10/12/2012

රතු ඉන්දියානුවන්ගේ රතු කතන්දර



මේ අදහස මගේ ඔළුවට ආවේ කුඩා පාරක විශාල වාහන තදබදයකට අහුවෙලා මඟ නතර වෙලා ඉන්න වෙලාවක. මේ දවස්වල උතුරු අමෙරිකාවට සරත් සෘතුව පටන් ගත්ත විතරයි. යන්තමට සීතල මුසුවෙලා එන්න පටන් අරන්. ගස්වල කොළ තැනින් තැන ඉදුණට තාම චිත්‍රයක් වගේ වර්ණ ගැන්වෙන්න පටන් අරන් නැහැ.

මෙහෙම ටිකක් අඳුරු සහිත දවසක බලාපොරොත්තු නැති වාහන තදබදය ගැන මගේ සියුම් නොරිස්සුම, තරමක් තරහකට පරිවර්තනය වෙන්න ළං වෙලා තිබුණේ. වාහන තදබදයට හේතුව ‘ටර්න්පයික්’ කියා හැඳින්වෙන මහා මාර්ගවලින් එකක් සැතපුම් තිහක පමණ දුරක් යනතෙක් වසා දැමීමට සිදුවීමේ ප්‍රතිඵලයක්. මට රේඩියෝවෙන් ඇහුණා.
මා ගමන් කළ කුඩා පාර ගුවන් පාරක්. ඒක යටින් මට විශාල පාරේ වාහන නැවතිලා තියෙන හැටි පෙනුණේ හරියට එකතැන නැවතුණ මහා ගංගාවක් වගේ. මට එකපාරටම හිතුණා මේ වාහන එකක්වත් මේ තියෙන තැන්වලින් ගෙනියන්න බැරි යමක් සිද්ධ වුණොත් කියල.
වාහන තදබදය නිසා තරහ ගෙන අතුරු පාරවලින් හැරී යන්නට උත්සහ කරන හදිස්සිකාරයන්, එකිනෙකාට නලා හඬින් අමනාපය පල කරන්නන්, මේ සියලු දෙනාට ම වාහනවලින් බැහැල පයින් යන්න වුණොත්? අපි මේ හදිස්සියෙන් යන්න උත්සහ කරන තැන් තනිකරම අවැදගත් වෙනවා නේද කියල මට හිතුණා. එතකොට අපිට වුවමනා වෙන්නේ තමන්ට ආරක්ෂිතම ස්ථානයකට ඉක්මනින්, කොහොමහරි යාගන්න එක නෙමේද? ඒකත් කරගන්න බැරි තරම් දෙයක් වුණොත්?
ඔන්න ඔය වගේ දේවල් කල්පනා කර කර මම වාහනේ ඇතුලෙ ඉන්නකොට මට මතක් වුණා ඇමරිකාවේ ස්වදේශීය ඉන්දියානුවෙන් හෙවත් රතු ඉන්දියානුවන්ගේ මිත්‍යා කතන්දර. එයාලගේ හැම ජනකතාවකම ගැඹුරු තේරුමක් තියෙනවා. මහ පොළවට සමග, ස්වාභාවික ලෝකය සමඟ මිනිසුන්ගේ තිබිය යුතු සම්බන්ධය ගැන ඒ කතා හැම එකකම කියැවෙනවා. අපටම අප පිළිබඳ උපහ­ාසයක් ඇති කරවන්න සමත් සමහර කතාවල තිබෙන සරල දේවල් මිනිසුන්ගේ නොසංසිඳෙන ආශාවන් සහ හඹා යෑම් ගැන කියැවෙනවා.
ඒ කතා හරිම සංවේදියි. ලෝකය තාක්ෂණිකව නොදියුණු අවධියක මහා දාර්ශනිකයන්වත්, පැහැදිලි ආගම්වත් නොමැති තත්වයක දී මිනිස්සු තමන්ගේ ලෝකය රක්ෂා කරනු පිණිස එහි යහපත පිණිස තමන්ව හික්මවා ගැනුමට මේ ආකාරයේ කතන්දර කීම ගැන අදටත් ඒවා තමන්ගේ පැවතෙන අයට කියවා රැකගැනීමට ඔවුන් දරනා උත්සාහය අගය කළ යුතුයි.
අපට හිරු එළිය ලැබුණේ කෙසේ ද, ශීත කාලය සහ ගිම්හානය ඇති වන්නේ ඇයි ද යන ඒවායේ සිට හාවා ගේ වල්ගය කෙටි වුණේ ඇයි යන්න දක්වා ම මේ කතාවල මිථ්‍යා පැහැදිලි කිරීම් තියෙනවා. ඒ හැම කතාවක ම අපට කියන්නේ මේ ලෝකට අප අයිතිවනවා මිස අපට ලෝකය අයිති නැති නිසා ස්වාභාවධර්මයාට ගරු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි. හැල්මේ දිවීමෙන් ජීවිත්වීමේ තේරුමට හානියක් වන බවත්, වුමනාවට වඩා වැඩකිරීමේ ආදිනව කියවෙන කතාවකට මා බෙහෙවින් ප්‍රියකරනවා.
