10/26/2012

අලස පුටුවේ නාට්‍යකාරයෝ


70 දශකයේ අග භාගයේ පමණ මරදානේ ඩේවිඩ් මාවත පටන් ගන්නා තැන පිහිටි ග්ලෝබ් මුද්‍රණාලය අප නිතර ආගිය තැනක් විය. එහි අධිපතිනිය මල්ලිකා තිලකරත්න නම් වූ ඉහළ පෙළැන්තියේ කාන්තාවක වූවා ය. ඇය නැති තැන වැඩ බැලුවේ ඈ පුතු කෝසල නම් වූ කඩවසම්, ප්‍රියමනාප තරුණයා ය.

වර්තමානයේ චිත්‍රපට විචාරකයෙකු ලෙසින් ප්‍රකට ගුණසිරි සිල්වා ඒ කාලයේ වැඩ කළේ මෙම මුද්‍රණාලයෙහි ය. නිතර නිතර එහි පැමිණි ගුණසිරිගේ මිතුරු පිරිස, මුද්‍රණ කටයුතුවලට ආ උදවියටත් වැඩි ය. කෝසලත්, ඔහුගේ මවත් එය ඉවසුවේ නොපහන් සිතින් නොවේ. කෝසල, ගුණසිරිගේ මිතුරන් ද තම මිතුරන් සේ සැලකුවේ ය.
මුද්‍රණාලය ඉදිරිපස වූ කුඩා ආලින්දයේ වූයේ එකම පුටුවකි. අප කවුරුත් එය හැඳින්වූයේ ‘අලස පුටුව‘ නමිනි. එකල හරි හමං රස්සාවක් නැතිව සිටි අපි, මාරුවෙන් මාරුවට වරු ගණන් එහි වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියෙමු.
එහි නිතර ආගියවුන් අතර රනිල් ඇල්විටිගල, ජී. ඇල්. ආරියපාල, චිත්‍රාල් සොයිසා, ජයන්ත කළුපහන, ගුණරත්න වික්‍රමගේ ආදීහු ද වූහ. අනුර හෑගොඩ ද ඉඳහිට ආවේ ය. ප්‍රසන්න විතානගේ ගුණසිරිගේ ‘සකුරා’ පුවත්පතට සිනමා ලිපි ලියාගන්න පැමිණි අතර, සවස් කාලයේ එහි එන ටී. එන්. නිහිෂාන් මහ බැංකුවේ සේවය කළ කෙනෙකි. ස්ථිර වැටුපක් ලැබෙන රැකියාවක් කළේ ඔහු පමණ ය. නිහිෂාන්ගේ පඩි දාට ග්ලෝබ් යාළුවන්ට මඟුල් ය.
මා මසකට දෙතුන් වරක් කොළඹ ආවේ ගුවන් විදුලි නාට්‍යයක් දෙකක් ලියාගෙන ය. මරදානේ දී දුම්රියෙන් බසින මම, ග්ලෝබ් මුද්‍රණාලය වෙත පිය නඟන්නෙමි. කලින් ලියා දුන් නාට්‍යවල පටිගත කිරීම් කෙරෙන්නේ සවස් කාලයේ බැවින් අලස පුටුවේ හිඳ, මිත්‍ර සේවනයෙහි යෙදෙන්නෙමි. ඇතැම් දිනෙක සවස් කාලයේ මධු පානයක් සඳහා පැමිණෙන්නැයි කෝසලගෙන් ඇරැයුමක් ලැබෙයි. වැලේ වැල් නැතුව සිටි අපට, කෝසල මිත්‍රයා අනේපිඬු සිටාණ කෙනෙකුන් විය. (මධු පානයක් සඳහා ඇරැයුම් කරන විට මගේ මුව පුරා නැඟෙන සිනාව දැකීමට තමන් බොහෝ ප්‍රිය කළ බව කෝසල අනෙක් අය හා කියා තිබුණි.)
ග්ලෝබ් මිත්‍ර කණ්ඩායමේ සැමට අන්වර්ථ නාම තිබුණි. මා අලස පියා ය. ගුණසිරි ශූන්‍ය පියා ය. ආරි කොමිස් පියා ය. රනිල් අපිරිසුදු පියා ය. (ශරීරයට කුණු අවශ්‍ය යැයි ඔහුගේ න්‍යායක් විය.) වික්‍රමගේට කවුරුත් කිව්වේ “මාමා” ය.
