11/08/2012

මුව අරණේ බිඳුණු සිහිනය



“පුතේ! අපි පන්සලේ ඉඳල එද්දී කුමාරසිංහ වත්තේ කැලේ අද්දර මුව ජෝඩුවකුයි පැටියෙකුයි දැක්කනෙ” මීට වසර අටකට පමණ පෙර දිනක ගල්කන්ද රජමහා විහාරයේ සිල් සමාදන් ව පසුදා නිවසට පැමිණි මගේ මව මා හට සැළ කළේ විස්මිත ආරංචියකි. එය විස්මය දනවන ආරංචියක් වූයේ මගේ බාල අවදියේ (60 දශකයේ) පටන් ම කිසි දිනෙක අප ගම් පළාතේ මුවන් සිටිනු මා දැක නැති හෙයිනි.

එහෙත් හතළිහේ පනහේ දශකවල අපේ ගම් තුලානට මායිම් වූ වන ගහනයෙහි අලි, කොටි, මුව, වලස් ආදි නොයෙක් සතුන් ජීවත් වූ බව මවුපියන් අපට පවසා ඇත. කටුසර බෝග වගාවෙහි යෙදෙන ගම්මුන්ගේ කැති උදලු පහරින් බිය වූ මගුරු ඔය බඩ වනගහනය ගම් තුලානෙන් හැකිළී යද්දී සතා සීපාවන් ද අපෙන් දුරස් වන්නට ඇත.
උපාසක උපාසිකාවන් මුව පවුලක් දැක ගැනීමේ සිදුවීම ගම්මානය පුරා පැතිර ගියේ අසුරු සැණිනි. මේ පිළිබඳ සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුණේ අනවසර පොල් වතු හිමියකුට අයත් විශාල පොල් වත්තේ කොටසක ආරක්ෂිතව තිබූ අක්කර දෙක තුනක වන බූටෑවෙහි ඉතිරි වූ මුව දෙනකුගෙන් ඉදිරි පරම්පරාවක් බෝවීම ආරම්භ වී ඇති බව ය. තම ධාන්‍ය පැළෑටි නාඳුනන සතුන් කා දමන්නට පටන් ගෙන ඇති බව ගම්මුන් විසින් කියන්නට පටන්ගෙන තිබුණේ ටික කලකට පෙර සිට වුව ද ඊට හේතුව පැහැදිලි වූයේ කල් ගත වූ පසුව ය.
දිනක් දඩයක්කරුවකුගේ උගුලකට මුව පැටියෙක් අසුවිය. ඇමැති ආරක්ෂකයකු සතු ගිනි අවියකින් මුවකු මරා මස් කර ඇති බවත් අහල පහළ නිවෙස්වලට මස් පංගු ලැබී ඇති බවත් ඊළඟට දැන ගන්නට ලැබිණ. මසට ලොල් වූ පිරිස්වල නිරීක්ෂණ අනුව පසුව දැන ගන්නට ලැබුණේ හැට හැත්තෑවක් පමණ මුව ගහනයක් කුඩා වන රොදෙහි සිර වී සිටින බවත් ආහාර හිඟය නිසා ඔවුන් ධාන්‍ය පැළෑටි උලා කන්නට පැමිණෙන බවත් ය. මුව ගහනය දඩයක්කාරයන්ට ගොදුරුවෙමින් පවතින බව අගනුවර ජීවත් වූ මා හට දැන ගන්නට ලැබිණ. මම ගමට ගියෙමි. වන රොද අවට පදිංචිකරුවන් සමඟ සාකච්ඡා කළෙමි. වගා හානිය සහ මුව දඩයම යන දෙකරුණම සත්‍ය බව වටහා ගතිමි. මගේ නිගමනය වූයේ මේ මුව රංචුව අභය භූමියකට මුදා හැරීම හෝ ඉඩම් හිමිගේ කැමැත්ත ලබාගෙන මුවන්ගේ අභය භූමියක් හැටියට සංරක්ෂණය සඳහා මැදිහත්වීම වඩා උචිත බව ය.
මම මුලින් ම මේ පිළිබද පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ කතා කළෙමි. මුවන් දඩයම් කිරීම වැළැක්වීම සඳහා පියවර ගන්නා බවත් වනජීවී දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීම උචිත බව ඔහු මට කීය. වන බූටෑව අවට ජීවත්වන ගොවි පවුල්වල සාමාජිකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඔවුන්ගේ සහයෝගය මේ සඳහා ලබාගත හැකි බව මට හැඟී ගියේ ය. “කිසිම වගාවක් කර ගන්ඩ බෑ. ගෙඩි හැදෙන ගස්වල පොතු උලාකාලා ඒ ගසුත් මැරෙනවා. දඩයම් කරන්නට විරුද්ධ නොවන්නේ වෙන කරන්ඩ දෙයක් නැති හින්ද යි”
“සත්තු ගැන විතරක් හිතලා අපට ජීවත් වෙන්ඩ බෑ”
