මං මේ තීරුවට දාපු නම තමයි ‘නාගස්මණ්ඩිය’. මම රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගෙන් ඇහුවම උන් වහන්සේත් ඒ නම හොඳයි කියලා කිවුවා. මේ නාගස් මණ්ඩිය තියෙන්නේ මා ළමා විය ගෙවා දැමූ අපේ පන්සලේ. මා පැවිදි බවට පත් වුණේ වැලිගම ජඹුරෙගොඩ නාගාරාම පුරාණ විහාරයේ. ඒ නාගස්මණ්ඩිය එදත් තරුණයි. අදත් එහෙමයි. නාමල නැහැයට අරගෙන එන්නේ යංකර සුවඳක්. ඒ ගසේ අරටුවත් හරිම ශක්තිමත්. නා ගහේ ආගමික සම්බන්ධයකුත් තියෙනවා. මගේ ජීවිතයට බොහෝ දැන උගත්කම් එකතු කරනු ලැබුවෙත් නාගස්මණ්ඩිය තමයි. ළමා කාලේ මට මතකයි ඒ තුරු සෙවණ අපේ සිත් සතන්වලට දැනුමද අවබෝධය ද එකතු කළ හැටි. ඒ කාලේ එතන ඉඳගෙන මං ලියූ ගීයක් මට තාමත් මතකයි.
පොඩි හාමුදුරුවො සැදෑ වෙලාවේ
නා තුරු සෙවණේ වාඩිවෙලා
රතු වී බසිනා හිරු දෙස බලමින්
ඇයි මේ කඳුලැලි වගුරන්නේ
නා තුරු සෙවණේ වාඩිවෙලා
රතු වී බසිනා හිරු දෙස බලමින්
ඇයි මේ කඳුලැලි වගුරන්නේ
ලොකු හාමුදුරුවො වරදට තැලුවේ
මව්සේ සෙනෙහස නැතිව නොවේ
කඳුළු සල සලා තනි වී හැඬුවම
ලොකු හාමුදුරුවො හිතින් තැවේ
මව්සේ සෙනෙහස නැතිව නොවේ
කඳුළු සල සලා තනි වී හැඬුවම
ලොකු හාමුදුරුවො හිතින් තැවේ
බුදු සමිඳුන්ගේ සෙවණ ලැබු ඔබ
ඉවසීමෙන් ජය ගනු මැනවි
නොතැවී නොසැලී පොඩි හාමුදුරුවො
මහ පඬි රුවනක් වනු මැනවී
ඉවසීමෙන් ජය ගනු මැනවි
නොතැවී නොසැලී පොඩි හාමුදුරුවො
මහ පඬි රුවනක් වනු මැනවී
අත්තික්කා මල් පිට 7
ඒ කාලේ හැන්දෑවට ඉර රතු ගුලියක් වගේ බැස යනව බලන් ඉන්නෙත් මෙතන ඉඳන්. බුදු පුදට නාමල් අහුලන්න එන විදිහ නායක හාමුදුරුවන්ට අඟවලා හැන්දෑවේ ඉස්කෝල පිට්ටනියෙ ළමයි සෙල්ලම් කරනවා බලන්න මෙතනට එන වෙලාවල් තිබුණා. මල් පිපෙන කාලයටත් නැති කාලයටත් පන්සල් වත්තේ හිතගිය තැනක් තියෙනවා නම් ඒ මෙතන. “නාගස්මණ්ඩිය” එක පැත්තකට මායිම් වෙන්නේ මහ බෝ මළුවත්, දේවාල මළුවත්, අනික් පැත්ත ජඹුරෙගොඩ ඉස්කොලෙ ඩා පිට්ටනිය. මගේ ජීවිතේ හැරවුම් ලක්‍ෂයක් වන නාගස්මණ්ඩිය මට කවදාකවත් අමතක කරන්නට බැහැ.
“නාගස්මණ්ඩිය” මගේ ජීවිත කථාව නොවෙයි ආගමික හා ශාසනික අංශ පිළිබඳ ලියන්න සුදුසුම එක කියලා මට හිතුණා. ඒත් පුංචි කාලෙ ඉඳලම හැදුණු වැඩුණු පරිසරය නිසා යම් යම් සත තොරතුරුත් ලියවෙන්න බැරි නැහැ. ගිහි ගෙදර ඉඳලා පන්සලකට පැවිදිවෙන්න ළමයෙක් එන්නේ සංසාරේ කලකිරිලා නොවෙයි. සංසාරයවත් දන්නේ නැතිව. ජීවිතයක බරපතළකම හරිහමන් වැටහීමක් නැතිකම නිසා. එහෙම නැත්නම් කහ සිවුරේ පාටට ඇති ආශාව නිසා.