චිත්‍රාල් පැමිණියේ පානදුරේ සිට ය. ගුණසිරි ඔහුගේ “ඇපකාර පියා ය” සවසට ආපසු ගෙදර යන විට ගුණසිරිගෙන්, චිත්‍රාල්ට ගමන් වියදම් ලැබෙයි. එසේ නොකළ විට ගුණසිරිට කුණු බැණුම් ය. චිත්‍රාල් ගෙදරට කියා එන්නේ කොළඹ රැකියාවකට යන බව ය. එහෙයින් ඔහුට ද, ගුණසිරිට මෙන් දෛනික වැටුපක් තිබිය යුතු ය. කල්යාමේ දී තම දීමනාව නොමිලයේ ම ලබා නොගත් චිත්‍රාල් මුද්‍රණාලයේ සුළු සුළු වැඩ ඉටුකර දෙන්නට විය. දැඩි මතධාරී මාක්ස්වාදියෙකු වූ චිත්‍රාල්, ජීවිතයේ සියලු දෙය දුටුවේ එම කෝණයෙනි. පසු කලෙක ඔහු “දිවයින” පුවත්පතට සම්බන්ධ විය.
මුල් කාලයේ ඇත්ත පත්තරයට ද සම්බන්ධ වී සිටි කොමියුනිස්ට්කාරයන් දෙදෙනෙකු වුව ද ගුණසිරිත්, මාත්, මේ කාලය වන විට වඩාත් ඇලුම් කළේ සාංදෘෂ්ටිකවාදයට ය. ගුණසිරිට ශූන්‍යත්වයේ පියා නොහොත් ශූන්‍ය පියා යන නම පටබැඳුණේ ද එහෙයිනි. එසේ ම අපි විකාරරූපී රංග සම්ප්‍රදායට ළං වන්නේ ද, සාංදෘෂ්ටික දර්ශනය තුළිනි.
ශේක්ස්පියර් ගේ රඟහල “ග්ලෝබ්” නම් විය. ග්ලෝබ් මුද්‍රණාලය ද නාට්‍යකරුවන් එන යන තැනක් විය. ඩේවිඩ් මාවත කෙළවර වූයේ හේවාකපුගේ සොහොයුරන්ගේ අයි. පී. බී. මුද්‍රණාලයෙනි. රැලෙක්ස් රණසිංහ විසින් නිර්මාණය කරන ලද අයි. පී. බී. නාට්‍ය පෝස්ටර් ඇලවූ බස් නැවතුම් හා තාප්ප “කුඩා චිත්‍ර ප්‍රදර්ශන” බඳු විය. නාට්‍යකරුවන් ගේ වැඩ, මේ මුද්‍රණාල දෙකට ම බෙදී ගියත්, පෝස්ටර් අංශයෙන් නම් අයි. පී. බී. ඉදිරියෙන් ම සිටියේ ය.
මේ කාලයේ අපිට ද “නාට්‍ය උණ” තදේට ම තිබුණෙන් නවක නාට්‍යකරුවන්ගේ පුහුණුවීම් මධ්‍යස්ථානය වූ සුදර්ශිය ද නිතර ඇසුරු කළෙමු. ගුණසිරි, “සුංබුං හා පිටස්තරයා” නමින් නාටකයක් කළේ ය. රනිල් “රතු එකෙක්” වේදිකාවට ගෙන ආවේ ය. මම, “බිංගේ” නමින් විකාරරූපී නාට්‍යයක් කළෙමි.
”බිංගේ” නාට්‍යයේ චරිත හතරකි. සොමී රත්නායක, නීල් අලස්, ජයසේකර අපොන්සු හා මියුරි සමරසිංහ එම චරිත රඟපෑහ. පසුව ආනන්ද වික්‍රමගේ හා අශෝක සේරසිංහ ද (චිත්‍රපට සංස්ථාවේ සභාපති) බිංගෙයට එක්වූහ.
ආනන්ද ඉතා ලජ්ජාශීලී තරුණයෙකි. මුල දී ඔහු රඟපෑමට ද අදි මදි කළේ ය. අද ඔහු ඉතා ජනප්‍රිය විකට නළුවෙකු වී සිටීම ගැන මට පුදුම සිතෙයි.
