10/19/2012

යතුරු පුවරුවෙන් එහා ජීවිතය



‘ඔටෝබයෝග්‍රැෆි ඔෆ් දේශමාන්‍ය - පණ්ඩිත් ඩොක්ටර් නන්දදේව විජේසේකර’. ඒ මහාචාර්ය නන්දදේව විජේසේකරගේ ජීවිත කතාපොත. මේ පොත මට කියවන්න ලැබුණේ අප ආයතනයේ (ලේක්හවුස්) පුස්තකාලයෙන්. 

මට ප්‍රවීණ මාධ්‍යවේදී බෙනඩික්ට් දොඩම්පෙගම නිතරම දුන් උපදේශයක් තමයි පුළුවන් තරම් ලේක්හවුස් පුස්තකාලය පරිශීලනය කරන්න යන්න. මේ පුස්තකාලයේ බොහෝම වටිනා පොත් තිබෙනා බවත් ඒවා කියැවීමෙන් දැනුම වර්ධනය කරගත හැකි බවත්. ඔහු මා හා කියා සිටියා.
මහාචාර්ය නන්දදේව විජේසේකර අපේ රටේ බිහිවුණු විශේෂ ගණයේ ශාස්ත්‍රාලීය බුද්ධිමතෙක්. ඔහු ලන්ඩන්, කේම්බ්‍රිජ්, වියානා, කල්කටා වැනි ලෝකයේ විශ්වවිද්‍යාල පහකින්ම ඉගෙන ගෙන ලතින්, ප්‍රංශ,ජර්මන්, හින්දි, බෙංගාලි යනාදි වශයෙන් භාෂා දහයක්, දොළහක් පමණ කතා කරන්න පුළුවන්කම තිබූ කෙනෙක්.
බොහෝ දෙනෙක් මහාචාර්ය විජේසේකරව දන්නේ විජේසේකර යතුරු පුවරුව නිර්මාණය කළ ශිල්පියා වශයෙන් පමණයි. ඒක එතුමාගේ ප්‍රඥාා මහිමය අති ඌනනය කිරීමක්. විද්වත් පිළිගැනීමට අනුව මහාචාර්ය විජේසේකර මෙරට බිහිවුණ ප්‍රථම සිංහල මානව විද්‍යාඥයා. ඒත් මහාචාර්ය නන්දසේන වරක් කියා සිටියේ මහාචාර්ය විජේසේකරයන්ට ලැබුණ එකම රැකියාවකින්වත්, මානව විද්‍යාවෙන් ලබාගත් දැනුම ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්නට ඉඩමතු නොවීම මේ රටේ අභාග්‍යයක් බවයි.
ආචාර්ය අමරදාස වීරසිංහ කියන විදියට අපේ රටේ බිහිවුණු ප්‍රථම ජනශ්‍රැතිවේදියාත් මහාචාර්ය විජේසේකර.
මහාචාර්ය විජේසේකර බොහෝම වටින පොත් රැසක් සිංහල ශාස්ත්‍රීය සමාජයට ඉදිරිපත් කර තිබෙනවා. ආදීවාසීන් (වැද්දන්) ගැන ඔහු ලියපු පොත (වැද්දන්ගේ විකාශන ක්‍රමය) ඉතාම වටින කෘතියක්. මේ පොත ගැන රසෙල් කුරුප්පු සඳහන් කරමින් කියා ඇත්තේ එය දැවැන්ත පර්යේෂණාත්මක නිර්මාණයක් බවය. එසේම එය සී.ජී.සෙලිග්මාන්ගේ ‘වැද්දාස්’ කියන කෘතිය සමග සමතැන්හිලා සැලකිය හැකි බවත් ය.
මහාචාර්ය විජේසේකර වැද්දන් ගැන කරුණු හොයන්න දඹාන, බිම්තැන්න, පොල්ලෙබැද්ද, රතුගල, දානිගල, හේනේ බැද්ද, බිංගොඩ නිල්ගල ආදි වැදි ගම්මානවල ඇවිද්දා. එකල හිටපු වැද්දන් බොහෝම ආදරයෙන් මතක් කරපු තුන්දෙනෙක් ඉන්නවා. ඒ ‘සුදුහූරා’ යන නමින් ඔවුන් හඳුන්වපු දොස්තර ආර්.එල්.ස්පිට්ල්. අනිත් කෙනා ඩී.බී.ඇල්ලේපොළ. තුන්වැන්නා තමයි මහාචාර්ය විජේසේකර.
