10/26/2012

මාලා මළා



“විජේ,” යි කියමින් සිසිර මා ළඟට පැමිණියේ ය. මම හිස ඔසවා බැලුවෙමි.
“මං මේ එන්නේ ඉස්පිරිතාලෙ ඉඳල, අල්ලපු ගෙදර සුනීතා මැරිලා... පාරේ යන වාහනේක හැපිලා”

“ඇත්තදැ”යි අසමින් මම පොතක් අතට ගෙන පිටු පෙරළන්නට වීමි. සිසිර මගේ මේසය මත වූ ලිපිගොනුවක් ගෙන ඉවතට ගියේ ය.
පොතේ පිටු අතරින් තෝරාගත් සංඛ්‍යා ලේඛන මාලාවක් ලිපි ගොනුවට එකතු කළෙමි.
මඳ වේලාවකට පසු මගේ මල්ලිගේ පුතා මා ළඟට පැමිණියේ ය.
“ඇයි පුතා”
“බාප්පේ, පුංචි අම්මා මැරුණා... ගෙදර ළඟදි වෑන් එකක හැපිලා එතනදි ම මැරුණා...”
මම හිස බදාගතිමි. කෑ ගැසුවෙමි. හැඬුවෙමි.
සති දෙකකට පසු මම යළි කාර්යාලයට ආවෙමි. සිසිර මා ළඟට පැමිණ මා දෙස බලා සිටියේ ය. මම සුසුමක් හෙළුවෙමි.
“සුනීතා ගේ මරණය ගැන කව්ව ම, ඇත්තද අහලා පොතක් පෙරළා ගත්තා. විනාඩි පහකට පස්සෙ බිරිඳ මාලා මළා කීවා විතරයි උඹ පොත විසිකරලා ඔපිසිය දෙකක් වෙන්න අඬන්න පටන් ගත්තා....”
සිසිර කීවේ ය.
මම මඳ වේලාවක් නිහඬව සිට පිළිතුරු දුනිමි.
“සුනීතා මගේ නොවේ”
මාලා මගේ....
මාලා මගේ නිසා - මගේ නිසා මා හැඬුවේ...
මම යළි නිහඬ වූයෙමි - සිතන්නට වූයෙමි
මා හැඬුවේ මගේ ය කියන හැඟීම නිසා - මගේ ය යන හැඟීමෙන් තොර වූයේ නම් මා හඬන්නේ නැහැ. කම්පාවන්නේ නැහැ...
denagamamg@yahoo.com

No comments:

Post a Comment