අශෝක සේරසිංහ නීතිඥයෙකු ලෙස දිවුරුම් දීම පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවේ ද ඔහු “බිංගේ” නාට්‍යයේ රඟපාන බව සඳහන් විය. අශෝක පසු කලෙක “ඇමැති දියණිය” හා “රළ නැඟුම” යනුවෙන් නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළේ ය. ඔහු හොඳ වේදිකා නළුවෙකු බව බොහෝ දෙනෙක් නොදනිති.
”බිංගේ” නාට්‍යයේ සංගීතය නිර්මාණය කළේ මොරටුවේ එමිල් මෙන්ඩිස් ය. ගීත ගායනා කළේ මාලනි බුලත්සිංහල හා ටයිටස් සී. පෙරේරා ය. (මාලනි එකල හැඳින්වුණේ බී. එස්. මාලනී යනුවෙනි) නේපථ්‍යාගාර සහායකයෝ වූයේ ආනන්ද වික්‍රමගේ සහ ගුණසිරි සිල්වා ය.
ඉතා දක්‍ෂ සංගීතවේදියෙකු වීමට හැකියාව තිබූ එමිල් මෙන්ඩිස්, අකාලයේ මිය ගියේ ය. සමන් අතාවුදහෙට්ටි “බිංගේ” සංගීත අධ්‍යක්‍ෂණයට එක් වූයේ, අලුත් ගීත දෙකක් ද ඊට එක් කරමිනි.
කොළඹට පැමිණ කළ ප්‍රථම නාට්‍යයම පේරාදෙණිය සරසවියේ “වළේ නාට්‍ය උළෙලේ” දී රඟ දක්වන්නට ලැබීම මට අපූර්ව අත්දැකීමක් විය. මට ඒ අවස්ථාව ලබා දුන්නේ එකල එහි ඉගෙනුම ලබමින් සිටි මගේ ඥාති සොහොයුරු වර්ණසිරි හා විමල් රන්කඩුව නමැති මිත්‍රයා නිසා ය. (විමල් දැන් කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකි.)
”බිංගේ” වළට ගැළපෙන නාට්‍යයක් නොවී ය. එය විකාරරූපී නාට්‍යයකි. චරිත ගණන ද අඩුය. “බිංගේ” ට කලින් දවසේ, හෙන්රි ජයසේනගේ “සරණ සියොත් සේ” නාට්‍යය නවත්වන කල් ම හූ කියා තිබූ සරසවි ප්‍රේක්‍ෂකයෝ “බිංගෙය” ද ඉවසුවේ විවේක කාලය එනතුරු පමණි. එහෙත් ඔවුන්ගේ මහා හූව ඉදිරියේ අපේ නළුවෝ ද සැළුණේ නැත. දෙබස් නෑසි ගියද ඔවුහු දිගට ම රඟපෑහ.
ඊට බොහෝ කලකට පසු හෙපටයිටිස් රෝගය වැළඳීම නිසා මට මහනුවර රෝහලේ දින කීපයක් ගත කරන්නට විය. වාට්ටුව බාරව සිටි වෛද්‍යවරයාට රෝග වාර්තාවේ ඇති මගේ නම දැක සිනා ගියේ ය.
“ඔයා නේද බිංගේ හැදුවෙ?”
“ඔව්. ඩොක්ටර් ඒක බලල තියෙනවද?”
“මාත් ඒ නාට්‍යයට හූ කියල තියෙනවා”
ඔහු යළිත් සිනාසුණේ ය. අපි වළේ “බිංගේ” පෙන්වන කාලයේ ඔහු පේරාදෙණියේ වෛද්‍ය ශිෂ්‍යයෙකි. “බිංගෙය” ට හූ කියූ එබඳු ප්‍රේක්‍ෂක ශිෂ්‍යයන් දැනුදු ඉඳහිට මට මුණ ගැසේ. ඉන් පසු ද මම නාට්‍ය කීපයක් ම කළෙමි. එහෙත් වළේ හූව වැනි හූවක් කිසි විටෙක අසන්නට නොලැබුණි.
kapilakalinga@gmail.com

No comments:

Post a Comment