සරසවිය ඉදිරියෙන් එක වර්ගයේ රථ වාහන ඇදී යන්නේ හරියට පෙරහරක් වගෙයි. මායිමේ හිටවලා තියෙන ගස්වල පිපුණු මල් පාවෙලා ඒ වාහනත් එක්ක ගමනේ යනවා. සමහරක් මල් හිතක්, පපුවක් නැති වාහනවලට යටවෙලා මිය ඇදෙනවා.
තැලිලා පොඩිවෙලා මැලවෙලා යනවා. තමන්ගේ වාහනේට යටවෙන සතෙක්, සීපාවෙක් තියා මිනිහෙක් ගැනවත් හොයන්නේ නැති සමාජයක තැලිලා පොඩිවෙලා යන මල් දිහා බලන්න කාටද ඉස්පාසුවක් තියෙන්නේ.
ගහේ තිබියදී ලස්සන පිරිලා ඉතිරිලා, නෙලා ගන්න ලෝබ හිතන තරමට ම සුන්දර වුණු මල්, වාහනවලට යටවෙලා චප්ප වෙලා තියෙන කොට කවුරුවත් ම බැලූවේ නෑ. මල් පාවඩය දිහා මල්ලිකා බලං හිටියේ ශෝකයෙන්. දෝතින් දෝත අරන් හැමෝගෙම පයට පෑගෙන මල් අයින් කරන්න තරම් ඇගේ හිත දුකින් පිරිලයි තිබුණේ. කොච්චර අයින් කළත් රෑනේ පාවෙවී යන එන වාහන එක්ක හරි හරියට ඇදී යන මල් දැක්කහම ඇගේ හිතට ආවේ තරහක්.
වෙනදට ඉඳිකට්ටයි නූලයි වගේ ඉන්න යාළුවා නැති ව මල් ඇහිඳ ඇහිඳ තනියම ඉන්න මල්ලිකා දැක්කම සුනාරිට පුදුම හිතුණා.
‘මොකෝ තනියම. කෝ යාළුවා?’
සුනාරි එහෙම ඇහුවහම මල්ලිකාගේ ඇස් දෙකේ කඳුළු පිරුණා.
‘තමරා ගෙදර ගියා.’ ඈ කිව්වේ ලේන්සුවෙන් ඇහැ පොඩි කර කර.
මල්ලිකාගේ හොඳම යාළුවා තමරා. සරසවියට එනකොටත් තමරාව එයාගේ මස්සිනාට තීන්දු වෙලයි තිබුණේ. ඒත් අපේ බැච් එකේ ජයන්ත හිටියේ තමරා ගැන බලාපොරොත්තුවෙන්.
‘ටිකෙන් ටික තමරායි ජයන්තයි ළං වෙනකොට මං දන්න විදිහට එයාට කිව්වා ඕක දුරදිග ගෙනියන්න එපා කියලා.’
‘ඒත් මල්ලිකා, ජයන්ත නරක ළමයෙක් නෙමෙයි නේ. අනික ඒ දෙන්නගේ එහෙම සම්බන්ධයක් තිබුණෙත් නෑනේ.’
‘ඒත් සුනාරි තමරාගේ මස්සිනා ටිකක් එක විදිහක කෙනෙක්. එයා මේ ළමයා කැම්පස් එනවටවත් කැමති වෙලා නෑ. අම්මලාට නො සෑහෙන්න පිංසෙණ්ඩු වෙලයි තමරා කැම්පස් ඇවිත් තියෙන්නේ.’
’ඉතිං මොකද වුණේ?’
‘එක දවසක් හදිසියේ ම මේ අයියා කැම්පස් එකට ආවා. එතකොට තමරායි මමයි කැන්ටින් එකේ හිටියේ. ජයන්තත් හිටියා. ඒකත් වෙලාව. මම සල්ලි දෙන්න කවුන්ටරේ ගාවට ගිය වෙලේමයි අයියා කැන්ටින් එකට ආවේ. තමරා අයියා ළඟට එනකංම දැකලා නෑ. එයා තමරා ළඟට ඇවිත් ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා. තමරා හොඳටම බය වෙලා. මොනව කියන්නද? එතකොටත් හොඳටම හවස් වෙලා.’