වැද්දන් ගැන ලියූ පොත්වලට අමතරව මහාචාර්ය විජේසේකර වෙනත් විෂය ක්ෂේත්‍ර අළලාද පොත් රැසක් ලිව්වා. පැරණි බිතුසිතුවම් ගැන ඔහු ලියපු (ලක්දිව පැරණි බිතුසිතුවම්) පැරණි වෙස් මුහුණ හා කෝලම් නැටුම් ගැන ලියපු (වෙස්මුහුණු හා කෝලම් නැටුම්) වැනි පොත් ඒ ඒ විෂයයන් අළලා ලියැවුණු ප්‍රාමාණික කෘති.
භාෂා දහයක් දොළහක් දැනගෙන හිටියත් මහාචාර්ය විජේසේකර සිංහල භාෂාව කෙරෙහි දැක්වූයේ අප්‍රමාණ භක්තියක්. අපේ රටේ වාර්ගික අර්බුදයට හේතුවුණේ 56 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම බවට පවතින ප්‍රවාදය ඔහු ඉඳුරා පිටු දැක්කා. මහාචාර්ය විජේසේකර කාලයක් රාජ්‍ය භාෂා කොමසාරිස්වරයා වශයෙන් සේවය කළ බවද මෙහිලා අප අමතක කරන්න නරකයි.
මහාචාර්ය විජේසේකර සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීමේ භාග්‍යය මට ලැබී තිබෙනවා. ඒ 1980 ගණන්වල මුල හරියේ. මහාචාර්ය විජේසේකර හිටියේ බොරැල්ලේ කාසල් පාරේ. ඔහුත් ඔහුගේ බිරියත් මා සුහදව පිළිගෙන කළ සත්කාරය මට අමතක කරන්න බැහැ.
“මේ මගේ නෝනා එයා සර් ඩී.බී.ජයතිලකගේ ඥාති දියණියක්. එයාගේ මහප්පා තමයි සර් ඩී.බී.ජයතිලක.”
මහාචාර්යතුමා තම බිරිය මට හඳුන්වා දුන්නේ එලෙසින්. ප්‍රභූ පන්තියෙන් ආවත් ඇය බොහෝම නිහතමානී කාන්තාවක බව මට ප්‍රත්‍යක්ෂ වුණා.
මහාචාර්ය විජේසේකර මියගියේ 1993 දී. ඔහු සිහිපත් කරමින් අනුස්මරණ ලිපියක්වත් ලියන්න කෙනෙක් රටේ නොසිටීම කනගාටුවට කරුණක්. ඔහු විතරක් නෙමෙයි මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය, මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි, මහාචාර්ය සිරිමල් රණවැල්ල ගැනවත් අද ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දන්නේ නැහැ. මම මේ සම්බන්ධයෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සමග කියද්දි එතුමා මහත් උත්ප්‍රාසයෙන් යුතුව කියා සිටියේ
“මම තාමත් විශ්වවිද්‍යාලයේ උගන්වනවා. ඒත් මාවවත් නොදන්නා ශිෂ්‍යයෝ අද කැම්පස්වල ඉන්නවා.
ඒ අනුව අද තියෙන්නේ උගතුන්, බුද්ධිමතුන්, ප්‍රාඥයන් නොහඳුනන අවිදු අඳුරු සමාජයක් නොවේද?

සුනිල් මිහිඳුකුල
pothakinpeththak@gmail.com

No comments:

Post a Comment