10/19/2012

මොකුත්ම සිද්ධවෙලා නෑ..



අඹ ගහට ටිකක් ඈතින් පුංචි ගල් කුළක් තිබුණා. සමහර වෙලාවට අඹ ගහ යටට පුංචලා, පැංචිලා එකතු වෙනකල් කලින්ම ආව එකෙකු දෙන්නකු වෙත්නම් ගල් කුළ උඩට නඟින පුරුද්දක් තිබුණා. අඹ ගහ උඩට වගේම මේ ගල් කුළටත් පාර දිගේ මේ පැත්තට එන කවුරු වුණත් ටිකක් කල් වේලා ඇතිව අඳුනාගන්න පුළුවන්.

තාමත් කට්ටිය එකතු වෙන්න ප්‍රමාදයක් සිදුවන බව දැනිච්චි රෝස පුංචයි නිල් පුංචයි දෙන්නා ගල් කුළට ගොඩවුණා..
ඔය වෙලාවෙදි ලොකු පුංචයි, කහ පුංචයි, තවත් පුංචලා කීපදෙනකුයි හදිසියෙන් වගේ අඹ ගහ දිහාට දුවගෙන එමින් හිටියා. බැලූ බැල්මට හදිසියක් වගේ පෙනුණු නිසාම කතාව මොහොතකට අමතක කරලා රෝස පුංචයි, නිල් පුංචයි දෙන්නත් හනි හනික ගල් කුළෙන් බැහැලා අඹ ගහ පැත්තෙන් වැටෙන පාරේ පෙර මගට දුවගෙන ගියා.
” ඇයි මොකුත් හදිසියක්ද?” නිල් පුංචා ඇහුවා.
“ටිකක් විතර හදිසියි තමයි. අපි අඹ ගහ යටට යමු..”
කහ පුංචා එසේ කියමින් අඹ ගහ යටට යන්නට පය ඉක්මන් කරා. ලොකු පුංචා කිසිවක් ම කීවේ නෑ. ඒ වෙනුවට ඇඳගෙන හිටපු ටී ෂර්ටය ගලවා කරකවමින් දාඩිය පිඹිමින් නිහඩවම අඹ ගහ දිහාට ඇදුණා. ලොකු පුංචා අඹ ගහට හේත්තු වී හති අරින්නට වූ අතරේ කහ පුංචා හති අරින අතරේම කට හඬ අවදි කරා.
” අපිට නොවැළැක්විය හැකි හේතුවක් නිසා රතු පුංචාට පහරදීමක් කරන්නට සිදුවුණා. ඒක ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්..”
” අයියෝ..මොකද වුණේ..රතු පුංචත් අපේම කෙනෙක්නේ..?”
රෝස පුංචා හොඳටෝ ම කලබල වුණා.
“කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑ. කරුණා කරලා නිශ්ශබ්ද වෙන්න. ලොකු පුංචා වෙනුවෙන් මමයි මෙතන කතා කරන්නේ..
කට්ටියම නිහඬ වුණා. කහ පුංචා ආයෙමත් කතා කරන්නට වුණා.
“තව වැඩි වෙලාවක් යන්න කලින් මෙතනට රතු පුංචාගේ අප්පොච්චා කඩාපාත් වෙන්න පුළුවන්. අම්මත් ආවොත් එහෙම මළ ජංජාලයක් වෙනවා.
“ඉතිං ඊට කලින් අපි ගෙදර දුවමුකෝ. වැඩේ ඉවරනේ” නිල් පුංචා ගෙදර දුවන්න ලෑස්තිවුණා.
” නෑ. නෑ ගෙදර දිව්වයි කියලා වැඩක් වෙන්නේ නෑ. ඊට පස්සේ රතු පුංචලගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි බැණුම් විතරක් නෙවෙයි. ඒ අය ගෙවල්වලට අපිව හොයාගෙන ආවම අපේ ගෙවල්වලින් අපට ගුටි කන්නත් වෙනවා. “
