10/19/2012

මනෝත් මමත් සේකර හමුවීමු



දොළොස් මහේ පහන කවි පිටපත් කවි පොතක් විදියට මුද්‍රණය වෙලා එළිදකින සිහිනයෙ මනෝත් මමත්. සුනිල් ඒ සිහිනයෙ පැත්තක හිටියෙ, මොකද එයාගෙ විභාගෙ පාඩම් කටයුතුවලට මුල් තැන දෙන්න වෙච්ච නිසා. පිටපත මුද්‍රණාලයකට භාර දුන් පමණින් පොත බිහිවෙන්නෙ නැති බව මටත් මනෝටත් නිතර මතක් වුණා.

පොතට පෙර වදනක්? ඊළඟට කවරයක්? මනෝයි මමයි දවසක් නිවාඩු දාලා විද්‍යාලංකාර කැම්පස් එකට ගියා ඩොක්ටර් විමල් දිසානායක මුණගැහෙන්න, කවි පොතේ අත් පිටපතකුත් අරගෙන.
ඩොක්ටර් විමල් දිසානායක නම් අපි දෙන්නව ඒ කාලෙ වෙනකොට දැනගෙන හිටියෙ පෞද්ගලිකවම. ගුවන් විදුලියෙ යෞවන සමාජයෙ සභාපතිවෙලා වැඩසටහන මෙහෙයවන කොට, අපිත් ගිහින් පුංචි කෑල්ලක් කියවන්න පුරුදු වෙලා හිටියෙ. විද්‍යාලංකාරෙට ගිය දවසෙ අපි දෙන්නම පතිත් (ධර්මසේන පතිරාජ) හතා (ගාමිණි හත්තොටුවෙගමත්) මුණ ගැහුණා. කැන්ටිමේ ප්ලේන්ටි බීලා ඩොක්ටර් දිසානායකට පිටපත දීලා කොළඹ එනකල් කල්පනා කර කර ආවෙ, කවරෙ චිත්‍රය අන්ඳවන්නෙ කා ලවාද කියලා. මම මනෝට යෝජනා කළා අපි කවරෙ මහගම සේකර ලවා අන්ඳවා ගනිමු කියලා. මනෝ ටිකක් බය වුණා. සේකර වගේ මහා කලාකාරයෙක්, අපි වගේ පුංචි කවියො තුන්දෙනෙකුගෙ පොතකට චිත්‍රයක් අඳීවි ද කියලා.
මහාචාර්ය සරච්චන්ද්‍ර ගැන මගේ හිතේ මැවිල තිබුණා වගේ භක්තියක්, හඳුනාගැනීමේ ආසාවක්, සේකර කලාකරුවා ගැනත් තිබුණා. මේ කාලෙ එක දවසක හැන්දෑවෙ බුලර්ස් පාරෙ සමස්ත ලංකා බෞද්ධ සමිති ශාලාවෙ සිංහල චිත්‍රපට ගීත ගැන මහගම සේකරගෙ දේශනයක් අහන්න ගිය වෙලාවෙ සේකර හැබැහින් දැකල තිබුණා. එදා චිත්‍රපට ගී ගැන කළ දේශනය රෝනියෝ කරල ශාලාවට බෙදල දුන්නා. ඒකෙ පිටපත අදත් මම ළඟ. හරිම මහන්සි වෙලා කරුණු හොයාගෙන නිදර්ශන සහිතව කරපු දේශනයක්. අද නම් ඒ ජාතියෙ දේශන අහන්න ලැබෙනව අඩුයි. කොහොම හරි අපි දෙන්න තීරණේ කළා මහගම සේකර මුණ ගැහෙන්න ගම්පහ යන්න ඕන කියලා. මේ කාලෙදිම මහගම සේකරට කොළඹ චිත්‍ර කලා ආයතනයෙ (හේවුඩ්) විදුහල්පති තනතුර ලැබෙන වගත් අපට ආරංචි වෙලා තිබුණා.
1971 අගෝස්තු 30 දා හවසක මනෝත් මමත් ගම්පහ ශ්‍රී බෝධි පාරේ පදිංචි වෙලා හිටිය මහගම සේකර මහා කලාකරුවා හමුවෙන්න ගියා. පාර අහගෙන සේකරගෙ ගෙදරට යන කොට අපි දෙන්නට ඈතින්ම ඇහුණා ළමයෙක් නළවන හඬක්. ඒක පිරිමි කටහඬක්. අපි දොරවල් ඇරල තිබුණු සේකරගෙ ‍ගෙදර දොරට තට්ටු කළා. සාලෙ වීදුරු කැබිනට්ටුවක් උඩ සම්මාන තුනක් තිබුණා. ඒව කොළ පාට පල්මානික්කම් බැඳිලා. සාලෙ බිත්තිවල පුංචි දරුවො කුරුටු ගාපු චිත්‍ර. කාමරේ ඇතුළෙ ඉඳලම උඩුකය නිරුවත්, මහා කළු සිංහලයා වගේ උස පුරුෂයෙක් අපි දෙන්න ඉදිරියෙ. පපුව පුරාම ගනට වැඩුණු මවිල් පිරිලා. “වාඩිවෙන්නකො” ඔහු මෘදු හඬින් කිව්වෙ. “මිස්ටර් සේකර අපේ මේ කවි පොතට කවරෙ චිත්‍රෙ අන්දව ගන්න කියලා...” මනෝ ඇහෙන නෑහෙන හඬින් කියන්නෙ.
