විහාරගෙයි යතුර දුටු විට කෙනෙකුගේ හිතට එකවර නැගෙන්නේ විස්මයකි. එයට හේතුව යතුරෙහි විශාලත්වයයි. අඩි එකහමාරක් විතර දිග ය. කිලෝ දෙක තුනක් විතර බර ය. සම්පූර්ණ පිත්තලෙන් පමණක් හදා ඇති යතුර යතුරු කවුළුවට බහාලන කොටස පමණක් නිමකොට ඇත්තේ යකඩෙනි.
තමන් වහන්සේ වැඩ වසන කුටියෙහි යතුරත්, විහාරගෙයි යතුරත් යතුරු වශයෙන් එක හා සමාන වුව ද, ප්‍රමාණයෙන් හා බරින් ලොකු වෙනසක් තිබේ. යතුර සිය දකුණතින් විතරක් අරගෙන යා නොහැකි නිසා ම හේ, යතුර ඔසවා දකුණු කරේ ද අතේ ද වශයෙන් මාරුවෙන් මාරුවට යතුරත් අරගෙන විහාරගෙට යන්නට විය. තමන්ගේ යතුරත් විහාරගෙයි යතුරත් අතර වෙනස පොඩි හාමුදුරුවන්ගේ හිතට මොකක්දෝ හැඟීමක් අරගෙන එයි.
බුදුහාමුදුරුවන්ගෙ සිරුර අසූ අට රියන් යැයි අත්තම්මා දවසක් කියා දුන්න හැටි මතකයට නැඟෙයි. “අපරාදේ මාත් හිටිය නම් ඒ කාලේ. යැයි සිතට නැඟුණු සිතිවිල්ලත් සමඟම සිතිවිලි සියල්ල මුසුප්පුව ගියේ ය. මළුවේ තිබූ ගල් කැටයකට සිය දකුණු පයින් දමා ගැසුවේ ය. ගල්කැටය විසි වී ගොස් විහාරගෙයි බැම්මේ වැදී නතර විය.
විශාල යතුර දොර කවුළුවට දමා අත් දෙක ම එකතු කොට දොර ඇර ගත්තේ ය. විහාර ගෙය ඇතුළින් හමා එන පරමල් සුවඳින් විහාර මාලිගාව පිරී ඇත. පරවී ගියත් මලක් කොපමණ සුවඳදැයි පොඩි හාමුදුරුවන්ට සිතුණි. නහය වාතයට විදා දිග සුසුමක් ගත්තේ ය. විහාර ගෙයට ඇතුළු වනවිට ම දකුණු පැත්තෙන් හිටගෙන සිටින්නේ රාජ ඇඳුමින් සැරසුණු මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ය. වම් පැත්තේ අපේ බුදුහාමුදුරුවන් දිව්‍ය ලෝකයේ සිට සංකස්ස නුවරට වඩින සැණකෙළියයි.
පොළවේ සිට දිව්‍යලෝකයට ඉණි මඟක් තබා තිබේ. බුදුහාමුදුරුවන් පහළට වඩින්නේ ඒ ඉණිමඟ දිගේ ය. පහළට වඩින බුදුහාමුදුරුවන්ට සීයා කෙනෙක් ඡත්‍රයක් අල්ලයි. මීට අවුරුදු කිහිපයකට ප්‍රථම මිය පරලොව ගිය තමන්වහන්සේගේ සීයා ද මේ දිව්‍යලෝකයේ උපත ලබන්නට ඇතැයි පොඩි හාමුදුරුවන්ට සිතෙයි. එසේ සිතෙන විටත් තමන් වහන්සේගේ ඇස් දෙක සීතල වීගෙන එනු උන්වහන්සේට දැනෙයි. අපරාදෙ මං මහණ වුණේ ගෙදර හිටියනම් කොච්චර හොඳ දැයි උන්වහන්සේට සිතුණි. දැන් මං මහණ වෙලානේ ඉන්නේ. යි පසුව හිතට නැගුණු සිතිවිල්ල විසින් මුල් අදහස යටපත් කෙරිණ.
බුදුකුටියේ ආසන තුන ම පරමලින් පිරී තිබේ. ඊයේ හැන්දෑවේ පූජා කරන වේලාවේ හිස ඔසවා සිනා සිසී උන් මල් ඔක්කෝම දැන් මූණු බිමට හරවා ගෙන ය. ‘පුප්ඵං මිලායාති යථා ඉදං මේ – කායෝ තථායාති විනාස භාවං’ පිපුණු කුසුම් පරවී යයි. ජීවිතයත් එලෙසම වෙයි. ගසක පිපෙන හැම මලකට ම මෙලෙස මුනිඳු සිරිපා පාමුල පරවී යන්නට ඉඩ කඩ නොලැබුණත් ඒ පිපෙන හැම මලක්ම අන් අයගේ සිතට සැහැල්ලුවත් සැනසිල්ලත් ලබා දෙනවා නේද? නැහැයට සුවඳත් දෙනෙත්වලට පැහැයත් ලබා දෙනවා.
