10/19/2012

සුදාරාජ්ලා සුදුයි



පිටුවහලුන්ගේ එහෙමත් නැත්නම් අවතැන් වූවන්ගේ සාහිත්‍යයක් ගැන ටික කාලෙක ඉඳලා කතාබහ කරනවා අපිට ඇහෙනවා. අසූතුනේ ජූලි කලබලවලින් පස්සෙ දේශපාලන රැකවරණය පතා බටහිර රටවල්වලට පැනගත් මැද පංතියේ දෙමළ ජනයාගෙන් තමයි මේ පිටුවහල් සාහිත්‍යය ගොඩනැඟිලා තියෙන්නේ.

මේ සාහිත්‍ය ප්‍රවණතාව හා ඩයස්පෝරාව කියන ඊළාම්වාදයේ ඔළුගෙඩිය අතරෙත් පයුරුපාසානමක් තියෙන බව රහසක් නොවේ.
උපන්බිමට ගරහමින් ඊළාම්වාදයට උඩගෙඩි දෙන ඊනියා පිටුවහල් සාහිත්‍ය ව්‍යාජයට එරෙහිව මවුබිමට අවංකවම ආදරය කරන අව්‍යාජ දෙමළ ලේඛකයන්ට ප්‍රණාමය දැක්වීම සාහිත්‍යය හා කියවීම ගැන කතා කරන මේ වගේ කාලෙක අපේ යුතුකමක්ය කියා හිතුණා.
මෙතනදී එකවරම මගේ මතකයට නැගුණේ ටික කාලෙකට කලින් මට කියවන්න ලැබුණු ‘ සුදාරාජ් ‘ කියන ආරූඪ නමින් ලේඛන කලාවේ නිරතව සිටින සිවසාමි රාජසිංහම්ගේ ‘ කාට දොස් පවරමුද, නමැති කෙටිකතා පොත.
ජාතිවාදී සුළු පිරිසක් අතින් අසූතුනේදි දෙමළ ජනයාට අතවර සිදු වූ බව ඇත්ත. නමුත් බහුතරයක් සිංහලයන් හිටියේ ජාත්‍යාලය මුවාවෙන් කරළියට පැමිණි ඒ අවස්ථාවාදයට එරෙහිව බව රටට ආදරය දෙමළ ජනයා එදා වගේම අදත් පිළිගන්නා කාරණයක්.
අපේ කතා නායකයා වන සුදාරාජුත් අන්න ඒ දේශහිතෛෂී දෙමළ ප්‍රජාවගෙන් කෙනකු බව ‘කාට දොස් පවරමුද’ පොතෙන් සනාථ කර තිබෙනවා.
අර අවතැන් වූවන් එහෙමත් නැත්නම් පිටුවහල් වූවන් වගේ ඇත්ත නැත්ත කරලා ශ්‍රී ලංකාව ලේ පිපාසිකයන්ගේ දේශයක් බව මවාපාන්න සුදාරාජ්ට කිසිම උවමනාවක් නැහැ. ඔහුගේ කතා සංග්‍රහයේ මුලින්ම එන ‘ කාට දොස් පවරමුද’ කියන කෙටිකතාවම ඊට කදිම නිදසුනක්.
ඒ කතාව මෙහෙමයි. ඔන්න හමුදාවයි - කොටියි අතර ගැටුම් උග්‍ර වෙනවා. දෙගොල්ලොම සටන් කරන්නෙ ෂෙල් වෙඩිවලින්, ජනයා ගෙවල් දොරවල් අතහැරලා පලා යන්න පටන් ගන්නවා. එක පවුලක අය ළතැවෙන්නේ ඇවිදින්නට බැරි අත්තාව අරන් යන්න බැරුවයි.” මන් ගැන කනගාටු නොවී ඔය දරුවොත් අරන් ඉක්මනට පලයල්ලා’ අත්තා මොරදෙනවා.
අවසානයේ අත්තා හැරදමා ඔවුන් ද පලා යන ජනයාට එක් වෙනවා. දින කීපයකින් සටන නිමාවුණ පසුව ආපසු ගෙදර ආ සැණින් ඔවුන් දකින්නේ අත්තා නිදා සිටි ඇඳ හිස්ව ඇති බවයි. අත්තාට තබා ගිය වතුර කළය ද බිඳිලා. අවිදින්නවත් බැරි අත්තා කොහේ යන්නද? ඔවුන්ගේ සිත් සසල වෙනවා. අතුරුදහන් වූ අත්තා සොයමින් ඔවුන් ගෙවත්ත පුරා දුවනවා. අන්තිමේදි ඔවුන්ට දකින්න ලැබෙන්නේ වත්තෙ ළිං පතුලේ ඇති අත්තාගේ මළ සිරුරයි. පිපාසය ඉවසන්න බැරිව ළිඳ ළඟට බඩගාගෙන ගිය අත්තා එහි වැටුණාද? නැත්නම් දරුවන්ට මතු කරදරයක් නොවන්නට ඔහු දිවි නසා ගත්තාද?
