අපේ පන්ති කාමරයෙ පාර දිහාට ඇරුණු ජනේල තිබුණා. පන්තියට යාබදව විලෝ ගස් පේළියක් හිටගෙන හිටියා. හරි කෙළින් . ඒ විලෝගස් සුළඟට හෙලෙවුණෙත් අකමැත්තෙන් වගේ. ඉස්කෝලෙ තිබුණෙත් සුළඟකටවත් හෙලෙවෙන්නෙ නැති නීති. බස් එකේ ඉස්කෝලෙ එන ගෑනු ළමයෙක් හැමදාම පන්තියේ බුදුපහන දැල්වුවා.
පරක්කු වෙලා එන දවසට බුදු පහන දල්වලා තිබුණත් කටින් පිඹලා පහන නිවන්නත්, අලුතෙන් තමන්ගෙ අතින් පහන දල්වන්නත් මේ ගැහැනු ළමයා පුරුදු වෙලා හිටියා.
කවදාවත් බුදුන්ට තියන්න මල් නෙලාගෙන නාපු මේ ගැහැනු ළමයා මම මල් ගෙනාපු දවසටත් මම පත්තු කරපු පහන නිවලා එයා අලුතෙන් පහනක් පත්තු කිරීම ගැන මගේ හිතේ සියුම් ඉරිසියාවක් තිබුණා. ඒ මම සිදු කරන පිනෙන් කොටසක් අයිති කර ගැනීම නිසා ඇති වන ඉරිසියාවක්. ඒ ඇර කිසිම අමනාපකමක් මගේ හිතේ නොතිබුණ මේ ගෑනු දරුවගේ නම එරානි. අපි හිටියෙ දොළහ එෆ් පන්තියෙ.
එරානිගෙ ලොකු ඇස් මූණෙන් වැඩි ඉඩකඩක් අයිති කරගෙන තිබුණා. අපේ ඇස් ගැටුනෙ හරිම කලාතුරකින්. සමහර විට ඒ සතියට එක පාරක් වෙන්නත් පුළුවන්. එකම පන්තියෙ ඉෙගන ගන්න දෙන්නෙකුට ඒක අරුමයක් වුණත්, එරානි දවසෙන් වැඩි හරියක් පන්තියෙන් පිට ඉන්න බව දන්න මට අරුමයක් වුණේ නැහැ. එරානි තමයි අපේ ඉස්කෝලෙ ක්‍රීඩා නයිකාව.
ළමයි පන්දාහක් විතර ඉගන ගන්න ඉස්කෝලෙක ක්‍රීඩා නායිකාව වෙන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒත් එරානි ඒ අභියෝගය ජය අරගෙන තිබුණා. තමන්ගෙ ජීවිතේ වැඩි කොටසක් ගතවුණ ක්‍රීඩා පිට්ටනියට එරානි පන්ති කාමරයට වඩා ආදරය කරන්න ඇති කියලා මට ඒ දවස්වලම හිතුණා.
ඒක ස්වභාවිකයි. හරියටම මම විද්‍යා විෂයයන් හදාරමින් කලාවට ආදරය කළා වගේ.
එරානි ඉස්කෝලෙ එනකොට පන්තියේ පළවෙනි කාලපරිච්ජේදය ඇරඹිලා තිබුණා. උයන්වත්තෙ පිට්ටනියට ගිහින් ක්‍රීඩා පුරුදු වෙලා තමයි එරානි ඉස්කෝලෙ එන්නෙ. ඉංග්‍රීසි ගුරුතුමී එරානිට බැන්නා. හොඳ පවුල්වල ගෑනු ළමයි ක්‍රීඩා කරන්නෙ නෑ. ඒ තමයි බැණුමෙ සාරාංශය. “ඉංග්‍රීසී ටීචර්ට පිස්සු. ඒ දවස්වලත් මට එහෙම හිතුණා. එරානි කාලපරිච්ජේදය ඉවර වෙනකල්ම හිටගෙන හිටියා.
මවුපිය රැස්වීමෙ දි එරානි ලකුණු අඩුවෙන් ගත් බව කියලා තිබුණා. එරානිගෙ අම්මා ඒ ගැන එරානිට බැනපු බව අපි දැනගෙන හිටියා.
එක දවසක් වෙනදා වගේම ඉර අහසට නැග්ගා. මම අකමැත්තෙන් වගේ ඉස්කෝලෙ ගියා.
පන්තියෙ ළමයි ඔක්කොගෙම මූණු දුකෙන් බරවෙලා තිබුණා. ඒ වෙනකොට පස් දෙනෙක් පන්ති කාමරේ හිටියා.
“එරානි ගඟට පැනලා” එක්කෙනෙක් කියුවා.
“පිස්සු…. මම හොදටම හිනාවුණා.
විහිළු කළත් පන්තියෙ ළමයි ඔයවගේ විහිළුවක් කරපු පළවෙනි වතාව. “මම ඉස්කෝලෙ එනකොට එරානිගෙ බෑග් එක දැකලා වාහනෙන් බැහැලා බැලුවා. ශිෂ්‍යනායක පදක්කමත් බිම තිබුණා...” භක්ති කියුවෙ එච්චරයි. කදුළු බින්දු කම්මුල් දිගේ බිමට බහින්න බයෙන් භක්ති ගේ ඇස්වල පොදි ගැහුණා.
මට ඇඬුණෙ නැහැ. ඒ කියන්නෙ එරානි තවදුරටත් මෙහෙ එන්නෙ නැද්ද? මට හිතුනෙ එච්චරයි.
හුළඟට හෙලවෙන්නෙ නැති තද නීති අපිට පාසල් ඇදුමෙන් එරානිව බලන්න යන්න නොදුන්නට අපි පාට ඇදුම් ඇදගෙන එරානි බලන්න ගියා. සුදුපාට මාල ගොතලා එරානි වටේ එල්ලුවා. එරානි කලින් සතියෙ එයා දිනපු සමස්ත ලංකා සම්මාන සාලෙ වීදුරු රාක්කෙ කාටත් පේන්න තැන්පත් කරලා තිබුණා. එන අය සම්මාන දිහා බලලා හීල්ලුවා. ඉංග්‍රීසි ටීචර් මළගෙදර එන්න නැතුවැති.
පශ්චාත් මරණ පරීක්ෂණය ගැන මිනිස්සුන්ට විස්තර දැනගන්න නොලැබුණ නිසා මිනිස්සු එක එක කතා කිව්වා. මටත් ඒ කතා ඇහුණා.
එයා යාළුවෙලා හිටපු පිරිමි ළමයා පස්සෙ දවසක අතිරේක පන්තියක මේසයක් මත මෙහෙම ලියලා තිබුණා.
'තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම්
ඔබට ආදරෙයි මන්...
එරානි, ඔයා ඉස්කෝලෙ පෝයට සිල්ගත්ත දවසෙ අපි අවේලාවෙ කෑම කනකොට මම දුන්න පාන් කෑල්ල කෑවෙ නැත්තෙ ඊට දවස් දෙකකට පස්සෙ පෙට්ටියකින් ගෙදර එන නිසාත්, ඒ වෙනුවට පව් සමාකරගන්නත් බව මම දැනගෙන හිටියෙ නෑ.
ඔයා නිකමටවත් ඒ බව කිව්වා නම්, දිනුම ලැබෙන්නෙ ජීවත්වෙලා මිසක් මිය ගිහින් නෙමෙයි කියලා මට කියලා දෙන්න තිබුණා.'
nellikathandara@gmail.com
No comments:
Post a Comment