යුද ගැටුම් පැවති අවුරුදු තිහක පමණ කාලයක් පුරා උතුරු නැඟෙනහිර පළාත්වල ජන ජීවිතය ගෙවුණ ආකාරය ගැන වැඩියෙන් ලියන්නය කියලා “බද්දර මල්ල” කියවන පාඨකයන් කීප දෙනෙක්ම විද්‍යුත් තැපෑලෙන් ඉල්ලා තිබුණා.
යුද්ධය පැවති කාලයේ වගේම රටවැසියන්ගේ මහත් විවේචනයට ලක්වූ සාම ගිවිසුම් කාලයේත් කීප විඩක්ම ඒ පළාත්වල චාරිකා කරන්න අවස්ථාවක් ලැබුණු නිසා පාඨකයන්ගේ ඉල්ලීම හැකි තරමින් ඉටු කිරීම අපේ යුතුකමක්.
2002 අවුරුද්දේ තමයි රනිල් - ප්‍රභාකරන් සාම ගිවිසුම අත්සන් කෙරුණේ. ඒ – 9 මාර්ගය යළි විවර කිරීම සාම ගිවිසුමේ එක කොන්දේසියක් වුණත්, කොටි කල්ලිය නොයෙක් උප්පරවැට්ටි දමමින් ඒක පස්සට ඇද්දා. ඒ හන්දා 2002 මාර්තු 10 වෙනිදා අපට යාපනයට යන්න වුණේ ඒ වෙනකොට ගුවන් හමුදාව යටතේ ක්‍රියාත්මක වුණු “හෙලි ටුවර්ස්” ගුවන් යානයකින්.
සපුරාම ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලනයට නතුවෙලා තිබුණු පලාලි ගුවන් තොටුපළේ සිට යාපනය නගරයට තියෙන දුර කිලෝමීටර් 15 ක් විතර වෙනවා. අපේ නවාතැන වූ යාපනයේ තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවට ගමන් කරද්දී දැකපු දර්ශනවලින් පසුගිය කාලය තුළ යුද්ධය විසින් යාපනය අර්ධද්වීපයට අත්කර දෙනු ලැබූ ඉරණම අපිට වැටහුණා. කරටි බිඳුණු තල් ගස් අපට පෙනුණේ හිස් අහස දිහා බලා ඉන්න සිරස් රහිත මිනිසුන් සමූහයක් වගෙයි. දෙපස දිස්වුණු ගොඩනැගිලි බොහොමයක වහල දකින්න ලැබුණේ නැහැ. අප කැඳවාගෙන යන්න පැමිණ සිටි විජිත, සහමුලින්ම දැවී ගිය ගොඩනැගිල්ලක් පෙන්නලා කිව්වා. ඒක තමයි යාපනයේ ප්‍රසිද්ධ රීගල් සිනමා ශාලාව කියලා.
පහුවදා අපිට යන්න නියමිතව තිබුණේ චාවකච්චේරිය පැත්තට. අපේ සම්බන්ධීකාරකයා වශයෙන් කටයුතු කළ රඝු යෝජනා කළා යාපන සරසවියටත් ගොඩවැදුණොත් හොඳයි නේද කියලා. රඝූට සිංහල බැහැ. විජිත ඒ අදහස සිංහලට නැගුවා.
යාපනය සරසවි භූමියට ඇතුළු වුණ ගමන් අපේ ඇස ගැසුණේ් එක පොදියට ගාල් කර තිබූ බයිසිකල් ගොඩක්. අපි ඒ දිහා විමතියෙන් බලනු දුටු විජිත කිව්වේ බයිසිකල් කියන්නේ යාපනය ජන ජීවිතයේම කොටසක් බවයි. ඒ වෙනකොටත් දැඩි ඉන්ධන හිඟයක් යාපනේ තිබුණා. සාම ගිවිසුම තිබුණත් ඉන්ධන සිමෙන්ති වගේ දේවල් පැවතුණේ කොටි පාලනය යටතේයි. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ පොදු වාහනය බවට පත්වෙලා තිබුණේ බයිසිකලයයි. මෝටර් බයිසිකල්, අත් ට්‍රැක්ටර් වැනි වාහන ලාම්පු තෙල්වලින් දුවවන්න පුළුවන් තත්ත්වයට සමහරු හදාගෙන තිබුණා.
