10/26/2012

වචනය ගැන වචනයක්



වචන කියන්නෙ, බොහෝ දේ කියන, ඒවගේ ම බොහෝ දේ නොකියන අකුරු. සමහර වෙලාවට මේ අකුරු හුඟක් දුර්වලයි. තවත් සමහර වෙලාවට ඒව හරි ශක්තිමත්, කොන්ක්‍රීට්වලටත් වැඩි ය. අනිත් එක ඒව එළියට දැම්මට පස්සෙ ආයේ ඇදල ගන්නත් බෑ. 

කතාවට කියන්නෙ පනින්න පෙර හිතා බලන්න කියලා. ඒ වගේ ම තමයි කියන්න කලිනුත් හිතා බලන්න ඕනි.
මොකද වචනවලට මිනිස්සුන්ව ජීවත් කරන්න පුළුවන් නිසා‚ ඒ වගේම මිනිස්සුන්ව ඝාතනය කරන්න පුළුවන් නිසා. හුඟක් වෙලාවට එය මනුෂ්‍ය ඝාතනයකට එහා ගිය චරිත ඝාතනයක් වෙන්නත් පුළුවන්. මොකද කැපෙන පිහිතුඩුවලට වඩා මුවහත් චචනවලින් අනෙකාව රිද්දන එක හරිම පහසු නිසා. එ් විතරක් නෙවෙයි ඊට පස්සෙ හරිම සරලව ‘සමාවෙන්න, හිතල කියපු දෙයක් නෙවී’ කියල සමාව භජනය කරන්නත් කට්ටිය සැදී පැහැදී ඉන්නව.
වචන ගැන කතා කරද්දි මට ඔබට කියන්න කතන්දර රාශියක් තියෙනවා.
ඔබ අහල තියෙනවද එක රාජ නියෝගයක් ගැන. එහි තිබිල තියෙන්නෙ අණක්, මරණිය දඩුවමක් පිළිබඳ රාජාඥාවක්. එහි සිංහල අදහස වන්නෙ, මරන්න එපා. නිදහස් කරන්න කියල. නමුත් අවසාන මොහොත තුළ පෝරකය අභියස එය කියවා ඇත්තේ, මරන්න, එපා, නිදහස් කරන්න කියල. ඒ අනුව වචන අතරෙ තිබුණු කොමාව හැලිල නිදහස මරණයෙන් කෙලවර වුණා. වචන කියන්නෙ දෙපැත්ත කැපෙන ආයුධ.
වචන ගැන කතා කරද්දි හිත සසල කරවන වචන කීපයක් අහන්න ලැබුණෙ මලර් විලිගෙන්.
“ එදා 2008 මැයි මාසේ 05 වෙනිද හතර වටේ වෙඩි හඩ ඇහෙද්දි මම රෙදි කෑලි කීපය පොට්ටනියකට බැදල දරුවො දෙන්නත් එක්ක අනිත් බංකරයකට යන්න ලෑස්ති වුණා. ඊළග තත්පරේ මට දැනුණ මාව ගිනි ගන්නව කියල. ෂෙල් එකක් අපිව කුඩු කරල කියල මම දන්නෙ නෑ. කොන්දට අත තියල බැලුව රතුපාට ලේ ගලාගෙන යනවා... මිනිස්සු පණ බේර ගන්න දුවනවා. තුවාල කාරයන්ගෙ ඇගවල් උඩින් දුවනවා. ලොකු පුතා තුවායක් අරගෙන ඇග වටේ ඔතනව මට මතකයි. ආයේ සිහිය එද්දි මම ඉටිරෙදි කෑල්ලක වැතිරිල හිටිය.
ඒක තාවකාලික ශල්‍යාගාරයක්” සාරිවලින් වට තිර ඇදපු එහි ලෙඩ්ඩු සියගාණක් හිටියා. ඒ හැම දෙනා ළගම සාරි තිර ඇදපු කෝටුවල පොලිතීන් බෑග් එල්ලල තිබුණා. ඒවයේ තිබුණේ එක එක ලෙඩාගෙන් අයින් කරපු ශරීර කොටස්. මගෙත් එක වකුගඩුවක් එක්ක සමම බඩවැල්වලින් බාගයක් ෂෙල් වෙඩිල්ල ගලවල අහක්කරලා තිබුණා.
