10/12/2012

අකුරු මිතුරු



මිත්‍රයෝ ඉන්නවා එක එක ජාතියේ. ගැහැනු මිත්‍රයෝ...පිරිමි මිත්‍රයෝ...අතිජාත වගේ ම අජාසත්ත කුලයේ අයත්. වෙනස් වෙන එක මිනිස් ගතිය නිසා යාළුවෝ වුණත් වෙනස් නොවී ඉදීවි කියලා බලාපො­‍ෙරාත්තු වෙන්න අමාරුයි. සමහර අය යාළු වෙන්නේ මුදල් බලාපොරොත්තුවෙන්. 

තවත් සමහර අය උදවු බලාපොරොත්තුවෙන්. ඔය මුකුත් ම නැතත් අපි මිතුරු වෙන පුද්ගලයාගෙන් සැබෑ මිතුරුදමක් හරි බලාපො‍ෙරාත්තු වෙනවා.
මම නම් හුඟක් වෙලාවට යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මාව තේරුම් ගැනීමේ හැකියාව. මගේ යාළුවො බොහොමයක් අපි අපි වටේ ඇදගෙන ඉන්න සංස්කෘතික රාමුවෙන් එපිටින් හිතන අය.
මට පුළුවන් පුටුවක් උඩ ඉදගෙන ඇස් දෙක පියාගත්තම මම ඉන්නෙ මූද මැද කියලා හිතාගන්න. වෙනත් විදිහකට කියනවා නම් හිතේ මවාගන්න. ඇත්තටම කියනවා නම් ඩොලර් නැත්නම් පවුම් විශාල ගණනක් ගෙවලා මූද මැද සංචාරයක් යනවට වඩා ඒක හරිම ලේසියි. ගැහැනුවත් පිරිමිවත් නොවෙන ඒ වගේ ම ජීවිතකාලෙටම වෙනස් නොවෙන යාළුවෝ කාණ්ඩයක් තමයි මට ඔය හිතේ මවාගැනීමේ සුන්දරත්වය පුරුදු කළේ. මේ කියන යාළුවෝ නිර්මාණය වෙලා තියෙන්නෙ නිකම්ම නිකම් හිස් කරදාසි කොළ උඩ මුද්‍රණය වුණු කළුපාට අකුරුවලින්. හරිම පහසුවෙන් සල්ලි දීලා ගන්නත් ජීවිතකාලෙට ම එකම බැදීමකින් තමන් ළඟ තියා ගන්නත් පුළුවන්. මේ යාළුවෝ ජීවිතයට හුඟක් වටිනවා.
ඒ යාළුවො වෙනස් වෙන්නෙ නෑ කියලා මට සහහික කරලා කියන්න පුළුවන් වෙන්නෙ ඒ යහළුන්ට ඔබට මට වගේ ජීවිතයක් නැති බවට මට සහතික වෙන්න පුළුවන් නිසා. අජීවී වස්තුවලට ඇති බැදීම අපේ හිත්වලින් ඉවත්වෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි. අජීවී වස්තු අපට තරහ වන්නට හේතු සාදා නොදීම එයට හේතුවයි.
යාළුවො සල්ලිවලට ගන්න අවුරුද්ද පුරා ම ඒ වෙනුවෙන් ම එකතු කරපු සල්ලිත් ,දවසක නිවාඩුවකුත් අරගෙන මම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගියේ අලුතින් හමුවෙන යාළුවො ගැන හීනත් හිතේ තියාගෙන. යාළුවො ලයිස්තුවක නම් ඒ වෙනකොටත් කොපි පොතකින් ඉරාගත්ත කොලේක ලියලා හතරට නමලා මගේ අත්බෑගය ඇතුළේ තිබුණා.
ඒ ලයිස්තුවෙ හිටපු යාළුවොත් ලයිස්තුවෙ නොහිටපු ඒත් දුටුමතින් මගේ හිත අලවගත්ත යාළුවොත් මම කාසි දීලා ගත්තා. ඒත් සමහරවිට ඒ පොත්වල අකුරු අතරෙ හොයන්නට බැරි කතන්දර මම එදා දුටුවා. හිතට නෙල්ලි රස ගේන්න ඒ කතන්දර සමත් වුණා.
ප්‍රදර්ශන කුටි ඇතුළෙ ‘සූ’ ගාලා සෙනඟ. විවිධ ආගම් ජාතින් වගේ ම විවිධ සමාජ මට්ටම්වලින් යුතුයයි සිතිය හැකි මිනිසුන්ගෙන් කුටි පිරී ඉතිරී තිබුණා. එක පොතකින් පිටපත් දහසක් විකුණාගන්නට අපහසු රටක තවමත් කියවන මිනිස්සු, කියවන්නට කැමති මිනිස්සු සහ කියවන බව පෙන්වන මිනිස්සු සිටිනවායයි දැකීම හිතට සියුම් සහනයක් ගෙනාවා.
එකිනෙකා පරයමින් තමන්ගේ පොත් ලයිස්තුවේ පොත් මිලට ගන්නට වෑයම් කරන මිනිසුන්ගෙ මුවින් නික්මුණු වචන මගේ සවන්පත් පිරෙව්වා.
