11/02/2012

පොලිස් කෝලම


ගිය වසරේ අපට මන්නාරමට යෑමට උවමනා වුණා. එහි යද්දී මාර්ග බාධකවලට හසු වෙන බවත් ගුවන් බලපත්‍ර පෙන් වූ විට නැති කරදරවලට මුහුණ දෙන්නට වන නිසා හොඳම දේ ජාතික හැඳුනුම්පත ඇති ව යාම බව මීට පෙර ඒ ගමන ගිය අයගෙන් ලැබුණ අවවාදයයි.

හැඳුනුම්පත නැති වූ බවට පොලිසියේ සටහනක් දැමීමෙන් ලැබෙන තුණ්ඩුව, ආරක්ෂක කපොලු නිලධාරින්ට ඉදිරිපත් කිරීම සෑහෙන්නේයි ඔවුන් අප දැනුවත් කළා. නම, වයස, රූපය සමඟ තොරතුරු සහිත ගුවන් බලපත්‍රයට වඩා මේ තුණ්ඩුව අනන්‍යතාව තහවුරු කිරීමට සෑහෙන්නේ කෙසේද යන්න තේරුම් ගත නොහැකි වූවත් චාරිකාවට බධාවක් ඇති නොවන්නට අපි අදාල පොලිසියට ගොස් ඒ ගැන විමසූවෙමු.
සුළු අපරාධ අංශය සෙනඟින් පිරී තිබුණ ද, ආ කාරණය සපුරා නොගෙන හැරී යා නොහැකි නිසා අපි ගොඩනැඟිල්ලේ ඉදිරිපිට බංකුවකට වී පැමිණිලි ලියනා නිලධාරී මහතා හමු වුණෙමු. ඔහු පොතේ ලියා, කාමරයට වී සිටින්නැයි කීව ද, සුළු අපරාධ අංශය කියා හැඳින් වූ කාමර දෙක තුළ ඉඩක් තිබුණේ නෑ. එහි විදුලි පංකා නොකඩවා කැරකුණත් ඉන් මිනිසුන්ගෙන් පිරි කාමරයේ රස්නය බිඳක් වත් මැකුණේ නෑ. පෝළිමක් නොතිබුණත් කාමරයේ දොර හරස් කරවාගෙන ඇතුළේ වන දේ නරඹමින් සිටි මිනිසුන්ට අපට ද එක්වීමට වූයේ, එසේ නොවුණා නම් අපගේ වාරයට ඇතුළු වීමට නොහැකි වෙන නිසායි.
හොඳින් ඇඳපැළඳ ගත් නෝනා කෙනෙකු සහ ඇගේ සැමියා කාමරයේ, උප අංශ ප්‍රධනියාගේ මේසය ඉදිරිපිට අසුන්ගෙන සිටි අතර අනෙක් සියල්ලෝ පැමිණිලි විමසීම අසා සිටියේ සාදයක රස කතා අසා සිටින්නා වාගේයි. අනුන්ගේ කතා ඇසීමට වීම ගැන අප මහත් අපහසුතාවකට පත් වූවත්, එතැනට එන අයගේ පුද්ගලික බව සුරැකෙන ලෙස, සුදුසු වන ආකාරයට කාර්යාලය සකස් වී තිබුණේ නෑ.
එහි සුදු හැට්ටයක් සහ රෙද්දක් ඇඳි පන් මල්ලක් ගත් මහලු කාන්තාවක් ද වූවා. ඇය සිටියේ අංශ ප්‍රධානියා මුණ ගැසීමටයි.” අපට එන්න කිව්වේ දවල්. දවසම මෙතන” මහත්තයෝ මම ගිහින් හෙට එන්නද?” ඈ කිහිප සැරයක් විමසුවා. “කොහොම ද යන්න කියන්නේ ලොකු මහත්තය එන්න කිව්ව නම්. ඉන්න! ඉන්න!” නිළධාරින් කීවේ අනෙක් පැමිණිලි විමසන අතරතුරයි.
මේ අතර එතැනට තරුණයන් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණුනෝ ය. ඔවුන් එළියේ සිටි නිලධාරියා ළඟට ගොස් යමක් කුටු කුටු ගෑවා. නිලධාරියා බුලත් කෙළ මිදුලට ගසා, සිනා සී “හරි බය වෙන්න එපා, ඔක්කොම හරි, මම එයාව දන්නවා” යැයි පවසා කාර්යාලයට ගොස් උප අංශ ප්‍රධානියාට ද සෙමෙන් යමක් කිව්වේ ය.
කලින් කී ඇඳ පැළඳ ගත් කත තමන්ගේ ඉතා වටිනා ජංගම දුරකතනයේ කුඩා ආබාධයක් ප්‍රකෘතිමත් කිරීමට මේ තරුණයකුගේ දුරකතන සකසන වැඩපොළට බාර දී තිබෙනවා. මුදල් ගෙන රිසිට්පතක් පවා නිකුත්කර තිබුණ ද, දුරකතනය තිබුණාටත් වඩා අබලන් කිරීම ගැන අර කාන්තාව විමසද්දී කඩ හිමියාගේ චංඩි මිතුරෙක් ඇයට මරණ තර්ජනයක් එල්ල කර තිබෙනවා. උප අංශ ප්‍රධානියා බුද්ධිමත් ලෙස කරුණු විමසූව ද තමන්ගේ මිතුරු නිලධාරියා කණට කර කී දේ නිසා තරුණයන් දෙදෙනාට ලිහිලක් ලබා දීමට ද ඔහුට උවමනා බව අපට තේරුම් ගියා.
