10/12/2012

පරණ සපත්තු



අලුත් දවසක් සපැමිණි වග දැනුම් දෙමින් තොර තෝංචියක් නැතිව නද දෙන කුරුල්ලන් මෙන්ම මගේ දරුවන් ද හඬ නඟන්නේ මෙය සතියේ දවසක් බව පසක් කරවමිනි.
“අම්මා මගේ මේස් දෙක කෝ ....?”

පොඩි පුතාගේ නොඉවසිලිමත් හඬින් මම කෝපයට පත්වෙමි.
“මම කියල තියෙනවනේ හවසට සේරම ලෑස්ති කරගන්න කියලා”
“ලෑස්තිකරල තමා තිබ්බෙ මද්දුවා දාගෙන යන්ඩැති.”
හැම දිනකම පාහේ උදෙන්ම පාසල් යන්නට මද්දු වග බලාගනියි.
“එයා මොකටද ඔයාගෙ මේස් දෙක දාගෙන යන්නෙ.”
ළිප වෙතින් ඈත් වෙමින් මා අසන්නේ තැවුල් හඬිනි.
“මද්දු තමා.... මද්දුම තමා...”
නිවුන්දු හඬ ගාන්නේ හැන්දෑවේ මද්දුට පොඩි අයියාගෙන් ටොක්කක් නොවරදින බව හඟිමිනි. “බොරු කියන්ඩෙපායි මම ඔවුන්ට තරවටු කරමි.
“මට පරක්කු වෙනව අම්මා.
පොඩි පුතා නහයෙන් හඬයි’ මම බිත්තියේ එල්වා තිබූ රෙදිමල්ලගෙන ඔහු වෙත දිගු කළෙමි.
“ඔයාට හරියන මේස් දෙකක් තෝරගන්ඩ”
“මොකක්ද අම්මා...”
මම නිවුන්දු දෙස බැලුවෙමි.
“ඕගොල්ලොත් සපත්තු දාන්ඩ”
“අනේ අම්මා අද මම සෙරප්පු දාන්නද ?”
පුංචි පුතා බැගෑබර බැල්මක් හෙළයි.
“නෑ නෑ සපත්තු නැතුව යුනිෆෝම් එක සම්පූර්ණ වෙන්නෙ නෑනෙ.”
“මගෙ සපත්තු දෙක හොඳට ම කැඩිල අම්මෙ....”
“මගේ දෙකත් හිරයි....” චූටි පුතා ද නෝක්කඩු කියයි. මා ඔවුන් දෙස බලා සිටින්නේ කනගාටුවෙනි. ඔවුන් දෙදෙනා හට අලුත් සපත්තු උවමනා කර තිබෙන බව මම දැන සිටියෙමි. ඒ සඳහා මුදලක් ද වෙන් කොට තබන්නට මම අමතක නොකළෙමි. එහෙත් අධ්‍යාපන චාරිකාව විසින් නිවුන්දු හට තවත් සතියක් දෙකක් පරණ සපත්තු පයලන්නට බල කර සිටියි. අධ්‍යාපන චාරිකාවත් සපත්තුත් අතර කිනම් සම්බන්ධයක්ද ? සැබැවින් ම සබඳතාවයක් තිබිණ.
“අම්මා ඉස්කෝලෙන් ආයෙත් ට්‍රිප් එකක් යනවා”
“කොළඹලු යන්නෙ..... වරායට ගුවන්තොටුපළට....පාර්ලිමේන්තුවට.....”
ළමයින් දෙදෙනාගේ ප්‍රීතිමත් හඬ අසමින් වුව මා දුටුවේ සුමිත්ලාගේ අජිත්ලාගේ සෝබර මුහුණුය. ඔවුන් උදෙසා මෙවන් ගමනක වියදම් කරන්නට ඔවුන්ගේ මවුපියන්ට හැකියාවක් නැතැයි මම හොඳින් දැන සිටියෙමි. ඉතින් ඒ බව දැක දැකත් සුසුමක් හෙළා නිහඬ විය හැකි ද?
