10/12/2012

පොඩිනම, කරේ සිවුරකුත් තියෙනවා නේද?



අපේ නායක හාමුදුරුවන්ගේ ඥානකාය හරිම ඉහළයි. උන්වහන්සේගේ මතක ශක්තියත් ඒ වගේමයි. සිදත් සඟරාවත්, බාලාවතාරයත්, සාරස්වතයත් පමණක් නොවෙයි පාලි, සංස්කෘත, සිංහල ඕනෑම පොතක් පිළිබඳ ඇත්තේ ඒවා වන පොත් කළ මතකයක්. පොඩි හාමුදුරුවන් පොත බලාගෙන වරද්දන සංස්කෘත පාඨ නායක හාමුදුරුවන් නිවැරදි කරන්නේ කටපාඩමින්.

අපේ නායක හාමුදුරුවන් වහන්සේ පළාතේ වැඩසිටි හාමුදුරුවන් අතර උගත්කමින් බොහෝම ඉදිරියට ගිය කෙනෙකි. ඒ කාලේ බොහෝ අය උගත්කම මැන බැලුවේ කටපාඩම් ප්‍රමාණය අනුවයි. සංස්කෘත ශ්ලෝක කිහිපයක් එක දිගට කටපාඩමින් වැමෑරිය හැකි නම් ඔහුත් හරි උගතකු ලෙස සමාජය පිළිගනියි. උගත්කමේ ස්වර්ණ සංඛය වූයේ “රාජකීය පණ්ඩිත” උපාධියයි. කවුරුන් හරි පාලි, සිංහල, සංස්කෘත යන භාෂා තුනෙන් එම ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන යන විභාග තුනම සමත් වූයේ නම් ඔහුට ගහන්න උගතෙක් එදා සමාජයේ සිටියේ නැත. කරුණු කාරණා විවිධ දෘෂ්ටිකෝණවලින් විග්‍රහ කිරීමේ හැකියාවට වඩා ස්මෘති ශක්තියට තැන ලැබිණි. එදා රාජකීය පණ්ඩිත ඇතැම් අය තුළ පැවතුණේ උගත්කමේ උපශාන්ත බවට වඩා ප්‍රචණ්ඩත්වයයි. එබඳු උගතුන් උපහාසයට ලක්කිරීම සඳහා කොළඹ යුගයේ ඇතැම් කවියෝ කවි ලිවුවා.
රාජකීය පණ්ඩිත රන් පදක්කම
ලැබගත් උගත්කම ගැන මුල් ඉලක්කම
ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම
ලෙබ්බෙට වගේ සලකයි දුටුව මක්කම
ඒ කාලේ කවි ලියූ ගොඩක් හාමුදුරුවන් තමන්ගේ නියම නමින් ලිව්වෙ නැහැ. නියම නම හංගලා වෙනත් නමක් ආරූඪ කරගෙන ඒ නමින් තමයි ලිව්වේ. කවි විතරක් නොවෙයි පුවත්පත්වලට ලිපි ලේඛනත් ලිව්වේ වෙනත් නම්වලින්. ඒ වගේ ලිව්ව පසුකාලයේ නියම නමින් ගොඩක් ප්‍රසිද්ධ වුණ හාමුදුරුවන් ගොඩක් ඉන්නවා.
යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන් “කාලය” සඟරාවට ලිව්වේ “කාලය” යන නමින්. මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හාමුදුරුවන් ලංකාදීප පත්තරේට “සිතන කලාව“ ලිව්වේ “සිසී” යන නමින්. ගනේගම සරණංකර හාමුදුරුවන් දිනමිණ පත්තරේට “දඹදිව විත්ති” ලිව්වේ පියරංජන් යන නමින්. පඹුරණ ‍මෛ‍‍ත්‍රය හාමුදුරුවන් දිනමිණ පත්තරේට ලිව්වේ “සීයා” යන නමින්. සමහර හාමුදුරුවන් ආරූඪ නම් කීපයකින් ම පත්තරවලට ලියා තිබේ. පී. ඇන්. තිසේරා, මයුරපාද, සුරගුරු, භුම්මාට, දෙවියෙක් යන නම්වලින් පුවත්පත්වලට ලිපි ලියුවේ හේන්පිටගෙදර ඥානසීහ නාහිමියන්. එබඳු ආරූඪ නම්වලින් ම පොත්පත් පවා අච්චු ගැස්සූ හාමුදුරුවරු එදා සිටියහ.
කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමියන් ද එදා ලිව්වේ ආරූඪ නමින්. තමන්ගේ නමෙහි මුල් ඉංශ්‍රීසි අකුරු එකතු කොට සකස් කරගත් කේ. ඒ. එස්. පසුව කේයස් නමින් ප්‍රසිද්ධ වී ගියේ ය. සමාජවාදී අදහස්වලින් සමාජය දෙස බැලූ කේයස් එදා ඇතැමුන් උගත්කම ආභරණයක් ලෙස පාවිච්චි කිරීම උපහාසයෙන් යුතුව දුටුවේ ය. මක්කම දුටු ලෙබ්බේට මුස්ලිම් සමාජය තුළ සැලකිල්ලක් ලැබෙයි. “රාජකීය පණ්ඩිත” යන ලේබලය පුහු අභිමානයක් බව ඔහුගේ අදහස විය.
අපේ නායක හාමුදුරුවන්ගේ නම ද දිග පළල සහිත ලොකු එකක් වුව ද උගත්කමේ ප්‍රචණ්ඩත්වයක් උන්වහන්සේ තුළින් පොඩි හාමුදුරුවන් කවදාවත් දුටුවේ නැත. උගත්කමේ උපශාන්ත බවින් ජීවිතය සරසා ගත් උන්වහන්සේ දැනුම් තේරුම් සහිත ඕනෑම කෙනෙකුට හරියට ගරු සරු කරනු ලැබීම පොඩි හාමුදුරුවන්ගේ හිත නිබඳ සසල කරනු ලැබී ය.
එක දවසක් හීන් ඇඳිරිය ගම වටකරන වෙලාවේ නාගසලං වී ගමේ අන්දර චන්දරේ නාගස්මණ්ඩිය පල්ලෙහා පාරෙන් ගෙදර යමින් සිටියේ ය. සාමාන්‍යයෙන් හොඳ හැටි පදම් වූ විට වෙස්සන්තර ජාතකේ කවි කටපාඩමින් ගම දෙදරන්න කියන ඔහු පොඩි හාමුදුරුවන් තනියම බෝමළුව අමදිමින් සිටිනු දැක හොඳටම කේන්ති ගත්තේ ය.
“හ්හ: පොඩි හාමුදුරුවො මක් කරනවයි මේ මූකලං වෙලාවේ බෝමළුවේ. අකීකරු වෙන්නද හදන්නේ. වඩිනව හොඳයි ආවාස ගෙට ඉක්මනට” යි සැරෙන් කීවේ ය. හරිම මියුරු කතා ඇති අන්දර චන්දරේ නැටුම් තෙල් දාගත්ත වෙලාවට නයිමිරිස් වගේ බව පොඩි හාමුදුරුවන් දන්නේ අද ඊයෙක සිට නොවේ. බැන්නේ හැන්දෑවේ තනියම බෝමළුව අතුගාමින් සිටි නිසා තමන්ගේ හොඳට නේදැයි හිතුවත් “පොඩි උංගෙන් වැඩ ගන්නවා” යයි කියූ කතාව හිතට ඇල්ලුවේ නැත.
ඌ එය කීවේ නායක හාමුදුරුවන්ට ඔලොක්කුවට ය. “තො අපේ නායක හාමුදුරුවන්ට... යි කී පොඩි හාමුදුරුවො ඉදලත් උළුක් කරගෙන අන්දර චන්දරේ පසුපස එලවාගෙන ගියේ ය. කැහැපට ගහගෙන සිටි සරොම තදකර අල්ලා ගත් චන්දරේ අඩිය ඉක්මන් කර බඩවැටියෙන් කිරිල්ලගස් යායට පැන ඇඳිරියේ නොපෙනී ගියේ “කළ හොඳ පස්සෙන් එලවනවෝ”යි මහ හයියෙන් විලාප තබමින් ය.
චන්දරේගේ විලාප හඬයි සම්පූර්ණ සිද්ධියයි හරි ඉක්මනින් නායක හාමුදුරුවන්ට ආරංචි වී තිබිණි. ඒත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් නායක හාමුදුරුවන් තුළ කිසිම හාවක්, හූවක් නොමැති වීම පොඩි හාමුදුරුවන්ගේ හිතට සැනසිල්ලක් අරගෙන ආවේ ය. හිත ඇතුළේ කලබලේ හින්ද වත පිරිතෙන් තැන තැන කඩතොළු හැදුණේ ය. පිරිත් කියා අවසානයේ පත්කඩය එලා නායක හාමුදුරුවන්ට වැඳ නැඟිට නැවතත් පුරුදු පරිදි දෑත් එකතු කරන කොටම උන්වහන්සේ වෙත යොමු වූ ප්‍රශ්නය පොඩි හාමුදුරුවන්ට ආයිත් වතාවක් මහ රෑ හීනෙන් ද පෙනුණේ ය. නායක හාමුදුරුවන් විමසා සිටියේ “පොඩිනම කරේ සිවුරකුත් තියෙනවා මතකයි නේද?” කියා ය. පොඩි හාමුදුරුවන් ගමේ වෙරිකාරයන් සමඟ ගෝරි කරගන්නා බව කවුදෝ නායක හාමුදුරුවන්ගේ කනේ තියා ඇති බව ආරංචි වුණේ දවස් දෙක තුනකට පසුව ය.

No comments:

Post a Comment