“අපි කම්බි ගැහුවා. වැටට උඩින් පනින්ඩ තරං උන්ට හත්තිය තියනවා”
සියලු තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව මම මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළෙමි.
“මුවන් දඩයම් කිරීම වරදක්. ඒත් මුවන් හැට හැත්තෑ දෙනෙක් අල්ලලා අභය භූමියකට මුදා හරින එක බරපතළ වැඩක්. මුවන්ගෙන් කොටසක් මැරෙන්නත් පුළුවනි. අනික් කරුණ අපට ඒ වගෙ වැඩකට අවශ්‍ය සම්පත් නැහැ. අලින්ගේ ප්‍රශ්නය විසඳීමත් දුෂ්කර වෙලා තියෙන්නේ” සාකච්ඡාව පල නොදැරී ය. මම උත්සාහය අත් නොහළෙමි. මා හිතවත් ව්‍යාපාරිකයකු වූ ලක්‍ෂ්මන් තිලකරත්න මහතා මාර්ගයෙන් පොල්වතු හිමියා ඇමතූ මම මගේ සිතෙහි ඇති සිහින වැඩපිළිවෙළ විස්තර කළෙමි.
සංචාරකයන්ටත් පාසල් ළමයින්ටත් මුවන් දැක බලා ගැනීම හා අධ්‍යයනය කිරීම සඳහා ‘මුව අරණ’ නමින් මේ ඉඩම සංරක්ෂණය කළ යුතු ය. සංචාරකයන්ට නවාතැන් ගැනීම සහ ආහාර පාන ගැනීම සඳහා පහසුකම් සැලසිය හැකි ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සුදුසු ය. වන තීරය අවට ගොවීන්ගේ වගාව ආරක්ෂා වන පරිදි ශක්තිමත්ව වැටක් ඉදිකිරීමත් ආහාර හිඟ සමයෙහිත් ගිම් සමයෙහිත් මුවන්ට අවශ්‍ය ආහාර පාන ලබාදීමත් කළ යුතු ය.
එමෙන් ම ගොවීන්ගේ එළවළු, පලතුරු සහ ධාන්‍ය යනාදිය සංචාරකයන්ට විකිණීම සඳහා සල්පිලක් ඉදිකිරීම යෝග්‍ය ය. මුව අරණ පිළිබඳ වෙබ් අඩවියක් ආරම්භ කිරීමත් සංචාරක මණ්ඩලය යනාදි ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමත් ඔස්සේ දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකි ය. ඒ අනුව මෙය පොල්වතු හිමියා සතු පුද්ගලික ව්‍යාපෘතියකි. ඔහුට ලාබයක් ලැබේ. මුව ගහනය ආරක්ෂා වේ. මගේ යෝජනාවට වතු හිමියා කැමැත්ත පළ කළේය. මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියා සමඟ මම සාකච්ඡා කළෙමි. “එහෙම ව්‍යාපෘතියක් පුද්ගලිකව පවත්වාගෙන යෑම සඳහා නීතියෙන් අවසර නැහැ” ඔහු පැහැදිලි කළේ ය.
“එතකොට කොහොමද මේ ප්‍රශ්නය විසඳන්නේ? මේක මුව මිනිස් ගැටුමක් බවට පත් වෙලා ඉවරයි” මම කීවෙමි.
“මට තේරෙනවා. ඒත් අපි මොකද කරන්නේ?” ඔහු මගෙන් ඇසූ ප්‍රශ්නය මම මගෙන් ම අසා ගතිමි. මම නිරුත්තර වීමි. මුවන්ගේ ආරංචිය ගෙනා මගේ මව මීට වසර 6 කට පෙර මිය ගියා ය. ගොවියෝ තවමත් ගොවිතැන් කරති. මුවෝ වගාවට හානි කරති. පරිසර නීති, ආයතනවල මුල් අදී. දඩයක්කරුවෝ ආයුධ මුවහත් කරති. කුඩා වන රොදක කොටුවූ මුව ගහනය පුළුල් වේ. සුදෝ සුදු කොකුන් මෙන් පෝදා හිමිදිරියෙහි පන්සලට පිය මනින උපාසක උපාසිකාවෝ වන රොද අද්දර දී විපරමින් වට පිට බලති. නිකිණි මස දී පන්සලේ ඝණ්ටා නාදය තුනීවී වැහිලිහිණියකුගේ කටුක නාදය වා තලය සිසාර යයි. සා පිපාසාවෙන් දැවෙන මුවෝ වැට මායිම් බිඳ ගමට වදිති. රෑ මැදියමෙහි නැගෙන වෙඩි හඬක බිහිසුණු දෝංකාරය සුව සේ නිදන්නන්ගේ දෙසවන්වලට නෑසේ.

No comments:

Post a Comment