‘අයියා ජයන්තට කෑගැහුවද?
‘නෑ. වචනයක්වත් කිව්වේ නෑ. අඩුම තරමේ ජයන්ත දිහා බැලූවෙවත් නෑ. තමරා ගෙදර ගියා.’
‘කවුරුහරි ජයන්ත ගැන මොකුත් කියලද?’
‘නෑ. එයා හැමදාමත් ඉඳලා තියෙන්නේ තමරා ගැන සැකෙන්. ඒකයි කැම්පස් එනවටත් කැමති වෙලා නැත්තේ. තමරාට ඒ ජීවිතේ එපා වෙලයි තිබිලා තියෙන්නේ. එයාට ඕන වුණේ හිතට සහනයක්. ජයන්තත් ඒක දන්නවා. ජයන්තයි තමරායි අතර කවදාවත් ම පේ‍්‍රම සම්බන්ධයක් තිබුණේ නෑ. මොනවා වුණත් තමරාට ඕන වුණේ නෑ එයාගේ මස්සිනා ව අමතක කරලා තමන්ගේ පවුලේ අයට පිටුපාන්න.’ මල්ලිකා දිග සුසුමක් හෙළලා සුනාරි දිහා බැලූවා.
‘තමරා ආයේ කවදාවත් ම කැම්පස් එන්නේ නෑ’ මල්ලිකා බිම වැටුණු මලක් පයට පෑගෙන්නේ නැතිවෙන්න සිමෙන්ති බංකුව උඩින් තිබ්බා. සුනාරිට මතක් වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ලියූ ‘ඒ මිතුරියට’ කවි පංතිය. සරසවියේ මිතුරු සුවඳ සුළගේ පාවෙලා එන හැම මලක ම තැවරිලා තියෙනවා කියලයි සුනාරිට හිතුණේ.
කවක් ගැබ වැද වදන් විළිලයි සිර වෙවී
ඇසක් රතු වෙත වෙරළු මල් හිත දිය නො වී
මලක් යැයි පෙම් බැන්ද කටුවට වස'ග වී
රළක් නොනගන සයුර ඉහිනා හිතවතී
ඇසක් රතු වෙත වෙරළු මල් හිත දිය නො වී
මලක් යැයි පෙම් බැන්ද කටුවට වස'ග වී
රළක් නොනගන සයුර ඉහිනා හිතවතී
ගිමත් කල ඇඳි වසත් වත රැඳි පෙම් කවි
තිතක් අරගෙන කොමාවක් නුඹ හැදු හැටි
තතක් නො බිඳ ම වෙණ වැයූවෙක් ලොව නැතී
විසක් පුරවා විතක් මග කෙළවර ඇතී
තිතක් අරගෙන කොමාවක් නුඹ හැදු හැටි
තතක් නො බිඳ ම වෙණ වැයූවෙක් ලොව නැතී
විසක් පුරවා විතක් මග කෙළවර ඇතී
විරිත් නොම දැන මැවූ පද ළග පටලැවී
සඳක් බව නුඹ අමතක ද ළග තරු එළී
රැයත් මිය යා යුතුය ඉර ඇවිදින් යළි
ගෙනත් දේවිද කවුරු බිම ලූ හසරැළි
සඳක් බව නුඹ අමතක ද ළග තරු එළී
රැයත් මිය යා යුතුය ඉර ඇවිදින් යළි
ගෙනත් දේවිද කවුරු බිම ලූ හසරැළි
සමු අරන් දුර ඇවිද ගොස් බර හදවතින්
තබා සී පැස කාලයේ සෙවණැලි මතින්
මතක පින්සල රැගෙන දවසක සෙනෙහසින්
අඳිමි අහසෙහි බිඳුණු බදුනක රුව සෙමින්
තබා සී පැස කාලයේ සෙවණැලි මතින්
මතක පින්සල රැගෙන දවසක සෙනෙහසින්
අඳිමි අහසෙහි බිඳුණු බදුනක රුව සෙමින්
hansamala@hotmail.com
No comments:
Post a Comment