“අපි කවි පොතක් කරමුද?” ඒ ප්‍රශ්නෙ මනෝගෙන්. ජයලත් මනෝරත්නගෙ කවි මම කියවල තිබුණෙ නැහැ. හැබැයි කෙටි කතා නම් කීපයක් ම කියවලා තිබුණා පත්තරවලින්. මනෝ පේරාදෙණියේ ඉන්න දවස්වල වැහි එනතුරු කියල කෙටිකතා පොතකුත් පළකරල තිබුණලු. මගේ කවි නම් පත්තරවල විතරයි. වැඩිපුරම වනිතා විත්තියෙ. ශ්‍රී සඟරාවෙ. ඉඳහිට නවයුගයෙ, සිළුමිණේ.
“කවුද අපි කියන්නෙ?” මම මනෝගෙන් ඇහුවා.
“අප කියන්නෙ, අපි තුන්දෙනා, සුනිලුයි, බුද්ධියි, මමයි..” මනෝගෙ උත්තරෙත් එක්ක කවි පොතක් පළකිරීමේ අපූරු කල්පනාව හිතට ආවා. කවිපොත ගැන කතා බහ වැඩිපුර පැවැත්වුණේ සුනිල්ගේ තිලක උයනෙ මහ ගෙදර, සුනිල්ගෙ කාමරේ. අපිට තේ හදල දෙන්නෙ සුනිල්ගෙ අම්මා. මනෝටයි, මටයි වගේ සුනිල්ට විවේක නැහැ. ඒ දවස්වල, මොකද සුනිල් ෆයිනල්ස්වලට පාඩම් කරන නිසා.
පත්තරවලට, කැම්පස් සඟරාවලට කවි ලිය ලියා හිටපු බුද්ධදාස ගලප්පත්ති, සරච්චන්ද්‍රගෙ පෙමතො, සිංහබාහු, මනමේවල රඟපාපු කෙටිකතා ලියන ජයලත් මනෝරත්න, පුංචි කාලෙ පවුලෙ අයත් එක්ක අපි ඔක්කොම කියල නිර්මාණ පොතක් පළ කරපු සරාගී කෙටි චිත්‍රපටය හදපු ගුණසේන ගලප්පත්තිගෙ මූදු පුත්තු නාට්‍යයේ වේදිකාවෙන් පිටිපස්සෙ හිටිය විද්ද්‍යොදෙ සිංහල ගෞරව උපාධියට පාඩම් කරන සුනිල් ආරියරත්න, ළඟදී ම කවියො තුන්දෙනෙක් වෙනව නේද කියල මට කල්පනා වුණා. ඇත්තටම ඒක මනෝගෙයි මගෙයි හීනයක් විතරක්ද? 1971 ජූලි මාසෙ 26 දා දී තමයිඅවසාන වතාවට අපි තීරණේ කළේ කවි පොත, මරදානෙ අයි. පී. බී. කියන මුද්‍රණාලෙන් අච්චු ගහමු කියලා.
මරදානෙ අයි.පී.බී. ප්‍රෙස් එක ගැන ලියන්න හුඟාක් දේවල් තියෙනවා. ඉස්සරහට ඒ ගැන ලියන්න තියාගන්න පුළුවන්. දින පොතක් ලියන්න මම පුරුදුවෙලා හිටය. දැන් හිතෙනවා ඒක කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලා. ඒ දවස්වල සමහර පුංචි පුංචි සිද්ධි පවා මගේ දිනපොතේ ලියවිලා තිබුණා. සමහර සිද්ධි පස්සෙ කාලෙ මගේ කවියකට ලියවිලා තිබුණා. සමහර සිද්ධි පස්සෙ කාලෙක මගේ කවියකට අත්දැකීමකුත් වුණා. අපි තුන් දෙනාගෙ කවි පොත පළ කරන්න තීරණය කරපු ජූලි 26 වෙනිදාට ඉස්සරින්දා 25 ඉරිදා මගේ දින පොතේ මෙහෙම ලියවිලා තියෙනවා. “මනෝ මම දන්තු (දන්තුරේ බණ්ඩාර) හවස අපි සීතල වැස්ස අතරේ එකතු වුණා. කොටුවට. ජීවිතේ අපිට දකින්න නොලැබෙන දේවල් අහම්බෙන් දකින්න ලැබෙනව. බැංකුව අයිනෙ කුලුනක් යටට වෙලා උඩට හරියට ඇඳුමක්වත් නැතුව, පොතක ඉස්කෝලෙ වැඩ කළ පුංචි දැරිය අමතක වෙන්නෙ නැහැ මට. ජීවිතේ එක පැත්තක් ඒක. හුඟක් අයට ඒ ටික පේන්නෙ නැහැ...” ඒ වගේ චරිත පස්සෙ කාලෙ මගේ කවිවලට එකතු වෙලා තිබුණා.
