10/26/2012

කඟවේනුන් සමඟ විසූ බලංගොඩ මානවයා



ආචාර්ය පවුලස් එඩ්වඩ් පීරිස් දැරණියගල මෙරට හිටපු විශිෂ්ට ගණයේ බුද්ධිමතෙක්. ඔහු අන්තර්ජාතිකව පවා කීර්තිධර වූ පුරා විද්‍යාඥයෙක්. D.E.P Deraniyagala Commemortion Volume (1980) නම් වූ කෘතිය ආචාර්ය දැරණියගලගේ ශාස්ත්‍රීය සම්ප්‍රදාය ගැඹුරින් විමසා බැලෙන අගනා ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දෙන්ට පුළුවන්. 

එය සංස්කරණය කරනු ලැබ තියෙන්නේ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක, ආචාර්ය තෙල්මා ගුණවර්ධන හා ආචාර්ය රෝලන්ඩ් සිල්වා යන විද්වතුන් විසිනි.
ආචාර්ය දැරණියගල ප්‍රභූ පවුලකින් පැවත එන්නෙක්. ඔහුගේ පියා ශ්‍රීමත් පෝල් ඊ. පීරිස්. විශිෂ්ට ගණයේ ඉතිහාසඥයෙක්. මව හිල්ඩා ඔබේසේකර. දැරණියගල පවුලේ හතරදෙනයි. ඒ ජස්ටින් පීරිස් දැරණියගල. මෙරට බිහිවුණු අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියෙක්. මිරියම් පීරිස් ප්‍රකට නර්තන වේදිනියක්. රැල්ෆ් පීරිස් තුන්වැනියා. ඊළගට ආචාර්ය දැරණියගල.
ආචාර්ය දැරණියගලටත් දරුවන් හතර දෙනයි. ඒ අර්ජුන, සිරාන්, රනිල් හා ඉෂානිත්. මෙයින් රනිල් තවත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. සිරාන් දැරණියගල පියාගේ අඩිපාරේ යමින් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට එක්ව පියා නැවත්වූ තැන් සිට බොහෝ දුරක් ඉදිරියට ගිය අද්විතීය පුරාවිද්‍යාඥයෙක්.
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බලංගොඩ මානවයා ආචාර්ය පී.ඊ.පී.දැරණියගලගේ අගනා සොයා ගැනීමක්. ඔහු බලංගොඩ මානවයා සොයා ගත්තේ මැණික් පතල්වලින් ගොඩ දැමූ සත්ත්ව ශේෂයන් එක්රැස් කිරීමෙන් හා ඒ පිළිබඳ පර්යේෂණ කිරීමෙන්. ආචාර්ය දැරණියගලගේ පර්යේෂණ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු ගොඩ නැංවීමේ දී ඉතා වැදගත් බවත් අවුරුදු 29 දාහකට එහා අපේ රටේ ආදී මිනිසකු සිටි බවට ඔප්පු කළ හැකි කරුණුවලට මුල් පදනම ලැබුණේ 1940 ඔහු ආරම්භ කළ මෙම ගවේෂණ නිසා බව ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ ඩබ්ලිව්.එච්.විජේපාල ප්‍රකාශ කර තිබෙනවා. ආචාර්ය දැරණියගල 1957 දී බලංගොඩ කල්තොට ප්‍රදේශයේ බෙල්ලන් බැඳි පැලැස්සේ කැණීම් කටයුතු කර බලංගොඩ මානවයාගේ ඇටසැකිලි 8 ක් සොයා ගත්තා. ඔහු බලංගොඩ මානවයා හැඳින්වූයේ‘HOMO SAPIENS BALAN GODENSIS DERANIYAGALA’ යනුවෙන්.
ආචාර්ය දැරණියගල බලංගොඩ මානවයා චිත්‍රයකට ද නඟා තිබෙනවා. එහි කැටයමක රේඛා චිත්‍රයක් දැනට බ්‍රිතාන්‍යයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දක්නට ලැබෙනවා.
බලංගොඩ මානවයා සමඟ විසූ සතුන් ගැනත් ආචාර්ය දැරණියගල පර්යේෂණ කර තිබෙනවා. එකල රයිනෝසිරස්ලා පවා ලංකාවේ ජීවත්වෙලා තිබෙනවා. කඟවේනා යනුවෙන් ඔහු දක්වා ඇත්තේ මේ රයිනෝසිරස්ලා. ඒ හැරුණුකොට සිංහයන්, හිපපොටේමසුන්, ගවරුන් පවා ලංකාවේ ඉඳලා තියෙනවා.
ආචාර්ය දැරණියගල මේ සතුන්ද සිතුවමට නඟා තිබෙනවා. ඔහුගේ සොහොයුරාත් (ජස්ටින් පීරිස් දැරණියගල) පුතාත් (රනිල්) ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් බව මෙහිදී අප අමතක කරන්න නරකයි.
ආචාර්ය දැරණියගල චිත්‍ර කලාව පිළිබඳ විශේෂඥයෙක් ද වෙනවා. ඔහු සීගිරි බිතු සිතුවම් ගැන කර ඇති පර්යේෂණ අද්විතීයයි. සීගිරි චිත්‍රවල චීන චිත්‍ර කලාවේ බලපෑමක් ඇතැයි යන මතවාදය පළමුවරට ඉදිරිපත් කළේ ඔහු. ඔහුත් මහාචාර්ය පරණවිතානත් අතර සීගිරි බිතුසිතුවම් අළලා ප්‍රසිද්ධ විවාදයක් පවා එකල පැවැත්වූ බව මා අසා තිබෙනවා. දකුණු පළාතේ යාල අභය භූමියට නුදුරින් පිහිටි කුඩුම්බිගල ක්‍රි.ව.තුන්වැනි සියවසට අයත් පැරණි චිත්‍ර කීපයක් ද දැරණියගල මහතා සොයාගෙන තිබෙනවා.
ආචාර්ය දැරණියගලගේ ‘ලෝකයේ වඳවී ගිය අලි හා දැනට ජීවත්වන අලි’ බොහෝම ප්‍රකට පොතක්. ‘අලි පිළිබඳ විද්‍යාව‘ , ‘සර්ප වෙදකම’, ‘සර්වාංග වෙද පොත’, ‘ඇස් වෙදකම’ ඔහු ලියූ තවත් පොත් කීපයක්. ලංකාවට ජූඩෝ ක්‍රීඩාව හඳුන්වා දුන්නෙත් දැරණියගල මහතා යැයි පැවසෙනවා. එහි ඇත්ත නැත්ත මා දන්නේ නැහැ.
ලංකාවේ ඛනිජ තෙල් තියෙනවා කියන එක මුලින්ම සොයාගත්තෙත් ආචාර්ය දැරණියගල වෙන්න ඕනෑ. ඔහු එය සොයා ගත්තේ තබ්බෝව, ආඬිගම හා මන්නාරම වැනි ප්‍රදේශවලින් ලබාගත් පුරාසික යුගයට අයත් පාෂාණිභූත වස්තු පරීක්ෂා කිරීමෙන් පස්සේ.
1973 දී මේ විශිෂ්ට ගණයේ පුරා විද්‍යාඥයා අපෙන් සමුගත්තා. එහෙත් ඔහුගේ යුග කාරක මෙහෙවර සදා අමරණීයයි යැයි කියන්න පුළුවන්.
pothakinpeththak@gmail.com

No comments:

Post a Comment