11/08/2012

මුත්තම්මයි නිල් අහසයි මහ පොළොවයි...



බාල්දියක් අතින් ගත් මා කොස් ගසෙන් ගසට ගොස් කුමක් කරන්නේ ද යන කුකුසින් දැවෙමින් දිව ආ නිවුන්නු සිය කදිම මුහුණු හකුළා ගත්තෝ ය.
“ඊයියා..” යි පුංචි පුතා පිළිකුලෙන් හඬ ගෑවේ ය.
“ඇයි අම්මේ මේ..” යි කල්පනාකාරී ලෙස අසා සිටියේ චූටි පුතා ය. කොහොමටත් ඔහු සිව්වැන්නා තරමට පිරිසුදුව හා පියකරුව සිටීමට නොවෙහෙසෙයි. ගමනක් බිමනක් යාමේ දී ඇඳුම් පැළඳුම් පිළිබඳ උවමනාවට වඩා කරදර වන්නේ පුංචි පුතා ය.
“කොස් ඇට කියන්නෙ හුඟක් ගුණ කෑමක්..”
බිම පතිත වැල ගෙඩියක මදුල මිරිකමින් ලබාගන්නා කොස් ඇට බාල්දියට ලමින් මම පහදා දුනිමි.
“අම්මට කැත නැද්ද?”
පුංචි පුතා අසන්නේ නොමනාපයෙන් එල්ලාගත් මුහුණිනි.
“අප්පිරියා කරන්නෙ ඇයි? වැල කියන්නෙත් රසවත් කෑමක්. ඉතිං මෙහෙම වැල මදුල මිරිකිලා නොගත්තොත් කොස් ඇටේ නාස්ති වෙලා යනවනෙ.” “ඒ වුණාට අම්මේ...”
පිරිමි දරුවා නාහෙන් හැඩුවේ ය.
“අපි නාල පිරිසුදුවට ඉන්න ඕන තමා. ඒ වගේ ම අපි ඉන්න පරිසරය අපේ ඇඳුම් එහෙමත් පිරිසුදුව තියාගන්න ඕන. ඒ වුණාට මෙහෙම දේකට එනකොට අසනීප වුණු කෙනෙකුට සාත්තු කරද්දී කැත හිතල බෑනේ.” මම මගේ කාරිය නොනවත්වාම කතා කළෙමි.
“මතක ද මුත්තම්මව?”
චූටි පුතා උස් හඩින් ඇසුවේ ය.
මගේ මිත්තණියට පුරා මාසයක් තිස්සේ මා කළ ඇප උපස්ථාන සිහිපත් වූ කළ දරුවා දිගින් දිගට ම ඒ ගැන කතා කළේ ය.
“මුත්තම්ම කක්කා දාපුව ම අම්ම ඒව අස් කරල මුත්තම්මව සෝදලා... මුත්තම්මට කවල... ඇයි අයියට මතක නැද්ද....?
“මතකයි මතකයි...යි පුංචි පුතා කෙඳිරි ගෑවේ ය.
“අපි ලෙඩ්ඩුන්ට සාත්තු කරන්නම ඕනිනේ... මතක ද බුදු හාමුදුරුවො දේශනා කළා ලෙඩෙකුට උපස්ථාන කරන කෙනා බුදු හාමුදුරුවන්ට උපස්ථාන කළා වගෙයි කියල...”
දහම් පාසල් යන දරුවෝ හිස් සලා එකඟ වූ කල මට සතුටක් දැනිණ.
“ඔයාලගෙ අම්මයි තාත්තාත් කවද හරි වයසට ගිහිං ලෙඩ වෙලා ඇඳේ ඉන්නකොට ඔයාල අප්පිරියයි කියල සාත්තු නොකර හිටියොත් මොකද වෙන්නෙ...?
“අම්මයි තාත්තයි වයසට යනවද?”පුංචි පුතා ඇසුවේ අපමණ පුදුමයෙනි. “මුත්තම්ම වගේම වයසට යනවද?”
චූටි පුතාගේ ස්වරයෙහි කනගාටුවක් දැවටී තිබිණ.
“හදිසි අනතුරක් හරි ලෙඩක් හරි නොවී හුඟක් කල් ජීවත්වෙන්න ලැබුණොත් මුත්තම්ම වගේ ම වයසට යනව මම ඇත්තම කීවෙමි.”
දෙදරුවන්ගේ දුක්බර මුහුණු දුටු මම සිනාසුණෙමි.
“මොකද මේ...? මූණු එල්ලගෙන...? අනේ ළමයිනේ ජීවිතේ එහෙම තමා... ඔයාලත් හැමදාම ඔහොම ඉන්නෙ නෑනෙ... ටික ටික ලොකු වෙනවා...”
“අනේ අම්මේ......” යි සුසුම් ලමින් පුංචි පුතා මගේ ඇකයට පැන්නේ ය. දණින් වැටී හුන් මා වැළඳගනිමින් චූටි පුතා ද “මුත්තම්ම වගේ වෙන්න එපා අම්මේ” යි ආයාචනා කළේ ය. සමබරතාවය ගිළිහී ගියෙන් මා වැලගෙඩිය මත පතිත විය.
“ඔන්න දැම්මම මම මුත්තම්ම වගේ වුණා..” යි මා කීවේ සිනාමුසු මුහුණිනි.
මා කෝපයට පත් වනු ඇතැයි බියපත් දෙදරුවන් මගේ සිනාබර බවින් කොතරම් ප්‍රමුදිත වූවා ද කිව හොත් මහා සිනා හඬක් පැන නැඟිණ. ඔවුන් මගේ සිරුර මත නැගී කොක් හඬලන්නට වූ කල අපමණ සොම්නසක් ද සැහැල්ලුවක් ද මා සිත පුරා පිරී ඉතිරී ගියේ ය. වැල මදුලක සිහිලස ද ඉහළ නිල්වන් අහසේ සුන්දරත්වය ද මා තුළ කිසියම් චමත්කාරයක් උපදවයි. අපි මහ පොළොව මත නිල් අහස ට මුහුණ ලා සිටින කල මේ පරිසරයේ ම අංශුවක කොටසක් නොවන්නේ දැයි මට සිතිණ.
“මුත්තම්ම මුත්තම්ම “යි නිවුන්නු සරදම් කරමින් පාන සිනාවට මම ද හවුල් වීමි.

No comments:

Post a Comment