10/26/2012

නිවුණු ජාතියක්


අද දවස ටිකක් කලබලයි. දන්නා කියන හැමෝම වාගේ අඹ ගහ යටට ඇවිත් හිටියා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය ඉවරවීම ගොඩාක් අයගේ ගෙවල්වල ප්‍රශ්නයක් වෙලා තිබුණා. මහ උන් ඒ ගැන කතා කරද්දී පොඩි උන් කොන්වෙන එක නවත්වන්න විදිහක් තිබුණේම නෑ. අනෙක් අතට එක එක්කෙනා කීවෙ එක එක කතා.

පුංචලා කීපදෙනකුගේ ම අයියලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉන්න නිසාත්, ඒ අය විටෙන් විට ගෙදර ඇවිත් එක එක නොතේරෙන අප්‍රබංස කතා කියන නිසාත් මේ ගැන වහා දැනුවත් විය යුතුයි කියලා පුංචලා තීරණය කළා.
ලොකු පුංචාට මේ තත්ත්වය පැහැදිලි කළාම “අඹ ගහ යට හමුව වහා කැඳවීමට ඔහු කටයුතු කළා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පෙළපාලිය අඹ ගහ යටින් යද්දී එදා ඒ අයට උදවුවට අත වනන්නත් මේ ඔක්කෝම ඇවිත් හිටියා. දිග පුංචගේ අයියා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තුන්වෙනි අවුරුද්දෙයි හිටියේ. අයියා නිවාඩුවට ගෙදර ආව දවසක ආචාර්යවරුන්ගේ අරගලයට සහය වෙන්න කියලා දිග පුංචාට ආරාධනා කරලා තිබුණා. මෙලෝ හසරක් නොදන්නා දිග පුංචා, වහාම ලොකු පුංචා මුණ ගැහුණා.
“අනේ අපි කොහොමද සහය දෙන්නේ..කොහොම හරි දෙන්න ඕන” දිග පුංචා බැගෑපත් වුණා.
” අපෝ අපට බෑ..අපි ඕව ගැන දන්නෙත් නෑ..” ලොකු පුංචා මුලදී අදිමදි කළා.
” බෑ කියලා බෑ. අපි දන්නේ නැති එක වෙනම කතාවක්. ඔය ලොකු කතා කීවට කවුරුවත් ඒ ගැන හරියට දන්නේ නෑ කියලා අපේ අයියත් කීවා. කොටින්ම කියනවනම් අයියත් ඒ ගැන දන්නේ නෑ කීවා” දිග පුංචා පැහැදිලි කළා.
“ඒ පෙළපාලිය දකුණෙන් පටන් අරගෙන කොළඹ එද්දී පාර දෙපැත්තේ හිටපු අය කොඩි වැනුවලු? අපටත් බැරිද මොනව හරි වනන්න.”
“එහෙම ආවට ගියාට තියෙන දේවල් වනන්න බෑ. ඊට පස්සේ වැනිල්ල කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ”
ලොකු පුංචා අනතුරු ඇඟෙව්වා. බොහෝ වේලා තර්ක විතර්ක කිරීමෙන් පස්සේ අවසානයේ අත් වැනිල්ලෙන් සැලකිය යුතු ඇවැඩක් සිද්ධ නොවන බවට තේරුම් ගිය නිසා ඒ වැඩේ තීරණය කෙරුණා. ඔන්න ඔය විදිහටයි අඹ ගහ යට පුංචලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සහය දුන්නේ. ඒත් ඉතිං ඒ අයගේ වර්ජනේට මාස 3 ට වැඩි කාලයක් ගෙවිලා තිබුණත් ඒකේ රශ්මිය අඹ ගහ යටට දැනිලා ඒ තරම් කාලයක් ගියේ නෑ. ඒ හින්දම ලත් තැනම ලොප් වුණා වගේ හැඟීමක් තමයි මේ අයට දැනුණේ.
“විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සාර්ථකව නිමා වුණා. එවැනි දේකට අත වැනීමෙන් සහයදීමට හැකිවීම ගැන පුද්ගලිකව මමත්, පොදුවේ අඹ ගහ යට හැමෝමත් සතුටු වෙනවා”
ලොකු පුංචා දේශනය ආරම්භ කරමින් පැවසුවා.
” ඒ කියන්නේ සියයට හයක් අධ්‍යාපනයට වෙන් කරලද?” රතු පුංචා ඇහුවා.
“නෑ” ලොකු පුංචා උත්තර දුන්නා.
“ඒ අයගේ පඩි වැඩි කරලද..? ආයෙත් ප්‍රශ්නයන්.
” නෑ”ලොකු පුංචා වටපිට බලලා සැකෙන් වගේ කීවා.
” විශ්වවිද්‍යාලයලට කරන දේශපාලන අතපෙවීම් නවත්වලද?”
ආයෙත් ප්‍රශ්නයක්.
“නෑ”
ඒ පාරනම් උත්තර දුන්නත් ලොකු පුංචට තරහක් ආවා. කියන දේ අහගෙන ඉන්නේ නැතුව මේ වගේ හරස් ප්‍රශ්න අහන එක මොන තරම් කැත පුරුද්දක්ද?
“මෙහෙමයි..මේ වැඩවර්ජනය නිසා අධ්‍යාපනය කඩාකප්පල් වුණේ අපේම අයියලා අක්කලාගේ. මොන විදිහකින් හරි දැන් ප්‍රශ්නය විසඳිලා වැඩ ටික යනවා. අපි ඒක එහෙම නෙවයි කියන එක රටේ සාමයට, සහජීවනයට බාධාවක් වෙලා ආයෙමත් වැඩවර්ජන ඇතිවෙලා රට අරාජික වෙනවා. ඒකට ඉඩතියන්න බෑ. ඒත් අපි අමතක නොකළ යුතුයි මේ වගේ වෙලාවක අධිරාජ්‍යවාදී අතපෙවීම්,විදේශීය කුමන්ත්‍රණ වගේ දේවල් නිසා විසඳුණු ප්‍රශ්න අයෙත් ඇවිලෙන්න පුළුවන්. අපි අතර වුණත් ඒ වගේ බලවේගවල හවුල්කරුවන් ඉන්න පුළුවන්..ඒ අය අහන ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන්න. හැසිරීම් ගැන සෝදිසියෙන් ඉන්න..”
ලොකු පුංචා කතාව කරගෙන යද්දී හැමෝම වගේ රතු පුංචා දිහා බැලුවා. එන පොට හොඳ නැති නිසා රතු පුංචා එතැනින් මාරුවෙන්න උත්සාහ කළා. ඒත් කහ පුංචා ළඟින් ඈත් වෙනකොට එයා කට ඇරියා.
“මෙන්න කුමන්ත්‍රණකාරයා මාරු වෙන්නයි යන්නේ..අල්ල ගනියෝ..”
ඒ වෙලාවේ අනෙක් හැමෝම වාගේ ඒ පැත්තට දුවගෙන ආවා. ඒත් ලොකු පුංචා තාමත් කතාව කරගෙන යනවා.
” අපි හරිම නිවුණු ජාතියක්. ඊයේ තෙල් ඉවරවෙලා බුදු පහන නිවෙද්දීත් අපෙ අම්මා කීවා.. අපි ඒක හිතට අරන් වැරදි සිතුවිලිවලින් හැසිරෙන අයට සමාව දෙන්න ඕන”
ලොකු පුංචා එහෙම කීව නිසා රතු පුංචාට යන්න ඇරලා අනිත් හැමෝම නිහඬ වුණා.
hichchibuwa@gmail.com

No comments:

Post a Comment