යාපනය සරසවියේ උපකුලපති මහාචාර්ය පී. බාලසුන්දරම්පිල්ලෙයි අපිට ප්‍රයෝජනවත් කරුණු රැසක් පැවසුවා. සරසවි සිසුන් වගේම උතුරේ තරුණයන් ද කොටි උවදුරෙන් මුදාගැනීමට නම් ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත බවට සහතිකයක් දිය යුතු යයි ඔහු කීවා. නමුත් දකුණේ තරුණයන් අසහනයෙන් පෙළෙන පසුබිමක් තුළ තමන්ට සහන සැලසීමට ආණ්ඩුවට හැකියාවක් නැතැයි ඔවුන් සිතන බව ද මහාචාර්යවරයා අවධාරණය කළා.
යාපනයේ සිට චාවකච්චේරියටත් කිලෝමීටර් දාහහතරක විතර දුරක් තියෙනවා. යුද්ධය යාපනයේ ජන ජීවිතය සහමුලින්ම අඩාල කර ඇති ආකාරය අපිට ඇස් පනාපිටම දකින්න ලැබුණේ ඒ ගමනේදියි. අපි ගමන් කළ ඒ – 9 මාර්ගය තිබුණේ අන්තිම අබලන් තත්ත්වයක. යාපනයේ මාර්ග ගැන මනා පළපුරුද්දක් තියෙන තරුණ කන්නන් ගේ දක්ෂතාව නොවන්න ලේසියෙන් අපට මේ ගමන යන්න වෙන්නෙ නෑ. චෙන්නායි හා නාවට්කුලි පාලම් දෙකම කොටි පුපුරවලයි තිබුණේ. හමුදාවේ ඉංජිනේරු අංශය වාහනයක් යන්න පුළුවන් මට්ටමට ඒවා පිළිසකර කර තිබුණා. හාත්පසින්ම දිස්වුණේ සොහොන් බිමක නිහැඬියාවක්.
”ඔය තල් ගස්වල කරටි කැඩිලා තියෙන්නෙ හෙලිකොප්ටර්වල කෝබ්‍රා ඇටෑක්ස්වලින්. බිල්ඩින්ස් නම් ඉතින් දෙපැත්තෙන්ම ගහපු ෂෙල් වෙඩිවලට තමා බිලිවෙලා තියෙන්නෙ” මූසල නිහැඬියාව බිඳිමින් විජිත කට හඬ අවදි කළා.
”අර පේන්නෙ යාපනේ තිබුණු හොඳම හවුසින් ස්කීම් එක. “නාවට්කුලි ස්කීම්” කිව්වහම නොදන්න කෙනෙක් නැහැ. එහා පැත්තෙ තියෙන්නෙ ප්‍රසිද්ධ ඇන්ඩර්සන් සී ෆුඩ් ෆැක්ටරිය. සිය ගාණකට රස්සා දුන්නා. පිටරටටත් මාළු යැව්වා. ඊළඟට තියෙන්නේ රජයේ ආහාර ගබඩාව. පේනවා නේද යුද්දෙන් වෙලා තියෙන විනාශය. කවදාහරි ඕවා හදන්න වියදම් කරන්න වෙන්නේ අපේම සල්ලි නේද? දෙපැත්තම ඕකට වගකියන්න ඕනෑ.”
මුලින් නිහඬව හිටපු රඝූ අපි විවෘතව කතා කරන බව තේරුම් අරන් පවසපු ඒ අදහස් ටික විජිත පළපුරුදු භාෂා පරිවර්තකයෙක් වගේ සිංහලට පෙරළුවා.
ඒ වෙනකොටත් අපි හිටියේ යාපනයේ නගර සීමාව ඇතුළේ. ගමනේ දුෂ්කරතාව ඔබට වැටහෙනවා ඇති නේද? ඒ නිසා ඊළඟට වුණේ මොනවද කියලා අපි ලබන සතියේ “බද්දර මල්ලෙන්” කියවමු.
malkap@yahoo.com
No comments:
Post a Comment