දොළොස් මහේ පහනෙ කවි අච්චු ගහන්න භාර දුන්න අයි. පී. බී. කියන ප්‍රෙස් එක තියෙන්නෙ කොළඹ 10 මරදානෙ. කොටුවෙ ඉඳල ටෙක්නිකල් හන්දිය පහුකරගෙන බොරැල්ල පැත්තට යනකොට, එදා එල්ෆින්ස්ටන් ෆිල්ම් හෝල් (අද රඟහල) එකට ඉස්සරවෙලා වම් අත පැත්තට හැරෙන්න තියෙන්නෙ ඩේවිඩ් මාවත. ඒක කෙළවර වෙන්නෙ නොම්මර 32 අයි. පී. බී. ප්‍රෙස් එකෙන්.
අපි. බී. පී. ය වගේම කලාකාරයො, ලේඛකයො ටික දෙනෙක් මුණ ගැහෙන ග්ලෝබ් මුද්‍රණාලයත් තියෙන්නෙ ඩේවිඩ් මාවතේ.
පුංචි ගෙවල්, ලී බඩු ගබඩා, වෑල්ඩින් වැඩපොළවල් වගේ කොළඹ නගරයේ කලබලකාරී පරිසරයක් මැද මුද්‍රණාලයක අපූරු නාට්‍ය පෝස්ටර් මුද්‍රණය වෙන එක, හෙන්රි ජයසේන වගේ නාට්‍යකාරයෙකුගෙ හුණුවටයේ කතාව, අපට පුතේ මඟක් නැතේ, කුවේණි, ජනේලය වගේ නාට්‍ය පිටපත් ප්‍රකාශනයට පත්වෙන එක නම් ඒ කාලෙ මට අදහගන්නවත් බැරි අත්දැකීමක් වුණා. හේවාකපුගේ දෙබෑයන්ගෙ ලොක්කා ඉස්කෝලෙ මහත්තයා එඩ්වින් හේවාකපුගේ. විශ්‍රාම ගිය චිත්‍ර කලා ගුරුවරයෙක්. කොටහේන කුමාර විද්‍යාලයෙ උගන්නල තියෙන්නෙ මාතර ඉඳල කොළඹ ඇවිත්. පැතැලි මුහුණක්. හෙමින් ගමන වගේම හරිම හෙමින් කතාබහත්. උපහාසයට රුසියා. අයි. පී. බී. යට ඇතුළුවෙන කොටම ඇහැ ගැහෙන්නෙ ඉස්කෝලෙ මහත්තයගෙ සහෝදරයා.
සෝමපාල හේවාකපුගේ. එයාගෙ මේසේ ඉස්සරහ ඉඳගෙන උපැස් යුවළට යටින් ප්‍රෙස් එකට යන එන අය ගැන හොඳ හෙවිල්ලෙන් ඉන්නෙ ඉස්කෝල මහත්තයා එඩ්වින් හේවාකපුගේ. කොමියුනිස්ට් පක්‍ෂෙ පරණම සාමාජිකයෙක්. එයා හැම තිස්සෙම වැඩක. එක්කෝ පොතක පතක ගණන් හිලව් බැලිල්ලක. නැත්නම් ලිනෝනියම් කෑල්ලක මොකක් හරි චිත්‍රයක් කපන කටයුත්තක. ලිනෝනියම්වලින් නිර්මාණය වුණු පෝස්ටර් මුද්‍රණය වුණෙ මරදානෙ අයි. පී. බී. යෙ විතරමයි කියලයි මම හිතන්නෙ.
ඒවායෙ අපූරු ලස්සනක් නිමාවක් තිබුණෙ. කවි පොතේ ප්රූෆ් කියවන්න, කරෙක්ෂන් දාපු පිටු ගෙනිහින් දෙන්න වගේ වැඩ ඔක්කොම පැවරුනෙ මට. බස්වල ගාටල ප්රූෆ් අදිනකල් පැය ගණන් වේලි වේලි ඉඳලා ෆයිනල් ප්රූෆ් එකක් පාස්කරල දෙනකොට හිතට අමුතුම සතුටක් දැනෙන්නෙ. මනෝ ඉඳහිට මාත් එක්ක ප්‍රෙස් එකට ආවත්, සුනිල් නම් දවසක්වත් ආවෙ නැති තරම්. ඒත් සෝමපාලගෙ පස්සෙන්ම ඉඳගෙන වැඩේ ඉවර කර ගන්න තිබුණු ඕනකම මම නම් අතෑරියෙම නෑ.
හැත්තෑ ගණන්වල පොතක් මුද්‍රණය කරන්න දීල මුද්‍රණාලෙ එක්ක තිබිච්ච අත්දැකීම අද දවසෙ පොතක් පළකරන්න ලේඛකයෙකුට ඇත්තෙම නෑ නේද කියල මට කල්පනා වෙනවා. අද තාක්ෂණේ කොච්චර දියුණු ද? ලියාගත්ත අත් පිටපත ටයිප් සෙට් කරගෙන ප්‍රකාශකයට බාර දෙනවා. සුමානෙකින් දෙකකින් ප්රූෆ් කියවන්න ලැබෙනවා. ප්‍රකාශකයගෙම පරිගණකෙන්, හුඟක් වෙලාවට කවර චිත්‍රයත් නිර්මාණය වෙනවා. පිටු සීයක පොතක් වුණත් සුමාන දෙකකින් තුනකින් ලේඛකයගෙ අතේ. ඒ වුණත් පරණ මුද්‍රණාලෙක, අකුරු කේස් එකකින් අකුරු තෝර තෝර අමුණල, හුඟක් වෙලාවට අතින්ම ක්‍රියා කරන පුංචි මැෂිමක එක වතාවකට පිටුවක් නැත්නම් දෙකක් ගානෙ මුද්‍රණය කරල පොතක් වෙන හැටි දකිනකොට දැනෙන සන්තෝෂය, සැහැල්ලුව, කාලය ඉතිරි වෙන දියුණු තාක්ෂණයෙන් නම් ලැබෙන්නෙ නැහැ කියල හිතෙනවා.