 “මොකක්ද පොතේ නම්?” “දොළොස් මගේ පහන” මගේ පිළිතුර. හොඳයි කාගෙ කවි ද කියල නම් ලියල පොතේ නමත් ලියල දෙන්නකො. සුමානෙකින් විතර, මම වැඩේ කරල දෙන්නම්” ඊට පස්සෙ පුංචි වෙලාවක, නාට්‍යය, කවිය ගැන කතා බහක්. හැබෑ කලාකරුවෙකුගෙ ජීවිතය දුටුවෙමි. සේකර වෙතින් කියල මගේ දිනපොතේ එදා ලියවිල තියෙන්නෙ. පෙරවදනත්, පිටකවරෙ චිත්‍රයෙ කටයුත්තත් යන්තම් විසඳුණා කියල අපිට සතුටක් දැනුණා. මහගම සේකර මුණගැහිලා කතා කරන්න ලැබිච්ච ප්‍රීතියෙන් අපි දෙන්නම මත්වෙලා හිටියෙ. කොටුවට බස් එකේ ආපු අපි දෙන්නා ඒ සතුට උඩට පෙණ බුබුලින් පිරුණු බීර විතක සතුටත් එකතු කරගත්තා.
අද දවසෙ අපට මුණ ගැහෙන මහා කලාකරයො කියල අපි විශ්වාස කරන, ඒ අයම කියාගන්නා ඇතැම් චරිත ගැන කල්පනා වෙනකොට, ඒ දවස්වල අපිට මුණගැහුණු කලාකාරයො කොයි තරම් නිරහංකාර ද නිහතමානී ද කියල හිතෙනවා. කවි පොතේ පෙරවදන ආචාර්ය විමල් දිසානායක මගේ කන්තෝරුවටම ලුණු සංස්ථාවටම ගෙනැත් දුන්නා. මහගම සේකරගෙ කවරෙ චිත්‍රෙ හේවුඩ් එකේ සේකරගෙ රෙජිස්ට්‍රාර් අපේ නාට්‍ය මිත්‍රයා එස්. ඒ. ප්‍රේමරත්න අතේම මට එවල තිබුණා. පෙරවදන තරමක දිග එකක්.
පොදුවෙ කවිය ගැන හැඳින්වීමකුත්, අපි තුන්දෙනාගෙ කවි ගැන කෙටි හැඳින්වීමකුත් එක්ක. පිටකවරෙ චිත්‍රෙ හරිම ලස්සනයි. වර්ණ දෙකයි. නිල් පාට කළු පාට. නිල්පාට පසුබිමේ තිර දොළහක් වගේ. ඉන් තුනක් සුදු පාට. අනිත් නවය කළුපාට. දොළොස් මහේ පහනෙ දැල්වෙන සිළු තුන අපි තුන්දෙනා කියල ද සේකර චිත්‍රය අර්ථගන්වල තියෙන්නෙ? මගේ නම මුලින්ම. ඊළඟට මනෝ. සුනිල්ගෙ නම අවසාන නම. සමූහ පොතක කර්තෘ හැටියට සලකන්නෙ මුලින්ම සඳහන් නම අයිති පුද්ගලයා කියලා මම දැනගත්තෙ පස්සෙ කාලෙක.
ඒ කියන්නෙ දොළොස් මහේ පහනෙ අයිතිකාරයා මම. සතියෙ දවස් පහෙන් තුනක් හතරක්ම එක්කො මම, නැත්නම් මනෝ, කවිපොතේ සෝදුපත් බැලිල්ලට පිටු සකස් කරන එක සොයා බැලීමට මරදානෙ අයි. පී. බී. ප්‍රෙස් එකේ. හේවාකපුගේ දෙසොහොයුරන්. ඒ කියන්නෙ එඩ්වින් හා සෝමපාල. හේවාකපුගේ නොදන්නා කලාකරුවෙක් මේ කාලයේ අගනුවර හිටියේ නෑ කියන එක මම දැන ගත්තේ, කවි පොතේ වැඩවලටත්, ඊට පෙර මනමෙ, සිංහබාහු නාට්‍ය රංග පත්‍රිකා සංස්කරණ කටයුතුවලටත් අයි. පී. බී. යට නිතර යන්න පුරුදු වෙලා තිබුණු නිසා.
මහාචාර්ය සරච්චන්ද්‍රගෙ ඉඳල හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, චන්ද්‍රසේන දසනායක, ආර්. ආර්. සමරකෝන්, ධම්ම ජාගොඩ, බන්දුල විතානගේ, තිලක් ජයරත්න, රන්ජිත් ධර්මකීර්ති, සුනන්ද මහේන්ද්‍ර ද මැල්, චිත්‍රසේන, සයිමන් නවගත්තෙගම ඇතුළු තව විශාල දැවැන්ත කලාකාරයො කණ්ඩායමක් දැකබලා ගන්න අඳුනගන්න අයි. පී. බී. මුද්‍රණාලය හෙවත් කලාකරුවන් හමුවන සොඳුරු නවාතැන උපකාර වෙච්ච හැටි අදත් සිහි වෙනකොට දැනෙන සතුට අපමණයි.
bgalappatty@yahoo.com

No comments:

Post a Comment