නමුත් තරුණයයන් වරදක් කර ඇති නිසා ඒ නිලධාරියා දෙපාර්ශ්වයටම සාධාරණ ලෙස විභාග කිරීමට ගත් උත්සාහය අපතේ ගියේ එළියේ බංකුවේ සිටි නිළධාරියා නැවත නැවත ඔහුට කණට කර යම් යම් දේ කීමෙන් උදම් වී තරුණයන්, කාන්තාවට සහ සැමියාට පොලිසියේදී ම නැවත තර්ජනය කිරීමෙන් උප අංශ ප්‍රධානියාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑමයි. ඔහු ප්‍රධානියා එනතුරු ඒ පැමිණිල්ල පසෙක තැබුවේ ය.
ඉන්පසු විභාග වූයේ නිවෙස් හිමියෙකු සහ මේසන්වරයෙක් අතර ගැටලුවක්. “අවුරුදු විස්සක් නානකාමර හදලා තියෙනවා කිව්ව නිසයි වැඩේ බාර දුන්නේ. ආසාවෙන් ඩිසයින් කරපු සැලැස්මට හරියන්න රටින් ගෙනාපු ටයිල් ඔක්කොම වැරදියට හයි කරලා.” බාස් ඔළුව කසනවා. “ දැන් මොක ද කරන්නේ?” නිලධාරියා ඇසුවේ ය. “මුකුත් කරන්න බෑ සර්.” “ එහෙනම් සල්ලි ටික දෙනවා.” “සල්ලි නෑ සර්.” “ මේ මනුස්සයට ලොකු පාඩුවක් වෙලා තියෙද්දි එහෙම කියන්න බෑ. ලොකු මහත්තයා එනකන් ඉන්නව එහෙනම්.”
ඔය අතරතුරදී යම් තරමක එකඟතාවකට දෙපාර්ශ්වය ගෙන ඒමට හැකි ලකුණු පෙනුණු වෙන පැමිණිල්ලක් විභාගයට ගැනුණා. එවිට අංශ ප්‍රධානියා කාර්යාලයට පැමිණුන ද, වේලාව හවස පහ පහු වී තිබිණි. ප්‍රධානියා අසුන් ගත්තේවත් නෑ. බංකුවේ නිලධාරියා නැවත පැමිණ කසු කුසු ගාන්නට විය. “ නෝනා කොහොමටත් කැඩිච්ච ෆෝන් එකක් නෙ හදන්න දුන්නේ, හදනව කියල ගත්තු රුපියල් දෙදහ එයා දෙයි.” අංශ ප්‍රධානියා කිව්වා.
“මට කරන මරණ තර්ජන?” නෝනා මහත්මිය විමසා සිටියා ය. “ආයිත් කරොත් කියන්න. අල්ලල කූඩුවෙ දාන්නම්.” ඒ නෝනා නික්ම යද්දී තරුණයන් ජය ඝෝසා කරමින් මිතුරු නිලධාරියාට ස්තූති කරා. ඉන් පසු ටයිල් ප්‍රශ්නය. “ඔය ටයිල් කොහොමටත් අල්ලන්නේ වතුරින් බිත්ති රැකගන්න. කොයි පැත්තට ඇල්ලුවත් ගානක් නෑ. පස්සෙ කාලෙක වෙනස් කරගන්න.” ඔහු ගෙහිමියාට කියද්දී උප අංශ ප්‍රධනියා කෑ ගසන්නට වුණා. “සර් වියදම් කරල තමන්ගේ ප්ලෑන් එකට වැඩේ කරගන්න බාර දීලා තියෙන්නේ අවුරුදු විස්සක පළපුරුද්ද තියෙන නිසයි.”
“එහෙමද? වැඩේ කරද්දි බලන්න එපැයි.”
“සර් අවුරුදු විස්සක් කරල තියෙනව කිව්වම අයෙත් මොනව බලන්න ද” උප අංශ ප්‍රධානියා මැද්දට පනිනවා.
“ඒත් ඉතින් මේ මිනිහ ට දෙන්න සල්ලිත් නැහෙනෙ, ඔන්න ඕක අල්ලල දානවා” අංශ ප්‍රධානියා කිව්වෙ කාරුණික ලෙස වුවත් ඒ අසාධාරණ තීන්දුව ගැන උප ප්‍රධානියාට කේන්ති ගොස් තිබුණා. ඉන්පසු අංශ ප්‍රධානියා බාසුන්නැහෙන්ගෙන් තොරතුරු අසා ගත්තා. “තමුසෙගෙ ටෙලිෆෝන් නොම්බරේ දීල යනවා” ඔහු කියද්දී කවුදෝ හිමින් කීවෙ “එයාට ටයිල් වැඩක් තියෙනව වෙන්න ඇති” කියායි. මේ වනවිට අපගේ පැමිණිල්ල ඉදිරිපත් කරන වාරයට ළංවී තිබුණ ද ඉතිරි නඩු විභාග වන ආකරය දැන ගැනීමට මට මහත් උවමනාවක් ඇති වී තිබුණා. දවල් සිටම ලොකු මහත්තයා මුණගැසීමට බලා සිටි මහලු කත ඉදිරියට ගියවිට අංශ ප්‍රධානියා කීවේ “දැන් බැහැ මම යන්න ඕනේ. හෙට එන්න කියායි. ඇය පිටව යන්නත් පෙර අංශ ප්‍රධානියා කාර්යාලයේ යද්දී කීවේ “හවස පුතාට පන්තියක්. ගන්න යන්න වෙනවා කියායි. “හා සර් පන්ති නෙ” උප ප්‍රධානියා පිළිතුරු දුන්නේ කම්මුලේ අත ගසාගෙන මේසයට වාරු වී සිටිද්දීමයි.

No comments:

Post a Comment