10/19/2012

පැවිද්දාගේ නිවන සහ ගිහියාගේ නිවන



විලිකුන් සුරත් පල වන් රතුපාට ඉරපාන නාගස්මණ්ඩිය මුදුනින් බස්නාහිර අහස දිහාවට සෙමින් සෙමින් ඇවිදගෙන යයි. වනපොත් කරමින් සිටි සාමණේර බණ දහම් පොතේ දකුණු පිටුවේ අග සිහින් කොටසක් නමා පොත ද වසා පොඩි හාමුදුරුවෝ ‘දැන් වේලාව හරියයි සිතින් තමාට ම කියා ගනිමින් හුනස්නෙන් නැගිට සිය කුටියේ දොර ද වසා දැමූහ.

ඉ‍ෙණහි බැඳ ඇති පටියෙහි කෙළවර සිය කුටියේ යතුර ගැටගසා ගත් උන්වහන්සේ මිදුලට බැස ගල් තරප්පු පේළිය දිගේ ඉහළ මලුවට පිය මැන්හ.
ගමේ කොල්ලෝ පාසල් පිට්ටනියේ බෝල ගසති. ඒ දෙස නොබැලුවා සේ බලා පොඩි හාමුදුරුවෝ සුදුපාටට පිපී ඇති වතුසුදු මල් ගස් පේලියේ මල් නෙළන්නට විය. ගිහි කොල්ලන් දුව පැන සෙල්ලම් කළත් එහි වරදක් නැත. නමුත් කහ සිවුර කරේ දාපු පොඩිනමකට එම ක්‍රියාව ගැළපෙන්නේ නැති බව කියන්නේ නායක හාමුදුරුවන් වහන්සේ ය. පොඩිනම , ගිහියාත් පැවිද්දාත් යන්නේ එකම නිවනට තමයි. ඒත් දෙගොල්ලන්ගේ ම ගමන් විලාසය වෙනස්.
ගිහියා නිවනට යන්නේ හරි හෙමින්. විවාහවීම්, ගෙවල් දොරවල් හැදීම්, ළමයි ලොකු ලොකු ඉස්කෝලවලට දාන්න පොර බැදීම්, සමාජ යුතුකම් ඔය වගේ ගිහියන්ට වැඩ ගොඩයි. ඒ නිසා යන්නේ හරි හෙමින්. මොනරාගේ ගමන් වේගය වගෙයි. ඒත් පොඩිනම අපි ඒවගේ නොවෙයි. අපිට තියෙන්නේ නිවන් මඟට යන ගමන ඉක්මන් කරන්න විතරයි. පිළිවෙත් සරු මහ සඟගන සොබනා යි කිව්වේ ඒකයි.
ඉඳහිට සිවුර ද හද හදා වමතින් මල්පැස ගෙන දකුණතින් නෙළන වතුසුදු මල් ලතාවකට වට්ටියේ පිරෙයි. උන්වහන්සේට තමන් වහන්සේට වඩා ගොඩක් උගත් කම් තියෙන නායක හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා දිගින් දිගට ම මතක් වෙයි. ‘අඤ්ඤො මේ ආකප්පො කරණීයෝති’ ‘පොඩිනම පැවිද්දා ගිහියාට වඩා වෙනස්. සිතිවිලිවලිනුත්, කතාවෙනුත්, ක්‍රියාවෙනුත් පැවිද්දා වෙනස්. පොඩි නම තමුසේ ඒක හොඳහැටි මතක තියා ගන්නවා ‘ යි නායක හාමුදුරුවන් තරමක සැරෙන් එදා කිව්වේ නාන ළිඟ ළඟදී.
 තමන් ගමේ කොල්ලන් සමඟ ඇතිකරගත් හබය නිසයි. එදා නායක හාමුදුරුවන් තමුසේ යයි කිව්වේ ද තරමක තරහෙන් හිටි නිසා යයි පොඩි හාමුදුරුවන්ට සිතෙයි. එසේ නූනානම් කවදාවත් එහෙම කියන්නේ නැත. ‘ඔව් මං මහණ වෙලානේ ඉන්නේ. ගිහි අය ඉන්නේ අපිට වඩා පහළින් යයි සිතින් අදිටන් කරගත් උන්වහන්සේ මල් අත්තේ අග තිබුණු වතුසුදු මල් කිහිපයකට අත පෙවූහ.
සික්.....ස......ර්ර්...ර්ර්...
