පුංචි පන්තිවල ඉඳන් වසරින් වසර ඉහළ යන ජීවිතයට අධ්‍යාපනයෙන් වැඩි වටිනාකමක් ලැබෙන්නේ සරසවි හීනය ජය ගත්තහම කියන එක තමයි පාසල් කාලේ අපි හැමෝගෙම හිතුවිල්ල වුණේ. හැම දරු දැරියෙක් ම උසස් පෙළ කඩ ඉමෙන් පාසල් ජීවිතයට ආයුබෝවන් කියන්නේ සරසවි හීනයේ සතුට ඇස් අග රඳවාගන්න ආසාවෙන්.
විශ්වවිද්‍යාලයත් ඒ ජීවිතයත් පුංචි කාලේ ඉඳන් අපි හැමෝගෙම හිත්වල හරි ලස්සනට ඇඳෙන්න ගන්නේ ඒ හින්දා.
ලොකු පන්තිවල අයියලා අක්කලා ඉස්කෝලෙන් අයින්වෙලා කැම්පස් යන එන හැටි, කැම්පස් එකේ විස්තර කියනකොට ඒවා අහන අපේ හිතේ ඒ හීනේ එක එක පාට එකතුවෙලා තව තවත් ලස්සනට ඇඳෙන්න ගන්නවා. දවසින් දවස ලොකු මහත්වෙන ජීවිතේ, සරසවි හීනේ හැබෑ කරගන්න ඇඟිලි ගනින්න ගන්නේ ඊට පස්සේ. ඒත් ඒ හීනේ හැබෑ කර ගන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? ඒක එහෙම වුණත් විභාග මොන තරම් අමාරු වුණත් කවුරුවත් ලේසියෙන් පසු බහින්න නං කැමති වෙන්නේ නෑ.
සරසවි ජීවිතේ විවිධාකාරයි. හැමදේම, හැම කෙනා ම එකතු වුණු වෙනස් ම ජීවිතයක්. ඒ හින්දා ම අලූතෙන් සරසවියට පිවිසෙන නවකයන් පිළිගන්නත්, සරසවියෙන් පිට ව යන සගයන්ට සමුදෙන්නත් සරසවි සිසු සාමාජික සාමාජිකාවන් එකා වගේ පෙළ ගැහෙනවා. නටලා, ගයලා, කෑ ගහලා එක් වුණු සංතොසේ බෙදා ගන්නවා වගේ ම වෙන්වෙන වේදනාවට අන්තිමේ දී අඬා වැටෙනවා.
සරසවි සගයන් එක්රොක් වෙලා සංවිධානය කරන මේ වැඩසටහන්වලටත් එක එක නම් තියෙනවා. ‘මැයි මල් වසන්තය’, ‘වසන්තයේ අග’, ‘සිත් මංසල’, ‘සිතුම් කොදෙව්ව’ වගේ එක එක විදිහේ හැඳින්වීම්. මේ හැම එකකට ම දරදිය අදින්නෙත් සරසවි සිසුන්ම යි. මේ වගේ සමුගැනීමේ සහ හමුවීමේ සාද පැවැත්වීම ඔවුන්ගේ සරසවි ජීවිතයේ අනිවාර්ය අංගයක් කියලයි හැමෝ ම හිතන්නේ. කීය කීය හරි එකතු කරලා මදි පාඩුවට තව මොන මොනවා හරි කරලා ඔවුන් ඒ වෙනුවෙන් මුදල් හදල් එකතු කර ගන්නවා.
අලූතෙන් ආව නංගිලා මල්ලිලාට සුබ පතන්න පිළිගැනීමක් සංවිධානය කරන අය අතර හුදකලා වෙලා ඉන්න හිමාලි ව සුනාරි දැක්කේ අහම්බෙන්. ඈ හිටියේ අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරමින්.
‘‘මොකෝ හිමාලි, පිළිගැනීමට කියන්න සිංදුවක් කල්පනා කරනවද?’’
ඈ හිනා වුණේ බයාදු විදිහට. ඒ මූණේ හුගාක් දේ ලියවිලා තිබුණා වගේ සුනාරිට දැනුණා.
‘‘ඇයි හිමාලි මොකක් හරි ප්‍රශ්නයක් ද?’’
‘‘ප්‍රශ්නයක් නෙමෙයි කියන්නත් බෑ.’’
ඈ කතාව ගළපගන්න කාලය හෙව්
වා. හිමාලි කොහොමත් කිසිම වැඩකට කර අරින කෙනෙක් නෙමෙයි. මේ වගේ පොදු වැඩකදි ඈ හැමදාමත් මුල්තැන ගත්තා.
වා. හිමාලි කොහොමත් කිසිම වැඩකට කර අරින කෙනෙක් නෙමෙයි. මේ වගේ පොදු වැඩකදි ඈ හැමදාමත් මුල්තැන ගත්තා.