ඒ කතාවේ මිනිසුන්ට පෙහෙකම් කියාදුන් මකුළු ගැහැනියගේ උපදෙස් නොසලකා, විවේකය නොගෙන වියමන් කළ ගැහැනියකගේ ආත්මය වේදනාකාරි ලෙස වියමන තුළ ම සිරගතවීම කියවෙන එකක්. අදටත් ඒ වියමන් කරද්දි වියන්නගේ ආත්මය එහි ම සිර නොවන ලෙස, රටාව තුළ ඉඩක් ඉතිරි කිරීම ඔවුන්ගේ සිරිතයි.
මගේ පියාත් අම්මාගේ අම්මාත් අප කුඩා කාලයේ දී නොයෙකුත් ජනප්‍රවාද අපට කියා දී තියෙනවා. හුදෙක් අප සිතීම්වලට අත් පොත අප කුඩා කල අසන කතන්දර ය. ජීවිතේ අප සැබෑ කර ගැනුමට තනනා සිහින ඒවායේ ප්‍රතිඵල විය හැක.
සිහින ගැන කියද්දී සිහින පිළිබඳ ස්වදේශී අමෙරිකානුවන්ගේ කතාවක් ඔබට කීමට මට සිතුණා. “ඔවුන් විශ්වාස කරන හැටියට අප නොදන්නා කාලයක අද්භූත ප්‍රභාව හිමි මහලු මිනිසා එසේ නැති නම් ‘ග්‍රේට් ස්පිරිට්’ අවට බලද්දි දකින්නට කිසිවක් නැති වුණා. පැහැයක් ලස්සනක් නැති තැන විඳින්නට යමක් නැතැයි සිතූ මහා ආත්මය, මේ ඉඩ, ජීවයෙන් සහ ආලෝකයෙන් පුරවාලන්නට සිතුවා. ඔහු ටෝල්බා නමැති මහ කැස්බෑවාට වතුරින් මතුව ගොඩබිමක් වන ලෙස අණ කළා. අහසෙ නිල් සහ සුදු වලාකුළ රැඳෙව්වා. කසුබු පිට මත කඳු නිම්න තැනුවා. ඉන්පසු මේ බිම මත සතුටු දායක චලනයන්ගෙන් සහ ජීවයන් ඇති කරවන්න ඔහුට උවමනා වුණා .
එලෙස ඇති වන්නන් සිටින්නේ කොහෙද, කරන්නේ මොනවාද, ඔවුන්ගෙ පැවත්මේ තේරුම කුමක්ද ඔහු සිතන්නට ගත්තා. මේ සියල්ලම වෙනුවෙන් සුසාධිත සැලැස්මක් සිතීමෙන් වෙහෙසට පත්ව ඔහු නින්දට පත් වුණා. නින්දේදී ඔහුට විවිධාකාර සතුන් පෙනුණා. තටු ඇති උන්, බඩ ගාන උන්, පා සහිත උන්, වර්ණවත් ගස් වැල්, මල් ආදී සියල්ල අපිළිවෙළකට පැතිරී තිබුණා. සතුන්ගේ කෑ ගැසීම්, කුරුල්ලන්ගේ ගී, මිනිසුන්ගේ කට හඬ ඔහුට ඇසුණා. ඔහු සිතුවේ එය නපුරු හීනයක් කියායි.
අවදි වී බලද්දී බීවරයෙකු ගසක අත්තක් හපනවා ඔහු දුටුවා. තමන්ගේ සිහිනය තමන්ගේ නිර්මාණයක් වූ බව ඔහුට වැටහුණා. බීවරයෙක් වේල්ලක් බඳිද්දී, පවුලේ අයට පිහිනීමට ඉඩ දෙන පොකුණ දුටු විට සියල්ල තමන්ට සුදුසු තැන ඇති බව ඔහුට වැටහුණා. එතැන් සිට පරම්පරාවෙන් පරම්පාරවට අපගේ සිහින සැක නොකළ යුතු බව ඔවුන් විශ්වාස කරන්නට වුණා. අපගේ සිහින අපගේ නිර්මාණ බව ඔවුන් සිතනවා.
අ‍ෙමරිකානු ස්වදේශීය ඉන්දියානු කතා ගෝත්‍රයෙන් ගෝත්‍රයට වෙනස් වන්නට ඇති ඉඩ බොහොමයි. අපේ සිහිනවල වැරැද්දක් නැති මුත් ඒවා සබෑ කර ගැනුමට අප ගන්න පියවර කෙතරම් දුරට අචාරධර්මයට එකඟ ද යන්න විමසන්න ඔවුන් තවමත් කියා දෙන මේ කතා මොළයට නොව මනුෂ්‍යයාගේ හදවතට අමතන කතා නොවේ දැයි මම අර වාහන තදබදයේ ඉඳගෙන ම කල්පනා කළා.

No comments:

Post a Comment