කෝ ඉතින් කවි පොතට නමක්? දොළොස් මහේ පහන. මනෝ යෝජනා කළා. ඒකමතිකව තීරණය වුණා. එක්කෙනාගෙන් කවි පංති දහය බැඟින්. පොත් 2000 ක් ගහමු කියල තීරණය වුණේ. සම්පූර්ණ වියදම රුපියල් 1150.00 ක් මුලින් ම රුපියල් 150.00 ක් තුන්දෙනාගෙන් දෙන්න ඕන. රුපියල් එකසිය පණහක අත්තිකාරමකුත් එක්ක අපේ කවි සිහිනය 1971 ජූලි 27 අඟහරුවාදා මරදානේ අයි පී බීයේ සෝමපාල හේවාකපුගේට බාර දුන්නා.
මගෙත් මනෝගෙත් කවි පිටපත් විතරයි මුලින්ම ප්‍රෙස් එකට දුන්නෙ. මගේ සමහර කවි, වනිතා විත්තියෙ කලින් පළවෙච්ච නිර්මාණ. චන්ද්‍රලතා හා ඉන්ද්‍රලතා, ලුම්බිණිය හා රෙදි මෝල වගේ කවි. ඒ කවි මුලින් ම රසවින්දෙ වනිතා විත්ති සංස්කාරිකා ඊවා රණවීර. මම ඊවා රණවීර කවුද කියල දැනගෙන හිටියෙ නෑ. මම කරන්නෙ තැපෑලෙන් කවි යවන එක. හැබැයි මාසෙකට දෙවතාවක්වත් වනිතා විත්තියෙ තුන්වෙනි පිටුවෙ මගේ කවියක්. හතරවෙනි පිටුවෙ මගේ කෙටිකතාවක්. ඊවා රණවීර ලේඛිකාව මට හැබැහින් දැන අඳුන ගන්න ලැබෙන්නෙ මගේ ජීවිතේ පස්වෙනි දශකයෙ දී විතර. ඒත් ඈ මගේ කවි තෝරල වනිතා විත්තියෙ පළ කරනකොට මම වයස අවුරුදු විසි තුනක විතර කොලු ගැටයෙක්.
පළමුවෙනි කවි පොතට තෝර ගත්ත, වනිතා විත්තියෙ පළවෙච්ච සමහර කවිවල අත්දැකීම් ගැනත් මතක මාවතේ ඇවිදින කොට මතක් වෙනවා. ලුම්බිණියට අල්ලලා වැල්ලවත්ත ඇලෙන් එහා පැත්තෙ තියෙන්නෙ රෙදි මෝල. වැල්ලවත්ත ස්පිනිං ඇන්ඩ් වීවිං මිල්ස් කියන රෙදි කර්මාන්ත ශාලාව. දාස් ගණනක් කම්කරුවො ඒකෙ වැඩ පැය විසිහතරෙම. ලුම්බිනි රඟහලේ මිදුලට පේනවා රෙදි මෝලෙ දුම්රොටුව.