හුඟක් අසාධ්‍ය රෝගීන් මුහුදු මාර්ගයෙන් පදවිය රෝහලට ගෙනෙද්දි මාවයි දරුදෙන්නයි එක බෝට්ටුවකට දැම්ම. මුළු යාත්‍රාවම ලෙඩ්ඩුන්ගෙන් පිරීලා ගිහින්. ඒ අතර මියයන අයගෙ මිනී මහ සයුරට දාන්නෙ විකල්පයක් නැති නිසා. මට කතා කරන්න බැහැ. හැම දේම ඇහෙනව. එක මොහොතක මට ඇහෙනව කවුද කතා කරනව.
“ඉවලෙයුම් කඩලුක්කුල් කෝඩුවෝමා. ” (මෙයාවත් මුහුදට දාමු ) ඒත් එක්කම මගෙ දරුවො දෙන්න මාව බදාගෙන කෑගහනව මට දැනුණ. ඇහුණා. “අම්මාවයි කඩලුක්කුල් විසීනාල් නාංගලුම් කඩලුක්කුල් කුදිප්පෝම්” .( අම්මව මුහුදට විසි කළොත් අපිත් මුහුදට පනිනව) ” මලර් මට කියනව “මට උපත දුන්නෙ අම්ම. ජීවිතේ දුන්නෙ දරු දෙන්න කියල.”
ඊට කාලෙකට පසු මලර්විලි අග්බෝපුරට එනව. පොඩි පුතාට දැන් වයස අවුරුදු දෙකයි. දවල්ට උදවු කරන්න අහල රෑට උදවු වෙන්න ගෙදරට එන්න හදන මිනිස්සු ඕන තරම් ඉන්න රටක මලර්ට ජීවිතය එපාවෙනව. “කුරැණි” ක්ෂණිකව ජීවිතේ අතැරයන්න හොද බේතක්, ඇය දරුවන්ගෙන් අහනව අපි ඔක්කොම එකට යන්න යමුද කියල, ලොකු පුතා කැමති වුණත් බාලයා බෑ කියනවා. දෙවන වතාවටත් දරුවන්ගෙ වචන මලර්විලි ගේ ජීවිතයට ශක්තියක් වෙනවා.
ඊට පහුවදා ඇය හමුවෙන්න අමුත්තෙක් එනවා. ඔහු සමාජ සේවා සංවිධානයක නියෝජිතයෙක්; මානසික උපදේශකයෙක්. හැර යන්න හිටි ජිවීතය අතමිට මොළවගෙන දරුවො තුන්දෙනා එක්ක අද මලර්විලි හිනාවෙනවා.
මැරෙන්න හිටි මට ආයේ ජීවිතේ දුන්නෙ ඒ මහත්තයගේ වචන කියල, මලර් හදවතින්ම කියනවා. අද මලර්විලි හිනාවෙලා ජීවත් වෙනවා. වචන හයියක් කරගෙන තමන්ගෙ අයිතිය වෙනුවෙන් කතා කරනවා. තමන් වෙනුවෙන් පෙනී සිටිනවා. වචනවල ශක්තිය දන්නවා. එයින් වැඩ ගන්නවා. අද මලර්විලි කියන්නෙ ශක්තිමත් කාන්තාවක්.
මට ඔබට කියන්න අවශ්‍යයි. අපි හැම මොහොතෙම කිසියම් ගනුදෙනුවක් එක්ක ජීවත් වෙනව කියලා. ඒ ගනුදෙනූවට විවිධ අර්ථ තියෙන්න පුළුවන්. පවුලෙ අය වේවා, හිත මිතුරන් වේවා‚ හැම දෙනා එක්කම තියෙන ගනුදෙනුව සන්නිවේදනය හරහා ප්‍රක්ෂේපණය කරන්නා වූ මෙවලම වන භාෂාව නිවැරැදි ව හසුරුවා ගැනීම ඉතාමත් වැදගත්.
මොකද අපි කටින් වචන එළියට දැම්මට පස්සේ ඒ වචනවලට අරුත් දනවන්නේ එයට සවන් දෙන අය. බොහෝවිට සිහිනෙන් හෝ අපේක්‍ෂා නොකළ ප්‍රතිචාර අපේ වචන හරහා අනෙක් අයට සන්නිවේදනය විය හැකියි. ඉතින් හිතන්න... වචන භාවිත කිරීමට පෙර නැවත නැවතත් හිතන්න.
මම
lihinisara@gmail.com

No comments:

Post a Comment