මහණ වුණායින් පස්සේ තමයි ජීවිතය ගැනත් සමාජය ගැනත් සංසාරය ගැනත් කිසියම් විදිහක අවබෝධයක් ලැබෙන්නේ. එබඳු සාමණේර කෙනෙකුගේ ජීවිතය හැඩරුවින් සරසා විකසිත කරවන්න ගම දායක කාරකාදීනූත් පන්සලේ ලොකු හාමුදුරුවනුත් දැඩි වෙහෙසක් ගන්නවා. ළමා කාලේ ළමා සිතුම් පැතුම් විකසිත කරවන ළමයි අතරේ එම සිතුම් යටපත් කරමින් පොඩි හාමුදුරුවන් පන්සලේ වැඩෙනවා. ඒ වයසෙම දරුවන්ට දහම් පාසලේ උගන්වනවා. වයස හා සිතිවිලිවලින් එක වුණාට යාදාමයන්ගෙන් වෙනස්. බණ පොත් වන පොත් කරමින් දැනුම සොයා යනවා.
එදා සමාජයත් අද සමාජයත් අතර පවතින තාක්‍ෂණික සන්නිවේදනය අම්ම තාත්තා කෙනෙකුට දරුවෙක් හදා ගන්න බැරි වී තිබෙනවා වගේම පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් ඒ ගැටලුව ඒ විදිහටම බලපා තිබෙනවා. හරිහමන් පොඩි හාමුදුරු කෙනෙක් හදාගන්න බැරිකමයි ඒක. ජනමාධ විතරක් නොවෙයි තව මාධ යත් දැන් ළමා සිත් සතන්වලට දැඩි ලෙස බලපෑම් කරනවා.
අපි ලොකු මහත් වූ එදා සමාජය හරිම අසිරිමත්. වර්තමානය නම් යන තාලේ හරිම භයානකයි. හෙට වෙන විට මොනවා වේවිද දන්නේ නැහැ’ යනුවෙන් අදහස් පළ කරන බොහෝ අය ඉන්නවා. ඒ වුණත් අපි ජීවත් වුණ එදා දවසේ නම් පන්සලේ රේඩියෝ එකක්වත් අහන්න තහනම්. යන්තම්වත් රේඩියෝ ශබ්දයක් වත් ඇහුණොත් කාමරවලට ඇවිත් හෝදිසි කර බලනවා. නායක හාමුදුරුවෝ රේඩියෝ එක යාත්මක කළෙත් වෘත්ති අහන්න විතරයි. ඊට අමතරව යමක් ඇසුවා නම් ඒ ‘මුවන් පැලැස්ස’.
එදා නායක හාමුදුරුවන් ගුවන් විදුලි යන්ය පන්සලට තහනම් කළා. හැන්දෑවට බුදුන් වැදල ඇවිත් වත පිරිත කියන්න ඕන. යන්තම්වත් පිරිත් ටිකක් වැරදුණහොත් ඒ ගැන විපරම් කරනවා. හැදෙන වැඩෙන දරුවන්ටත් සාමණේර හිමිවරුන් එවැනි උපදෙස් ජීවිතය තුළින් ලබා දුන්නා. ඒ නිසා එදා යුගයේ හැදුණු අයටත් ඒ වාසනාව උදා වුණා. අද පුංචි හාමුදුරුවරු ලොකු මහත්වන පන්සල් ඊට වඩා බොහෝ සෙයින් වෙනස්.
වෙනස්වීම සමාජ ධර්මතාවයක්. බොහෝ දෙය හැඩරුවින් සැරසෙන්නෙත් වෙනස්වීම නිසා. වෙනස් වීම එකක්. එය ස්වාභාවධර්මයට එකඟයි. වෙනස් කිරීම අනිකක්. එය ස්වාභාවධර්මයට ඔරොත්තු දෙන්නෙ නැහැ. අපේ සමාජයේ නිතර අපේ ඇස ගැටෙන්නේ වෙනස් වීම් ද. නැතිනම් වෙනස් කිරීම් ද යන්න පැහැදිලි කර ගන්න ඕන. ස්වාභාව ධර්මයේ රිද්මය තමයි බුදු දහම කියලා කියන්නේ ඈත ශාසනික ඉතිහාසය තුළත් දර දඬු වෙනස්කිරීම් සිදු වෙලා තියෙනවා. මෑත ශාසනික ඉතිහාසයත් අනුව බලන විට වැඩි වෙනසක් තිබෙන බවක් දැනෙන්නේ නැහැ.

No comments:
Post a Comment