කහ පුංචා තත්ත්වය පැහැදිලා කළා. කීවත් වගේම කතාව ඉවර කරන්නත් කලින් රතු පුංචගෙ අප්පොච්චා රතු පුංචගේ අතින් ඇදගෙන අඹ ගහ යටට ආවා. ඈතින් කොණ්ඩෙ කඩාගෙන විලාප තියමින් පුංචාගේ අම්මණ්ඩිත් එනවා. සිද්ධිය දැක්ක බව කියන ‍කොළ පුංචත් ඈතින් මතුවුණා. හිතුවටත් වඩා එනපොට හොඳ නැති විත්තිය ඉවෙන් වගේ දැනුණු ලොකු පුංචා මොකුත් සිද්ධනොවුණු ගාණට අහක බලාගත්තා.
” හැම ලොක්කම එකයි බන්. ළඟම ඉන්න එකා බිල්ලට දීලා පැත්තකට වෙනවා” නිල් පුංචාට විතරක් ඇහෙන්නට එහෙම කියපු කහ පුංචා බෙල්ල ගියත් ලොකු පුංචා වෙනුවෙන් කතා කරන්නට හිතාගත්තා.
” එතන ලොකු දෙයක් සිද්ධවුණේ නෑ..අංකල්. ඒ තරම් කලබල වෙන්න ඕන නෑ”
කහ පුංචා යාම්තමට වචන ගළපා ගත්තා.
“මොකක්ද බැල්ලිගෙ පුතො..කලබල වෙන්න ඕන නෑ කියන්න තෝ කවුද..?යකෝ තොපිට ඕන ඕන විදිහට අතපයේ හිරි ඇර ගන්න මං දරුවො හදලා නෑ... කියපන් කවුද මෙතනින් උඹට ගහපු එකා..පෙන්නපන්..”
‍අප්පොච්චා රතු පුංචාට කියනවා. රතු පුංචා එක සැරයක් ඔළුව උස්සලා හැමෝගෙම මුහුණ බැලුවා.
“පෙන්නපන් උඹට අත උස්සපු එකා. මං ඒකා මොකාගෙ වුණත් බෝංචි ගාණට කඩනවා..”
අප්පොච්චා ආයෙමත් සැරෙන් කියනවා.
“අනේ ඒයි අපි පොලිසි යමු. ඔය ප්‍රශ්න ඔහොම බේරාගන්න බෑ. අනිත් පාර හිරේ විලංගුවෙ වැටුණත් දුක් විඳින්න වෙන්නේ අපටමයි”
රතු පුංචාගේ අම්මා දෙන්නාම ඇදගෙන පොලීසියට යන්නට උත්සාහ කරා. එනපොට හොඳ නැති හින්දා කහ පුංචා, නිල් පුංචාට ඇඟිල්ලෙන් ඇන්නා. නිල් පුංචා, සුදු පුංචාටත්, සුදු පුංචා රතු පුංචාටත් ඇස් වලින් මොන මොනවද කීවා.
” මට කවුරුත් ගැහුවේ නෑ.. “ රතු පුංචා යම්තමට ඔළුව උස්සලා කීවා.
“මොනවා යකෝ..මේ අත පය සීරුණේ කොහොමද..මේ කමිසෙත් ඉරිලා..”
අප්පොච්චා තවත් කේන්තියෙන් බැලුවා.
” ඒවා මං අතින්මයි වුණේ..” රතු පුංචා අසරණව කීවා.
“එහෙම වෙන්නේ කොහොමද උඹ කීවේ..බජාර් එකේ ලොක්කා ගැහුවා..කියලා?
අප්පොච්චා දැඩිව කියා සිටියා.
” අද ඉස්කෝලෙ ටීචර් දුන්නු ගෙදර වැඩ ටික නිසා ..මං කම්පනයෙන් හිටියේ..ඒ නිසා වැරදීමකින් නමක් දෙකක් කියවෙන්න ඇති?” රතු පුංචා පිංසෙණ්ඩු වුණා.
“දැන් ළඟ හිටපු එකා මොකද කියන්නේ..උඹවත් කියපන් කවුද මගෙ එකාට ගැහුවේ..” රතු පුංචගේ අම්මා කොළ පුංචා දිහාට හැරුණා.
“මට මොකුත් මතක නෑ..ආන්ටි..”
කොළ පුංචා උත්තර දුන්නා. හැමෝගෙම මුහුණු දිහා සැරයක් බලපු රතු පුංචගෙ අප්පොච්චා පුංචගේ අතින් ඇදගෙන ආපහු ගෙදර දිහාට ගියා. අම්මත් ඒ පසුපස්සෙ වැටුණා.
hichchibuwa@gmail.com

No comments:

Post a Comment