙන බව කියන්නේ වායෝ ධාතුව සිරුර තුළ වායෝ ධාතුව බාහිර වායෝ ධාතුවට එකතු වෙලා.
පුතුගේ සිරුරේ වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ධාතූන් බාහිර ලෝකයේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුන්ට එකතු වෙලා.
පුතා හැදුණේ ඒ ධාතුන් හතර එකතු වෙලා. ඔහුගේ මරණයෙන් පසු ඒ ධාතුන් වෙන් වෙලා බාහිර පරිසරයට එකතු වුණා. මගේ මේ ශරීරයත් එහෙමයි. කවදාහරි මගේ ශරීරයේ ඇති ධාතු හතර වර්ගය බාහිර ලෝකයේ ධාතු හතරට එකතු වෙනවා. ඒවා මම ය, මගේ ය කීමෙන් පලක් නැහැ. මේ ශරීරය මගේ ය මම ය මේ ශරීරය මගේ ආත්මයය කීමෙන් පලක් නැහැ. මේ ශරීරය ධාතුන් හතරක් පමණයි. ඒවා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ.’
හිඳ සිටි පඩියෙන් නැඟිට පාසල දෙස බැලූ අම්මාට තාමත් හඬා වැටෙන අනෙක් අම්මලා පෙනිණ. ඇය පාසල් වත්තෙන් පිටතට ගියා ය. පාරේ නතර වී යළි පාසල දෙස බැලුවා ය.
“මගේ පුතේ මගේ දුවේ” අම්මලා ගේ හඬ ඇයට ඇසිණ.
ඒ කිසිවක් මාගේ නොවේ, මට නොවේ, මගේ ආත්මය නොවේ....
denagamamg@yahoo.com
No comments:
Post a Comment