දෑත පපුවට ළං කොට හිස ඔසවා බලමි. මෙත් කරුණා උතුරන බුදු හිමියන්ගේ මුහුණ මට පෙනේ. මම දෑත නළලට ගෙන යමි. සාදු සාදුයි සිතින් කියමින් දෑස පියා ගතිමි. යළි දෑස් හැර මල් අසුන දෙස බලමි.
මා පිදූ සමන් පිච්ච මල් අසල රතු නෙළුම්, සුදු නෙළුම්, නිල් මානෙල්, රතු රෝස, සුදු රෝස, ඉද්ද, වතු සුද්ද මල්, ලස්සන සුවඳ මල්, මම ඒ බුදු කුටිය තුළ සුදු සුමුදු බිම හිඳ ගතිමි. දෑස පියා ගතිමි.
අර සුවඳැති රුවැති මල් මසිතෙහි පිරෙනු දැනිණි. සුවඳ, ලස්සන මල්! මා රැඳුණේ විසිතුරු මල් ලොවක. මොහොතකින් මගේ නැහැයට නොවේ, සිතට දුගඳක් දැනිණ.
මේ බුදු මැදුරට පැමිණෙන විට පසු කැරැගෙන ආ තුරු ගොමුව අසලින් නැඟුණු දුගඳ. මම නතර වී දුගඳ ආ දෙසට ඇස යොමු කෙළෙමි. මහා මල් ගොඩක්. ඊයේ මේ මලසුනේ වූ සමන් පිච්ච, රතු නෙළුම්, සුදු නෙළුම්, නිල් මානෙල්, රතු රෝස, සුදු රෝස, ඉද්ද, වතු සුදු මල්, ඒ සුවඳින්ද රුවින්ද මිදී, මිලානව, දුගඳව පස් ගොඩක වැතිර ඇති සැටි පෙනිණ. එතැන පස් ගොඩක් වූයේ කෙසේද? මල් දිරාපත්ව පස් බවට පත් වෙලා. මල් පස් වෙලා!. සුවඳැති, රුවැති, මල් දුගඳව, විරූපීව, පස් බවට පත් වුණා. මගේ සිත තුළ විදුලි කෙටීමක් දැනිණ.
“නුඹේ සිරුරට ද අත්වන්නේ ඔය ඉරණමයි!” විදුලි කෙටීමෙන්, ගිගිරුමෙන් සිත සැලිණ. මා උපන් දා සිට, මොහොතින් මොහොත, පැයෙන් පැය දවසෙන් දවස, වසරෙන් වසර, මගේ සිරුර ජරාවට පත් වූ සැටි, ලෙඩ රෝගවලට ගොදුරු වූ සැටි, සවි බල අත් පා දුබල වැ ගිය හැටි, මට පෙනෙන්නට විය. සුරූපි ලලනාවක වූ මගේ මව පිළිකා රෝගයට ගොදුරු වුණා. දිගු නිල් කෙස් කලඹ ගිලිහී ගියා. මුඩු හිසක් මතු වුණා. හම දිරුවා. නහර මතු වුණා. ඇට සැකිල්ලට ඉඩ දී මස් දියවී ගියා. මේ මගේ අම්මාද? මට සැක සිතුණු තරම්. සැත්කම්, එන්නත්, ලේ පරීක්ෂණ, විදිලි සැර ගැන්වීම්, මැද කලක් ගෙවුණා. එක් දිනෙක් ඒ හද ගැස්ම නැවතුණා. ඒ ඇට සැකිල්ල ආදාහනය කළා. එය අළු බවට පත් වුණා.