සේවකයන්ගෙ වැඩ මුර මාරුවෙන බව දැනුම් දෙන සංඥාව (සයිරන්) සද්දෙත් ලුම්බිනියට ඇහෙනව. ලුම්බිණියෙ අලුත් නාට්‍යයක් පෙන්නන දවසට ප්‍රේක්ෂකයො සූ ගාල පිරිලා. හැඩට ඇඳලා වෛවාරන්න ඇඳුම්, කොණ්ඩ මෝස්තර, හයේ කණිසමට ලුම්බිණියේ දොරවල් ඇරල ඒ ගොල්ලන්ව ඇතුළට ගන්න කල් ඒ අය බලා ගෙන ඉන්නවා. හයේ කණිසමටම රෙදි මෝලෙ දවල් වැඩ මුරය ඉවරවෙලා ගෙදර යන්න ඒකෙ සේවකයො බලාගෙන ඉන්නවා. ඉක්මනට ගෙදර ගිහින් ඒ අයගෙ අඹු දරුවො එක්ක එකතු වෙලා රෑට කෑම ඩිංගක් කන්න. දූ දරුවන් එක්ක ගත කරන්න. ඒත් ලුම්බිණියෙ නාට්‍ය නරඹන්න දොරටු අරිනකල් ඉන්න නෝන මහත්වරු එතෙන්ට එන්නෙ, නාට්‍යයක් නරඹලා ප්‍රීතිවෙලා වෙනමම සතුටක් ලබන්න. මේ දෙආකාර, පිරිස් දැකල තමයි මම ලුම්බිණිය හා රෙදි මෝල කවිපන්තිය ලිව්වෙ.
චන්ද්‍රලතා හා ඉන්ද්‍රලතා ත් එහෙමයි. පෙම්වතියො දෙන්නෙක්. එක්කෙනෙක් තමාගෙ පෙම්වතා, බීර වීදුරුක්වත් බොනවට කැමැති නැති චරිතයක්. අනිත් එක්කෙනා ඊට වඩා වෙනස් විවෘතව හිතන කෙළිලොල් දඟකාර එකියක්. මේ චරිත සංකේතවත් කරමින්, චන්ද්‍රලතා ඉන්ද්‍රලතා කියන නම් දෙක කවියට යෙදුවෙ. නාට්‍ය ජීවිතය නිසා වෙනස් ආකාරයේ අලුත් අත්දැකීම් ජීවිතේට එකතු වුණා. පස්සේ කාලෙක ඒවා කවි බවට නැවත ලියවුණා.
කවිපොත ප්‍රෙස් එකට දුන්නට පොතක් වෙන්නෙ නැති විත්තිය මම දැනගෙන හිටියා. පෙරවදනක් ලියවගන්න ඕන කියලා අපි තුන් දෙනාට කල්පනා වුණා. ඒකට තුන්දෙනාගෙම කවිවල පිටපත් ඕන නේ. මගේ කවි ඔක්කොම වගේ යතුරු ලියනය කරවපුව. ජාතික ලුණු සංස්ථාවෙ හිටපු කුමාරි කියන ලඝුලේඛිකාව මගේ කවි යතුරු ලියනය කළේ. ඇය සාහිත්‍යයට නාට්‍යයට ආසා කරපු කියවන්න කැමැති සුන්දර චරිතයක්. පෙරවදන වගේ ම පොතට කවරයක් නිර්මාණය කරවා ගැනීමත්, අපේ ඊළඟ සැලසුමට ඇතුළත් වෙලා තිබුණා. බුද්ධදාස ගලප්පත්ති, ජයලත් මනෝරත්න, සුනිල් ආරියරත්න කවීන්ගේ දොළොස් මහේ පහන් සිංහල කවියට එකතු වුණු පළමුවෙනි ත්‍රිත්ව කවිපන්තියෙ කවි පොත ද කියලත් දැන් කල්පනා වෙනවා
No comments:
Post a Comment