අත්තා ඔවුන්ට අහිමි කළේ යුද්ධයයි. මිනිස්කම ඔවුන්ගෙන් පැහැර ගත්තේ යුද්ධයයි. ඔවුන්ගේ ගොවිතැන් බත, හරකා බාන, ගෙවල් දොරවල් මේ සියල්ල කාබාසිනියා කර ඔවුන් සරණාගතයන් බවට පත් කළේ ද මේ යුද්ධයයි. එසේ නම් මේ යුද මාරයාගේ ග්‍රහණයට අසු වී සිටින තුරු ඔවුන්ට සැනසීමක් නොලැබෙන බව ඒකාන්තයි. කාට දොස් පවරමුද? සුදාරාජ් අපි හැමෝගෙන්ම අහන්නේ එකම ප්‍රශ්නයයි.
සුදාරාජ් මේ මහා ව්‍යසනය දෙස බලනුයේ වෛරයෙන් හෝ කෝපයෙන් නොවේ. සිය ජන ප්‍රජාවට පමණක් සිදු වූ විපතක් හැටියට නොවේ. සාහිත්‍යකරුවකුට අවශ්‍ය මානවහිතවාදී ගුණයෙන් ඔහු පොහොසත්. ඒ නිසා ඔහුගේ දෘෂ්ටිය පටු වර්ගවාදයකට හෝ ඊළම්වාදී සිහිනයකට කොටු වී නැහැ. සුදාරාජ් සිය මවුබිමවත්, ජනතාවවත් අතහැරලා පරදේශයකට පලා ගිහිල්ලත් නැහැ. සැබවින්ම සුදාරාජ් රටත් ජනතාවත් සමග සිටිමින් රටත් ජනතාවත් වෙනුවෙන් ලියන අව්‍යාජ ලේඛකයෙක්.
සුදාරාජ්ගේ සාහිත්‍යය හා අර පිටුවහලුන්ගේ සාහිත්‍යය අතර තියෙන වෙනස මේකයි. රුදුරු කොටි ත්‍රස්තවාදය පරාජය කරලා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් රටක් බිහිකිරීම අවතැන් වූවන් දකින්නේ සුළු ජනතාව පීඩනයට පත් කිරීමක් හැටියට, ත්‍රස්තවාදින්ගේ මානවහිමිකම් උදුරාගැනීමක් හැටියට. වඩාත් කනගාටුවට හේතුව සැබෑ තතු දැන දැනත් තමන්ගේ ලාබ ප්‍රයෝජනය සඳහා ලෝකයා හමුවේ බොරු චිත්‍රයක් මවාපාන්න දරන නින්දිත ප්‍රයත්නය නේද?
සුදාරාජ් ‘ කාට දොස් පවරමුද’ කෙටිකතාව ලිව්වේ යුද්ධය උත්සන්නව පැවති කාලෙක, අවංක සාහිත්‍යකරුවකු හැටියට ඔහු මුල පටන්ම හිටියේ ඊළම්වාදයටත් කොටි ත්‍රස්තවාදයටත් විරුද්ධ ස්ථාවරයක, ජීවිතයත් - මරණයත් අතර දෝලනය වෙමින් උන්නත් සුදාරාජ් එයාගෙ පන්හිඳ අතහැරියෙ නැහැ.
ඒ නිසා අද සුදාරාජ්ලාත් එක්ක අත්වැල් බැඳගෙන ශ්‍රී ලාංකික සාහිත්‍යයක් ගොඩනැගීමේ ජාතික මෙහෙවරට උර දෙන්න අපට හැකි වී තිබෙනවා. ඇත්තටම සුදාරාජ් ඔබ ඇතුළු ඔබේ කඳවුරේ සෙසු සගයන් ගැන අපිට ආඩම්බරයි.
malkap@yahoo.com

No comments:

Post a Comment