අනෙක් අතට ළමයින් අධ්‍යාපන චාරිකා සඳහා සහභාගි කරවීම නිෂ්ඵල කටයුත්තකැයි සිතන මවුපියෝ ද සිටිති. පංති කාමරය තුළ අකුරු ඉලක්කම් පමණක් අධ්‍යාපනය බව සිතන්නට ඔවුන් පෙළඹී සිටීම සැබැවින්ම අවාසනාවකි. ළමා වියේ සොඳුරු මතක කිසි කලෙකත් වියැකී නොයන බව නොදන්නේ කවුරුන්ද..? ගමනක ප්‍රීතිය සිත කය පුරා අත් විඳින්නට අපි අපේ ළමයින් හට ඉඩ දිය යුතු වෙමු. ඔවුන්ගේ අනාගතය උදෙසා එවන් අත්දැකීම් කොතෙක් ඉවහල් වේද. සංචාරය අප කා හටත් තිළිණ කරන අත්දැකීම් කොතරම් අපූරුද. ඉතින් අන්තිමේ දී මා තීරණය කළේ මගේ දරුවන් මෙන් ම සුමිත්ලා සහ අජිත්ලා ද මේ ගමන යා යුතු බව ය.
පසුවදා ම පාසලට ගොස් පංති භාර ගුරුවරයා හමුවන්නට ද සුමිත්ලා වෙනුවෙන් අධ්‍යාපන චාරිකාව සඳහා මුදල් බඳින්නට ද මම වගබලා ගතිමි. ගුරුවරයාගේ දෙනෙතෙහි පිරුණ විමතිය දැක දැක වුව මම කරුණු පහදන්නට නොගියෙමි.
“මගේ නම කියන්න ඕන නෑ....ඒ ළමයින්ට ට්‍රිප් එක යන්න ලෑස්ති වෙන්න කීවහම හොඳටම ඇති”
මා ආපසු පැමිණියේ සතුටත් ශෝකයත් එකවර දරමිනි. සුමිත්ලා අධ්‍යාපන චාරිකාවෙන් ලබන සතුට සිහි කිරීම පවා සැනසුමක් බව සැබෑ ය. එහෙත් පරණ සපත්තු පය ලන මගේ දරුවන් වෙනුවෙන් මා කනගාටු නොවී හිඳින්නේ කෙසේ ද?
“නෑ තව සතියක් දෙකක් ඔය විදියට ඉස්කෝලෙ ගියාම මොකද....මට පුළුවන්නෙ ඉක්මණටම ඒ දෙන්නට සපත්තු අරං දෙන්න”
මගේ රිදුණු සිත සනසන්නට වෑයම් කළ යුතු වූයේ ද මා විසින්ම ය. එය දුෂ්කර කාර්යයක් නොවුවද දහසක් බුදුන් බුදුවන උදෑසන මුහුණු බෙරි කරගත් පොඩිත්තන් සනසාලන්නේ කෙසේ ද? පයට මිරිවැඬි සොයන කල දෙපා නැති අය ද අප අතර සිටින බව කීමෙන්ද?
“හොඳ පුතාලනේ. මේ දවස් ටිකත් අපි මේ සපත්තුම දාමු කෝ කොහොම හරි....ලබන සතියෙ අම්ම පුතාලට අලුත් සපත්තු අරං දෙනවමයි....”
චූටි පුතා බැරෑරුම් බැල්මක් හෙලුවේ ය.
“අපි දෙන්නට ම සපත්තු ගන්න හුඟක් සල්ලි ඕන නේද අම්මා....?” මම හිස සැලුවෙමි.
“එහෙනං ඉස්සෙල්ල අයියට අරං දෙන්න.....මට මේ සපත්තු දෙක එච්චරම හිර නෑ..”
දෑස නැඟි කඳුළු වසන්කර ගන්නට මම මඳක් වෙහෙස වූයෙමි.
චූටි පුතා සපත්තු පයලා ඇවිද්දේ ය. මහා සැහැල්ලුවක් සහ සොම්නසක් මවා පෑවේ ය.
“නේද අම්මා...එච්චර හිර නෑ...මට අමාරු නෑ..චුට්ටක්වත් අමාරු නෑ. කකුල් දෙක රිදෙන්නෙ නෑ...”
මගේ දුක්බර මුහුණ ඔහුගේ මුව පණ පොවයි.
“මං නං දාන්නෙ මේ සතිය විතරයි....”යි කොඳුරමින් පුංචි පුතා පරණ සපත්තු ලා ගනියි.. අමනාපයෙන් එල්ලා වැටෙන ඔහුගේ මුහුණ සිපගන්නට මට සිතිණ.
“මම දෙන්නටම සපත්තු ගන්නම්කෝ....” යි මම බිඳුන හඬින් කීවෙමි.
“නෑ නෑ ඉස්සෙල්ලම අයියට මට පස්සේ... යි කී චූටි පුතා මගේ දෙපය වැළඳගත්තේ ය. මුව ඟ හිනාවක් ද දෙනෙත කඳුලක් ද මතුවූයේ එක ම මොහොතේ ය.
srmsenapura@gmail.com

No comments:

Post a Comment