හැම කෙනෙකුගේම යුතුකම වන්නේ සිතිිනුත් කයිනුත් වදනිනුත් යහපත් දෙයක් පමණක් සමාජයට දීම යි’ අයහපත් දෙයක් කවදාවත් සමාජයට නොදීමයි. ඉක්මණින් නිවන් දකින්නේ එහෙම අයයි.’ ආ.එහෙම වුණොත් පන්සලේ බීරි බාස්ට කවදාවත් නිවන් දකින්න ලැබෙන්නේ නෑ. හැමදාම පන්සලේ කුරුඳු තලන්න තමයි වෙන්නේ. ‘ පන්සලේ බීරා පින් දහම් නොකරන අකුසල් ම සිදුකරන කෙනෙකු නිසා පොඩි හාමුදුරුවන්ට එසේ කල්පනා විය. පන්සලේ හිටියත් බීරා කිසිම බණක් දහමක් පිළිපදින්නේ නැත.
ආසන තුනේ ම පරමල් එකතුකොට බේසමකට දමා එය හිස මත තබාගත් හේ කීප වතාවක් ම එසේ කරමින් පරමල් අස් කරන්නට විය. මල් පුරවා ගත් බේසම මලින් පිරී ඉතිරී යන නිසා ඒවා බුදුගේ තුළ පාපිස්ස දිගේ බිමට වැටෙයි. නායක හාමුදුරුවන් අද විහාර ගෙට නොවැඩි එකනම් හොඳයැයි පොඩි හාමුදුරුවන්ට සිතෙයි. විහාර බිමේ තිබූ පරමල් සියල්ල අස් කිරීම නිසා දැන් පරමල් කන්ද හරි විශාලයි.
අස් කරන්නේ පරමල් වුවත් ඉන් ලැබෙන පින හරි මහත් ය. අතු ගෑ කුණුගොඩ අස් කිරීමේ පිනෙන් අච්චර නැණ නුවණක් ලැබූ මිළිඳු රජතුමා ගැන හිතන විට තමන් කරන පිනේ ආනිසංසය කොච්චර වේදැයි සිතා ගන්නටත් බැරි තරම් ය. නායක හාමුදුරුවන්ගේ පොත් අල්මාරියේ ‘මිලින්ද ප්‍රශ්නය’ පොත තිබෙනු දුටු වේලාවේදීත් පොඩි හාමුදුරුවන්ට මතක් වූයේ අත්තම්මා පුංචි කාලේ කියාදුන් කතාව ය.
ඒ කතාවේ හැටියට ලොකු හාමුදුරුවන් ඉදල් මිටෙන් තමන්ට ගැහුවේ අතුගාපු කුණුගොඩ අස් නොකර මිදුල මැද තිබෙන්නට ඇරීම නිසා වුණත් තමන් ලොකු දැනුම් තේරුම් ඇති කෙනෙක් වුණානම් ලොකු හාමුදුරුවන් එසේ කරන්නේ නැහැයි කියල පුංචි හාමුදුරුවන් හිතුවලු. ඇත්ත නේන්නම් ඒක හරි තමයි. දම්පහල හාමුදුරුවො වුණත් සල්ලිකාරයෝ පන්සලට ආපු වෙලාවට කතා කරකර ඉන්නේ හිනා වෙවීම කිසිම කේන්තියක් ගන්නෙත් නැතුව? පොඩි හාමුදුරුවන්ටත් ඒ කතාවේ පොඩි හාමුදුරුවන්ගේ පැත්තටම කරුණු ගැළපී එයි.
තමන් ම අතුගාන විහාර ගෙයි මිදුල මැද එකතු කළ කුණු ගොඩ අස් නොකළ වරදට ලොකු හාමුදුරුවන්ගෙන් ඉදල් මිටෙන් ගුටිත් කාලා කුණුගොඩ අස් කරලා අත් දෙක හෝදන්න සාගරය ගාවට ගියා.
අත් දෙකත් හෝදගෙන සාගරේ ජලය දැකල පුංචි හාමුදුරුවන් ප්‍රාර්ථනා කළාලු, මං ආයෙත් උපදින උපදින හැම ආත්මයක ම මේ මහා සාගරය වගේ දැනුම තියෙන කෙනෙකු වෙලා උපදීවා’ කියලා. ඒ පුංචි හාමුදුරුවන් තමයි පස්සේ කාලෙක මිලිඳු රජ්ජුරුවන් වෙලා උපන්නේ. ‘මිලින්ද ප්‍රශ්නය’ පොතේ තියෙන්නේ ඒ කතාව කොච්චර ලොකු වුණත් මිලින්ද ප්‍රශ්නය පොත කවදහරි දවසක කියවලා ඉවර කරනවා යයි පොඩි හාමුදුරුවන්ට කල්පනා විය.
gnanissara@gmail.com
No comments:
Post a Comment