වියරු වෙස් ගත් හිරු මහ පොළොව ද ගහ කොළ ද අතොරක් නැතිව දවයි. පුවක් ගස් වියළී මැරී යන්නේ වතුර නොමැතිව වැඩි කලක් අල්ලාගෙන ඉන්නට බැරි බව කියා පාමිනි. අඹ, කොහොඹ තවමත් කොළ පැහැයෙන් බබළන්නේ සැඩ හිරුට අභියෝග කරමින් වගේ ය.
බොහෝ ළිංවල වතුර සිඳී ගොසිනි. කළ ගෙඩි ද බාල්දි ද එල්ලාගත් ගැහැනු දිය සොයා යති. ඉතා ගැඹුරු බැවින් තවම නොසිඳුන අපේ ළිඳට වතුර ගෙනයන්නට එන කිරි අම්මලා, නැන්දලා, අක්කලා දෙස මගේ දරුවෝ බලා සිටින්නේ අයාගත් ඇස්වලිනි.
“ඇයි අම්මෙ වතුර ගෙනියන්න අත්තම්මල , නැන්දල , අක්කලා ම එන්නේ?” යි නිවුන්නුන්ගෙන් එකෙකු විමසුවේ ය. මා කිසියම් කාරියක නිරත වුණ බැවින් ඒ ප්‍රශ්නය නැගුවේ කවුරුන්දැයි නිශ්චිතව දැන ගන්නට අසමත් වීමි. පැහැයෙන් ද පෙනුමෙන් ද එක හා සමාන පිරිමි ළමයින් දෙදෙනාගේ මුහුණු නොබලා අහවලා යැයි කීමට මට ද නුපුළුවන.
“මට ඒ ප්‍රශ්නෙ තේරුණේ නෑ...” යි මම ඇත්ත ම කීවෙමි.
“කෝ ඉතිං මාමලා අයියලා...? ඒ ගොල්ලො කවුරුවත් එන්නෙ නෑනෙ වතුර ගෙනියන්න”
සැබැවින්ම ප්‍රශ්නයක් තිබෙන බව මට වැටහිණ. අවුරුදු නවයක පොඩිත්තෙකු හට එය පෙනී යාම පිළිබඳ මම සතුටු වීමි.
“ඇයි ඊයෙ ආවෙ කුසුම්තිලක් මාමා....”
අනෙක් නිවුන්නා කතා කළේ ය. ඔහු චූටි පුතා ද පුංචි පුතා දැයි මම කල්පනා කළෙමි. ඇතැම් දවසක මම “කෝ මේ පැත්ත බලන්න. මූණ පෙන්නන්න” යි ඉල්ලා සිටිමි. නොඑසේනම් “කවුද ඔයා? චූටි පුතා ද පුංචි පුතා ද?” යි අසමි.
“මං පුංචි පුතා” යි උත්තර දී මා රවටන්නේ චූටි පුතා ය. නැත්නම්” මං චූටි පුතා” බොරු කියන්නේ පුංචි පුතා ය. ඒ බොරුව හෙළිදරව් කරගන්නට සමත් වූ දවසක මා ඔහුට දඬුවම් කරන්නේ හාදු වරුසාවකි නි.
“ඇති ඇති... අනේ අම්මේ මාව අතාරින්න...” යි පොඩිත්තා කෑ ගසයි.
“මට උස්මුරුත්තාව“ යි ඔහු කියන්නේ හුස්ම ගන්නට අපහසු තරමට මගේ ග්‍රහණය දැඩි වූ දවසක ය.
“හාදු උස්මුරුත්තාවද?” යි අසන මම හිනැහෙමි. ඒ හිනාවට පිං සිදු වන්නට ඔහු මගෙන් ගැලවී පැන දුවයි.
“ඇයි අම්මෙ කිරි අත්තලා , මාමලා අයියලා වතුර ගෙනියන්න එන්නැත්තෙ...? පව් සිද්ධ වෙනවද?”
නිවුන්නු මගෙන් උත්තරයක් බලාපොරොත්තු වන නිසා මම සිතුවිල්ලෙන් ගැලව ගතිමි.
“පිරිමි කට්ටිය දවල්ට කුඹුරුවල හේන්වල වැඩ නෙ පුතේ...”
“ඉතිං අම්ම ම නේ කීවෙ වැස්ස නැතිව වැව් හිඳීල... කුඹුරු වැඩ කරන්න විදියක් නෑ කියල කාටවත්...”
පුංචි පුතා මා කියූවක් මට මතක් කර දෙයි.
“ඔව්. ඒ වුණාට සමහරු ඈත පළාත්වල යනවනේ වැඩ හොයාගෙන...”
“මං නං දැක්ක සමහර මාමලා තේ කඩේ තේ බොනව“ චූටි පුතා මා දෙස එක එල්ලේ බලයි.
“උයන එක රෙදි හෝදන එක වතුර අදින එක ළමයි හදන එක ගෑනු අයට විතරක් අයිති රාජකාරි කියල හිතන අය ගොඩක් ඉන්නවා පුතේ”
“ඒක ද ඒ මාමලා තේ බොද්දි නැන්දලා වතුර අදින්නෙ...?”
මම හිස සලමි. මේ පිරිමි දරුවන් කවදා හෝ දවසක ඔවුන් වෙත එන ගැහැනු දරුවන් හට කරුණාවෙන් සලකනු ඇත්දැයි මම කල්පනා කළෙමි.
“ඉතිං අම්මෙ මේ නැන්දලා පව්නේ...”
නිවුන්නු මුහුණු හකුලා ගනිති.
“ඔව් පුතේ වතුර කළගෙඩි බාල්දි උස්සගෙන දුර යන එක ලේසි නෑ තමා”
“ඇයි අම්මේ මාමලාට වතුර අදින්ඩ කියලා නැන්දලා තේ කඩේට වෙලා තේ බොන්නැත්තේ?”
වඩාත් විචිත්‍ර කල්පනා ඇත්තා වන චූටි පුතා අහිංසක ලෙස ඇසුවේ ය.
“නැන්දලා හන්දි ගානෙයි කඩවල් ගානෙයි නිකරුණේ රස්තියාදු ගහන්නේ නැහැ ළමයො...”
“ඇයි ඒ?”
දෙදෙනා ඇසුවේ එකම වර ය.
“එහෙම වුණොත් මාමලාට ඉන්ඩ වෙන්නේ බඩගින්නෙ තමා. ඔය මහත්තුරු දෙන්නත් දැනි ගිහිං හෝම් වර්ක් කරනවද? නැත්තං ඉතිං අද රෑට කන්න වෙන්නෙ නෑ....”
ඔවුන් දෙදෙනා දිව ගියේ මා ගාමින් තිබූ පොල් වට්ටියට ද අත් පෙවීමෙන් පසුය.
srmsenapura@gmail.com
No comments:
Post a Comment