අයි. පී. බී. යෙ ලොකු බාස් උන්නැහේ වැඩ කරන්නෙ පොඩි මැෂිමෙ. ඒක හරියට ෆුට් බැලෝ හාර්මෝනියම් එකක් වගේ. කකුලෙන් පාගනකොට උඩ තියෙන රවුම් තැටිය කරකැවෙනවා. අංජනම් බලන කොට පීරිසිය මැද තියෙන අඳුන වගෙයි, ප්‍රින්ටින් මැෂිමෙ තැටිය පුරාම සායම් ගාලා තියෙනකොට. ලොකු බාස් උන්නැහේගෙ වැඩ හෙමින්. මඟුල් කාඩ් එකක්, නාට්‍ය ආරාධනාවක්, අත් පත්‍රිකාවක් වගේ දෙයක් තමයි පොඩි මැෂිමෙ මුද්‍රණය වෙන්නෙ. බාස් උන්නැහේගෙ වම් අත පැත්තෙ බංකුවක තීන්ත ඉවර වෙච්ච හිස් ටින් එකක්. බාස් උන්නැහේ කොළ දහයක්, කාඩ්ස් හතක් අටක් ගහල ඉවරවෙලා පුංචි විරාමයක් ගන්නවා, හිස් ටින් එකට බුලත් කෙළ ගහන්න. කිසිම කතාබහක් නැතුව බාස් උන්නැහේ නිතරම වැඩ.
දයානන්ද, වීරසේකර හිටියෙ විදුලි බලයෙන් ක්‍රියා කරන එක පාර පිටු අටක් විතර මුද්‍රණය කරන්න පුළුවන් හෙයිඩල්බර්ග් ලොකු මැෂිමෙ වැඩට. සමහර දවසක මනෝත් මමත් කෑම පැයේ අයි. පී. බී. ගිහින් බාස් උන්නැහේල දවල් කෑම කාල ඉවරවෙනකල් බලාගෙන ඉන්නවා. නිකම් ඉන්න වෙලාවකට, භාරදීපු මඟුල් කාඩ් එකක නැත්නම්, සමරු කලාපෙක ප්රූෆ් කියවන රාජකාරිත් සෝමෙ මට පවරනවා. ප්රූෆ් කියවන්න මම ආස කරන්නෙ වැරදි අහුවෙලා රතු පාටින් ලකුණු කරන්න ලැබෙන එකට. ඒ වුණාට හුඟ වෙලාවට මගේ පොතක මට අහුනොවිච්ච වැරදි තියෙනව කොච්චර හොඳට ප්රූෆ් කියෙව්වත්.
අපි දෙන්න බඩගින්නෙ ඉන්නව දැකපු සමහර දවසක ඉස්කෝලෙ මහත්තයා මට කතා කරනවා. “ගලප්පත්ති කිරි ටිකක් කනවද?” ඉබ්බ දියට දාන්න හදනකොට ඇන්නෑවේ කිව්ව වගේ අපි දෙන්න ඉස්කෝල මහත්තයගෙ කාමරේට වදින්නෙ. සිසිල් ෆ්‍රිජ් එකේ තියල සීතල වෙච්ච මාතරින් ගෙනාපු මීකිරි කෝප්ප දෙක අපි දෙන්නට දිව්‍ය භෝජනේ වගේ. පොත්පත් ගහගන්න ගියාම කිරිපැණි කන්න දෙන මුද්‍රණශාලා අයිති කට්ටිය අද කොහේද?
කවිපොත පිටවන්න කලින් පුංචි අත් පත්‍රිකාවක් බෙදුවා, නාට්‍ය බලන්න ලුම්බිණියට, ලයනල් වෙන්ඩ්ට් වගේ තැන්වලට එන අයට. කැම්පස්වල ළමයින්ට. ලා නිල් පාට කොළේක රෝස මල් එක්ක අපිම අපි ගැන මෙහෙම ලියුවා. සිංහල කවියේ අන්ධකාරය මකන්නට පුංචි එළියක්! දොළොස් මහේ පහන. බුද්ධදාස ගලප්පත්ති, ජයලත් මනෝරත්න, සුනිල් ආරියරත්න. තරුණ කවීන් තිදෙනෙකුගේ නැවුම් අදහස් රැගත් නවීන කාව්‍ය සංග්‍රහය හෙට අනිද්දා කලඑළි දකී. චාමර පොත් ප්‍රකාශනයක්.
1971 ජූලි මාසෙ භාරදුන්න අපේ කවි හීනෙ ඔක්තෝබර් 20 හැබෑ වෙලා. එහෙම සන්තෝෂයක්.
bgalappatty@yahoo.com
No comments:
Post a Comment