“ඉස්කෝලෙට ගේන්න කියුවෙ ස්වර්ණ පුස්තක පොත් විතරයි” ටීචර් කෙනෙක් කියුවා.
“ඇයි ස්වර්ණ පුස්තකයට නිර්දේශිත පොත් විතර ද පොත් කියන්නෙ?” මගේ හිත ඒ ටීචර්ට පිළිතුරු බැන්දා.
පසුගිය අවුරුද්දෙ ප්‍රකාශිත පොත් අසූවකින් පොත් දොළහක් අවසාන වටයට තෝරනකොට කොයිතරම් නම් අතපසුවීම් වෙන්න පුළුවන්ද? මොකද ස්වර්ණ පුස්තක තේරීම් කමිටුවේ ඉන්නේ මිනිසුන් නිසාත්, මිනිසුන්ට අතපසුවීම් සහ වැරදි සිදුවිය හැකි නිසාත්. පාසලක පුස්තකාලයක තිබිය යුත්තේ ස්වර්ණ පුස්තක පමණක් නොවිය යුතු බවත්, විශ්ව සාහිත්‍ය ඊට වඩා පෘථුල වපසරියක පැතිර තිබෙන බවත් ටීචර්ට කියන්නට මගේ හිත කියුවා. ඒත් මම එහෙම කියුවෙ නෑ.
ටීචර් ස්වර්ණ පුස්තක පොත් ගන්න එක, එක අතකින් හොදයි. ගොඩගේ සම්මාන පොත් ගන්න හිටියා නම් මේ අවුරුද්දෙ ඉස්කෝලෙට පුස්තකාලෙට පොත් නැතිවෙන නිසයි ඒ. සියයට සියයක් ම නිවැරදි ප්‍රශස්ත නවකතාවක් ලබන අවුරුද්දෙවත් බිහිවේවිදෝයි මට හිතුණා.
තමන්ට උවමනා ‘ආදරණීය ඩාලියා’ පොත බවත් ‘දයාබර ඩාලියා’ නොවන බවත් තව කෙනක් කියුවා. ආදරණීය සහ දයාබර යන වචන ඒනෙකින් වෙනස් වන අයුරු ගැන තව වරක් හිතන්නට මගේ හිත පෙළඹුණා.
මිනිසුන් බොහොමයක් එකිනෙකා අතර තෙරපෙමින් ඔහේ ඉදිරියට ගියා. පාසල් සිසුවෙක් අන් පාසලක සිසුවියකට විහිළුවක් කළා. පෙම්වතුන් අතින් අත් අල්ලාන සම්මන්ත්‍රණ ශාලාවේ පරිශ්‍රය තුළ ඇවිද ගියා. මා දකින්නේ ඉහත සියලු ම දෑ සිදුවිය යුතු දෑ ලෙසට. සාහිත්‍යයේ උන්නතියට මෙහෙවරක් වන දෑ ලෙසට. සාහිත්‍යයෙන් අර්ථ ගැන්වෙන්නේ ජීවිතයයි. සාහිත්‍ය විදින්නට ප්‍රථම මිනිසුන් ජීවිතය විදින්නට හුරුවිය යුතුයි.
මිලට ගත්ත අකුරුවල බර තවදුරටත් දරාගෙන ඉන්න අපහසු නිසා මම අකුරුවල බර හෑල්ලුවෙන්න පඩියක් මතින් ඉදගත්තා. තාරකා වාසලමුදලිආරච්චි ගුරුගෙදර ඉදලා පාඨකයන්ට ස්තුති කරනවා යකඩ කටින් ඇහුණා. ඒ හැර වැදගත් යමක් ඒ කතාවෙන් එකතු කරගන්න නොලබුණේ මගේ නොදන්නාකම ද මන්දා.
තාරකාගෙ කතාවෙන් පස්සෙ මයික්‍රෆෝනය අතට ගත්තු ‘නම කියන්න කැමති නැති කෙනා’ වැදගත් කතාවක් කියුවා.
“අපේ රටේ පොත් ලියවෙන්නෙ ආදර කතා මාතෘකා කරගෙන. එහෙම නැත්නම් ගසා කෑම් ගැන. දුක්ඛිත ජීවිත ගැන. ඒත් අපි ඉන්නෙ යුද්ධ හමුදාවෙ මහත්තුරු තමන්ට ම ගහ ගෙන උසාවි යන රටක. මිනිස්සු තමන්ව ම ගස් බැඳගන්න රටක. ඒත් අපි ඒ ගැන ලියන්න බයයි.”
මම බංකුවේ ඉදගෙන හිස් බැල්මෙන් ඉස්සරහ බලාගෙන හිටියා.
පවුල් පිටින් පොත් ප්‍රදර්ශනය බලන්න ආපු අය එක අතකින් දරු පැටියාත් අනිත් අතින් පොත් මිටියත් අරගෙන මගේ ඇස් ඉස්සරහින් ඇවිදගෙන ගියා. මම පොත් මිටිය දිහා හොරාට බැලුවා.
“කොපි පොත්” පොත් මල්ල ම පුරවලා “කොපි පොත්….
ඉස්සර හැම මාසෙ ම පඩි ගත්ත දවසෙ හවසට අම්මා මං අතට ගෙනත් දෙන කතා පොත මගේ හිතට අකුණු සැරයක් වගේ ඇවිත් ගියා.
මම ඉදගෙන හිටි තැනින් නැඟිටලා අකුරු බර ආයෙමත් අතට ගත්තා.

No comments:

Post a Comment