පාසල් වත්තේ සෙල්ලම් කරන කොල්ලන්ගේ සද්දය එන්න එන්න ම වැඩිය. පොඩි හාමුදුරුවන්ට උන් හිටිතැන් අමතකව ගියේ ය. නෙළ නෙළා හිටි මල් වට්ටිය බිම අතෑරිණ. ඒ කොල්නන්ගේ කෑගැහිල්ල නිසා ය. සද්දේ හැටියට නම් ලොකු දෙයක් සිද්ද වෙන හැඩයි. පොඩි හාමුදුරුවන් දුවගෙන දුවගෙන ‍ෙගාස් නතර වුණේ පන්සලේ ගේට්ටු ළඟ ය.
ගේට්ටුව ළඟට ගිය පසු ඉස්කෝලෙ ක්‍රීඩාපිට්ටනිය ඇස් දෙක ළඟ වගේය. නායක හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්ගේ සොහොන් කොත තිබෙන්නෙත් එතනනය. විහාර ගෙයත් එතනට හොඳහැටි පෙනේ. පොඩිහාමුදුරුවන් එතනට දුවගෙන යනවිටත් කොල්ලන් ඔක්කෝම අහස දෙස බලාගෙන ය. පිත්තෙන් දැඩි සේ පහර කෑ රබර් බෝලය අහසේ ගෑවී නොගෑවී බිමට වැටෙන හැටි කොල්ලෝ කට දල්වාගෙන බලා සිටිති. හතරේ සීමාව දෙසින් දෙදෙනෙක් දෙපැත්තෙන් අහස දෙස බලාගෙන ඉදිරියට දිව එති.
පන්දුව අහසේ සිට බිමට වැටෙනවාටත් වඩා උන්ගේ වේගය වැඩිය. කමෝන්.....කමෝන්...යයි කෑ ගසනු ඇසේ. වේගයෙන් දුව ගෙන ආ එකෙක් අනිකාගේ ඇඟේ හැපී එහෙමම පත බෑවුණේ්ය. ඉහළට එස වූ අනිකාගේ දෑත් මතට වැටුණු පන්දුව දෑතේ නොරැඳී හතරේ සීමාවෙන් හා පැත්තට වැටී ඈතට පෙරළී ගියේය. පොඩි හාමුදුරුවන්ගේ කට ඇද විණි. ‘ආහ්’ යයි ඉබේටම කියවිණි. බිමට වැටුණු පන්දුව අවුලා ගෙනෙනු වෙනුවට උන් දෙන්නා එතන වෙනම ජරමරයකි. උන් එහෙම කරන්නෙ අච්චර යස අගේට අල්ලා ගන්නට තිබුණු පන්දුව අතඇරීම නිසා අනික් එවුන්ගෙන් එන නක්කලෙන් ගැළ වෙන්නටයැයි පොඩි හාමුදුරුවන්ට සිතෙයි.
කොල්ලන්ගෙ සෙල්ලම්වල වෙලාවක් කලාවක් නැත. බිං කළුවර හතර අතින් ඇවිත් රෑවෙන බව අඟවයි. මල් වට්ටිය බිම වැටෙනු කොයි කවුරුවත් දුටුවේ නැතිවීම පොඩි හාමුදුරුවන්ගේ හිතට සැනසිල්ලක් අරගෙන එයි. කවුරු දැක්කත් බීරානම් නොදැකපු එක හොඳට ම හොඳය. ඌ දැක්කා නම් අදත් විසුමක් වෙන්නේ නැත. බීරා හැම වෙලාවෙම හොයන්නේ කාගේ හෝ ඕපාදූපයක් ය.
ගමේ කාගේ හරි කිසිවක් කාට හරි කියන විට එය කියන ක්‍රමයක් ද ඌ සතුව තිබේ. ‘මං මේ කේලම් කියනවා’ යයි හිතන්න එපා’ ය යැයි පළමුවෙන් ම කියයි. කාරණාව පටන් ගන්නේ ඉන් අනතුරුවයි. ‘මට මේක කාටවත් කියන්නත් එපා කියලයි කිව්වේ ඔහේත් මේක කාටවත් කියන්න එපා’ යි කතාව අවසානයේ ඔහු කියයි. ඒ බීරාගේ හැටි ය.
බිම වැටුණු මල්පැස අහුලාගත් පොඩි හාමුදුරුවෝ පැස මලින් පුරවා පැනින් දොවා පූජා මඩුවේ තබා විහාරගෙයි යතුර අරගෙන එන්නට නායක හාමුදුරුවන් වැඩ ඉන්න කුටිය දෙසට පිය නඟන්නට විය.
gnanissara@gmail.com

No comments:

Post a Comment