‘‘උඹ දන්නවනේ. අපේ තාත්තා නෑ. අම්මයි ලොකු අක්කයි අමාරුවෙන් හරි හම්බ කරලා තමයි අපි ව මේ තත්ත්වෙට ගෙනාවේ. අපි දුප්පත් කියන්න මං ලැජ්ජා වෙන්නේ නෑ.’’
‘‘ඉතිං මොකක්ද ප්‍රශ්නේ. කවුරුහරි උඹට මොනවා හරි කිව්වද?’’ ඈ දිග හුස්මක් ගත්තා.
‘‘එහෙම එකක් නෙමෙයි. අපේ පොඩි අක්කා සෞන්දර්යේ අන්තිම අවුරුද්දේ. මල්ලී මේ අවුරුද්දේ තමයි කොළඹ කැම්පස් එකේ මැනේජ්මන්ට් එකට ආවේ. අපි තුන්දෙනෙක්ට උගන්නනවා කියන එන ලේසි වැඩක් නෙමෙයි. මල්ලිට තාම මහපොළ ලැබිලත් නෑ. පොඩි අක්කගෙයි මගෙයි ශිෂ්‍යාධාරවලින් තමයි අපි ෂේප් වෙන්නේ. ඉතිං සුනාරි මං කොහොමද මේ වැඩේට සල්ලි දෙන්නෙ. මේකට සල්ලි දුන්නොත් අපිට ජීවත්වෙන්න අමාරුයි. ඔයාලට නො තේරුණාට අපිට මේක ලොකු ගාණක්. මං මේ මග අරිනවා නෙමෙයි.’‘
සුනාරිට උත්තරයක් දෙන්න වචන හොයාගන්න බැරිවුණා. මතුපිටින් පේන මේ හැම ජීවිතයක් පිටිපස්සේ ම කොච්චර දුක හිතෙන කතාවක් ලියවිලා තියෙනවාද? සරසවියට එන හීනේ හැබෑ කර ගත්තට සරසවියේ ඉගෙන ගන්න එක, සරසවියෙන් පිටවෙලා ඊට පස්සේ ජීවිතේ හැබෑ කරගන්න එක කොයිතරම් අමාරුද කියලා කාටවත් තේරෙන්නේ නැතිව ඇති.
මේ සරසවිවල අකුරු කරන හුඟක් ළමයි ඇති හැකි අය නෙමෙයි. දුක් විඳලා විඳලා ජීවිතේ ජයගන්න අධ්‍යාපනය හොයාගෙන සරසවියට ආපු අය. කැලණිය විශ්වවිද්‍යාලයේ ශක්තික සත්කුමාර ‘හීන’ කියන කවි පංතියෙන් කියන්නෙත් ඒක ම නේද කියලයි සුනාරිට හිතුණේ. ඉගෙන ගන්න දුක් විඳින, ඉගෙනීමෙන් ලෝකේ ජයගන්න හිතන මේ හිත්වල පීදෙන හීනවලට ලස්සන හැඩයක් හදලා දෙන්න පුළුවන් නම්, මේ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු හැබෑ කර ගන්න එක ඒ තරම් අමාරු නෑ කියලා සුනාරිට හිතුණා.
හීන
දිවුල් ගහ යට හීන ඇහිඳපු
කාලය ගොසින් ඈතට
හීන පොදියත් නැති වෙලා අද
බෝඩිමෙන් බෝඩිමට යන සඳ
අටුව හඬවා පහළ වෙල ඉකිබින්දා
අක්කගේ කන-කර බැංකුවට පෙම් බැන්දා
හීන පොදියත් කර තියාගෙන මම
හීන හොරකං කරන නගරෙට පා වුණා
කොත්තු රොටි දැන් රස නැතත්
හීනයක් නැති ජීවිතය ගෙන
කොහොම එන්නද ගමට අම්මේ
ගම දුරයි මට තවම අම්මේ
දිවුල් ගහ යට හීන ඇහිඳපු
කාලය ගොසින් ඈතට
හීන පොදියත් නැති වෙලා අද
බෝඩිමෙන් බෝඩිමට යන සඳ
අටුව හඬවා පහළ වෙල ඉකිබින්දා
අක්කගේ කන-කර බැංකුවට පෙම් බැන්දා
හීන පොදියත් කර තියාගෙන මම
හීන හොරකං කරන නගරෙට පා වුණා
කොත්තු රොටි දැන් රස නැතත්
හීනයක් නැති ජීවිතය ගෙන
කොහොම එන්නද ගමට අම්මේ
ගම දුරයි මට තවම අම්මේ
hansamala@hotmail.com
No comments:
Post a Comment