11/02/2012

කන්නන්ගර යුග මෙහෙවර


ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 1944 වසරේ බෝගම්බර හිරගෙදර සිටිය දී ලියූ “නිදහස් අධ්‍යාපනයේ ස්වරූප” නම් වූ ලියැවිල්ල කියවද්දී මට වඩාත් ප්‍රත්‍යක්‍ෂව දැනෙන්ට පටන් ගත්තේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ උදාර වූ ජාතික මෙහෙවර. කන්නන්ගරයන් හැඳින්වෙන්නේ “නිදහස් අධ්‍යාපනයේ පියා” වශයෙන්. ඔහු පිළිබඳ අනුස්මරණ ලිපි කීපයක්ම පසුගිය දිනවල පුවත්පත්වල පළ වී තිබෙනු මා දුටුවා.

මෙරට නිදහස් අධ්‍යාපනයේ පියා කන්නන්ගර ද? එසේත් නැත්නම් ඒ. රත්නායක ද යන්නත් විවාදයට තුඩු දුන් ප්‍රශ්නයක්. ඒ අරබයා වූ සංවාදයක් ද එක්තරා අවස්ථාවක දී පුවත්පත් ඔස්සේ පැන නැඟුණා. කෙසේ වෙතත් කන්නන්ගරයන්ගේ යුගකාරක මෙහෙවර එයින් යටපත් කර තබන්න බැහැ. නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇතිකිරීමත්, මධ්‍ය විද්‍යාල ආරම්භ කිරීමත් ඔහු අතින් ඉටු වූ අද්විතීය සේවාවක් ලෙස ඉතිහාසයේ ලියැවෙන්නේ රන් අකුරින්.
1944 දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා පනත හඳුන්වා දෙමින් කන්නන්ගරයන් කළ ප්‍රකාශය මෙවන් අවස්ථාවක නැවත සිහිපත් කරනු වටිනවා.
“අතමිට සරු අයට මේ රටේ අධ්‍යාපනය ලබාගත හැකි නමුදු අතමිට සල්ලිය බාගේ නැති ලක්‍ෂ ගණන් දරු දැරියන් හට නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට නොහැකි වීම ජාතියේ අවාසනාවක් වී පවතී. මගේ නිදහස් අධ්‍යාපන පනතින් බලාපොරොත්තු වන්නේ ලක්‍ෂ ගණන් වූ අපේ දුගී දුප්පතුන් හට නොමිලයේ අධ්‍යාපනයක් ලබා දී ඇස් පාදන්නට ය.”
මේ අතර නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වූ අයත් අපේ රටේ නොහිටියා නෙමෙයි. නිදහස් අධ්‍යාපනය නිසා තම වතුපිටිවල පොල් කඩන්නට කෙනකු සොයාගත නොහැකි වේ යැයි ඇතමුන් මැසිවිලි නඟා තිබෙනවා. මෙරට කතෝලික පල්ලිය පවා නිදහස් අධ්‍යාපනයට එරෙහිවයි එදා කටයුතු කළේ. එහෙත් මීගමුවේ (කතෝලිකයන් බහුලව වෙසෙන නිසා මීගමුව හැඳින්වෙන්නේ “පුංචි රෝමය” යනුවෙන්) සමසමාජ පක්‍ෂය කන්නන්ගර ප්‍රතිපත්ති පිළිගත්තා. ඒක ඓතිහාසික කාරණාවක්.
කන්නන්ගරව 1947 මහ මැතිවරණයේ දී පැරැද්දුවෙත්, 1952 මහ මැතිවරණයෙන් දින්නට පස්සේ ඔහුට නැවත අධ්‍යාපන ඇමැතිකම නොදුන්නෙත් මේ විරෝධයේ ම ප්‍රතිඵලයක් විදිහට යැයි කියන්න පුළුවන්. (52 දී ඔහුට ලැබුණේ පළාත් පාලන ඇමැතිකම) එහෙම තමයි ප්‍රතිගාමීන් ඔහුට විරුද්ධව ක්‍රියා කළේ.
වරක් කන්නන්ගරයන් ගැන අනුස්මරණ දේශනයක් පවත්වපු ආචාර්ය සරත් අමුණුගම, කන්නන්ගර වාර්තාව නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සිදුවූයේ නම් ශ්‍රී ලංකාවේ ගමන් මඟ විස්මිත කරවන උදාරත්වයකින් ඉහළ යනු නියත බව කියා සිටියා. අවාසනාවකට මෙන් එකී වාර්තාව නියමාකාරයෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට දේශපාලනයේ සිදුවූ මොන යම් හෝ වැරැද්දක් නිසා මඟහැරී ගිය බවත් ඔහු තවදුරටත් කියා සිටියා.
මෙහි දී පුදුමයට තුඩු දෙන කාරණාවක් වන්නේ මුලින් නිදහස් අධ්‍යාපන පනත වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වැනි ශාස්ත්‍රවන්තයන් පවා පසු කලෙක මෙයට විරුද්ධව අදහස් දැක්වීමයි.
මධ්‍ය විද්‍යාලවලින් විශ්වවිද්‍යාලවලට ආපු ගැමි තරුණයන්ට නාගරික ප්‍රභූ පන්තියේ සිසුන් කීවේ “හරමානිස්ලා” කියායි. එයින් උද්ධරණය වන්නෙත් නිදහස් අධ්‍යාපනයට තිබුණු පාන්තික විරෝධය. කන්නන්ගර ගමේ ඉස්කෝලේ ඉඳන් ගාල්ලේ රිච්මන්ඩ් පාසලට ආ අවස්ථාවේ සිසුන් ඔහුට “ගොඩයා” කියා ඇමතූ බව ද මෙහිලා අප මතක් කළ යුතුයි. මා දන්නා තරමින් කන්නන්ගර නාමය සඳහන් කරමින් අපේ රටේ එකම විශ්වවිද්‍යාලයකවත් ගොඩනැඟිල්ලක්, ශාලාවක් නම් කර නැත.
වරක් කන්නන්ගර අනුස්මරණ දේශනයක් පවත්වපු මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියා තිබුණේ කන්නන්ගර චරිතාපදානය සම්පාදනය කළ කේ. එච්. එම්. සුමතිපාල, අද කන්නන්ගර සියලු දෙනාටම අමතක වී ගොස් සිටින පුද්ගලයකු බවට සඳහන් කර ඇති බවයි.
මා නිවැරදි නම් කන්නන්ගර තම ජීවිතයේ අවසාන භාගය ගතකළේ කිසියම් අසරණභාවයකින්. ඔහුට පාර්ලිමේන්තුව රුපියල් දහදාහක පාරිතෝෂිකයක් පිරිනැමුවා. එයත් මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍යයන් එක්ව ඒ සඳහා මැදිහත් වීම මත ලබාගත් මුදලක්. පසුව පාර්ලිමේන්තුව ඔහුට විශ්‍රාම වැටුපක් ගෙවනු ලැබුවා. මේක තමයි අපේ රටේ ජනතාවට අවංකව සේවය කරපු හුඟදෙනකුට අත්වුණු ඉරණම. 1969 දී කන්නන්ගර මියගියා.

No comments:

Post a Comment