මගේ බාප්පා යෝධ බලසහිත ගොවියෙක්. රෝගාතුරව පස් වසරක්ම ඔහු සිටියේ ඇඳේ ය. මුළු සිරුරම වණ වුණා. කුණු ගඳ හමන්නට පටන් ගත්තා. මැස්සන් පිරුණා. වණවල පණුවන් පොදි ගැහුණා. ඔහුගේ දරුවන් ද ඔහු අත්හැර දැම්මා. හඬ හඬාම ඔහු මැරුණා. එම්බාම් නොකළ මළ සිරුර දින තුනකට පසු ඉදිමුණා. නිල් වුණා. හම පිපිරී තුවාලවලින් ලේ ගලන්නට පටන් ගත්තා. ඇස්වල, කන්වල, නාස් පුඩුවල, කටේ පණු කැදැලි මතුවුණා. මුළු පළාත ම ගඳ ගහන්නට පටන් ගත්තා. ගඳ නිසා ම තමයි ඒ පාළු ගෙයි දොර ඇර අවට පදිංචි අය බැලුවේ. ඔවුන්ට පෙනුණේ මස් දිය වී ගිය කාගේ දැයි හඳුනාගත නොහැකි මළ සිරුරක්. හම ගැලවී ගිහින්. කෙස්, ලොම් ගිලිහිලා. ඒවා බිම වැටී පස් බවට පත් වෙමින් තිබුණා. මස් දිය වී ඇට පෑදි ඇට සැකි
ල්ල මතු වී පෙනුණා.
ල්ල මතු වී පෙනුණා.
මෙය මගේ ශරීරයටත්, අනෙක් අයගේ ශරීරවලටත් මෙසේ ම සිදුවන බව මට සිතුණා. සිතිවිලි ඇති වී ඇති වී නැති වී නැති වී යනු පෙනුණා. මා ඒ සිතිවිලි ඇතිවනු, පවතිනු, නැතිවනු බලා සිටියා. ශරීරයේ ඇති ධාතු කොටස් හතර මට සිහි විය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, මේ ධාතු හතර හැර මේ ශරීරයේ වෙනත් ඇත්තේ කුමක්ද?
කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, ඇට මිදුළු, නහර ආදී මේ සියල්ල පස් වී යන දේ ඒ පඨවි ධාතුව. කෙළ, සොටු, සෙම, කඳුළු, ලේ, මුත්‍රා, දහදිය ආදි මේ සියල්ල දියර ඒ ආපෝ ධාතුව. ශරීරයේ ඇති උණුසුම සහ සිසිල ඒ තේජෝ ධාතුව. ශරීරයේ පිම්බුණු ගතිය ඇති කරන වාතය. ඒ වායෝ ධාතුව. මේ ධාතු හතර හැර අන් කිසිවක් ආත්මය කියා දෙයක් මේ ශරීරයේ නැත. ඒ ධාතු හතරට අයත් දේ අනිත්‍යයට හසුව විනාශයට ලක් වූ ආකාරය මම දකිමි.
සියල්ල අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි,
සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මම මෙනෙහි කළෙමි. මගේ ශරීරය දෙසට සිත යොමු කළෙමි. එය අනිත්‍යයට ගිය හැටි, අනිත්‍යයට යන හැටි, නිත්‍ය නොවූ ශරීරයක් බවට පත් වූ හැටි, මෙනෙහි කළෙමි. මගේ මවු මගේ බාප්පා අනිත්‍යයට ගිය හැටි, ඔවුන්ගේ සිරුරුවලට සිදු වූ දේ මට සිහි විය. ඒ ශරීරවල අභ්‍යන්තර ආපෝ ධාතුව, බාහිර ආපෝ ධාතුවට එක්වූ හැටි, අභ්‍යන්තර තේජෝ, වායෝ ධාතු බාහිර තේජෝ වායෝ ධාතුවලට එක්වූ හැටි, අභ්‍යන්තර පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට, මහ පොළොවට එක්වූ හැටි, මම සිහි කළෙමි.
සියල්ල අනිත්‍යයි, මනුෂ්‍ය ශරීරය පමණක් නොවේ ලොව ඇති සියල්ලම ගස්වැල් ගල් පර්වත ගංගා පවා මහා සාගරය පවා නිත්‍ය නොවේ, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි.
No comments:
Post a Comment